රුසියන් චීන සංචාරකයෝ වියදම් කරන්නේ නෑ! සංචාරක හෝටල් කරන අය ණය උගුලක!

860

හෝටල් හිමියන්ට වෙන්නේ දිවි හානිකර ගන්න
කෝටි 04ක් ගත්තා දැන් කෝටි 08ක් ගෙවීමට සිදුවෙලා

පාස්කු ප්‍රහාරයෙන් සහ කොවිඩ් වසංගතයෙන් මෙරට සංචාරක කර්මාන්තයට එල්ලවූයේ මරු පහරකි. කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී රටේ ඇති වූ ආර්ථික ආර්බුදයත් සමග මෙරට සංචාරක කර්මාන්තය බිංදුවට ඇද වැටුණි. කොටින්ම කිවහොත් සංචාරක ව්‍යාපාරය නැත්තටම නැතිවිය. සංචාරක කර්මාන්තයේ නිරත හෝටල් හිමියන් සිය හෝටල් වසා දමා ව්‍යාපාර කටයුතු නතර කරනු ලැබීය. එහෙත් සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් දහසකුත් වූ ගැටලු හා දුෂ්කරතාවලට ලක්වෙමින් එදිනෙදා සිය හෝටල් නඩත්තු කරමින් පවත්වාගෙන යෑමට කටයුතු කරනු ලැබීය.

කොවිඩ් වසංගතය නිසා ඒ වනවිට සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම නතර වී තිබුණි. සංචාරක කර්මාන්තයේ නිරත සෑම ව්‍යාපාරිකයකුම පාහේ රාජ්‍ය හා පුද්ගලික බැංකුවලින් ණය ලබාගෙන සංචාරක කර්මාන්තය සඳහා ආයෝජනය කිරීමට කටයුතු කරති. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් මාර්ග නතර වීමත් සමග සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් ගැටලු රැසකට මුහුණ දුන්හ. බැංකුවලින් ලබාගත් ණය මුදල් නිසි පරිදි ගෙවීමට නොහැකි විය. මේ සඳහා එවකට පැවති රජයේ මැදිහත්වීමෙන් සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් සඳහා ණය මුදල් නොගෙවීමට (moratorium) සහන කාලයක් ලබා දෙනු ලැබීය. ඒ වනවිටත් සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වෙමින් නොතිබූ නිසා මෙකී සහන කාලය විටින් විට දීර්ඝ කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ විතරක් නොව බැංකු මගින් හෝටල් හිමියන් විසින් ලබාගෙන තිබූ ණය පියවීම සඳහා එකී බැංකු විසින් වෙනත් ණය මුදලක් ලබාදෙනු ලැබීය. මේ ආකාරයට ලබාගෙන තිබූ ණය පියවීම සඳහා විවිධ ණය යෝජනා ක්‍රම මගින් ණය ලබාදීම නිසා හෝටල් හිමියන් විසින් ලබාගෙන තිබූ ණය සංඛ්‍යාව හත අට දක්වා වැඩිවිය. මෙකී ණය සියයට, තුන හතර යන පොලී මුදලකට ලබාදෙන බවට බැංකු විසින් හෝටල් හිමියන් දැනුවත් කොට තිබුණි. මේ නිසා සංචාරක හොටල් හිමියන් විසින් ලබාගෙන තිබූ ණය ගෙවීම සඳහා තව තවත් ණය ලබා ගැනීමට කටයුතු කරනු ලැබීය. වසර දෙකක් යන තෙක් සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන්ට මෙකී ණය ගෙවීමට නොහැකි විය. ඒ සඳහා හේතුවක් ද තිබුණි. මක්නිසාද යත් ඒ වනවිටත් සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වී නොතිබූ බැවිනි.

කෙසේ වුවද මේ වනවිට සංචාරක හෝටල් හිමියන් වැටී ඇත්තේ අලි අමාරුවකය. කොටින්ම කිවහොත් ඔවුන් ණය උගුලක සිරවී ඇත. හෝටල් හිමියන්ට සිදුවී ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වාගේ දෙයකි. කොවිඩ් වසංගත සමයේ දී ණය නොගෙවීමට ලබා දුන් සහන කාලය තුළදීත්, ණය පොලී මුදල් අය කිරීමට බැංකු මගින් කටයුතු කරනු ලැබීය. මේ වනවිට හෝටල් හිමියන් විසින් රාජ්‍ය හා වාණිජ්‍ය බැංකුවලට ගෙවීමට ඇති ණය හා පොලී මුදල දෙගුණ තෙගුණ වී ඇත. කොවිඩ් වසංගත සමයේ සංචාරක හෝටල් හිමියන් සඳහා සහන ලබාදෙන මුවාවෙන් තමන් ණය උගුලක සිරකොට ඇති බව සංචාරක හෝටල් හිමියන් පවසති. සියයට තුනේ සහ හතර වැනි, පොලිය මත ලබාගත් ණය සඳහා මේ වනවිට සියයට 22, 28 හා 31 ආදි වශයෙන් පොලී මුදල් ගෙවීමට සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන්ට සිදුවී ඇත.

මේ නිසා ගෙවීමට ඇති ණය වාරිකය මෙන්ම පොලී මුදල විශාල වශයෙන් වැඩිවී ඇත. එකවර විශාල ණය හා පොලී මුදලක් ගෙවීමට සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන්ට සිදුවීම නිසා ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. ණය පොලීමත පොලී මුදල් අයකිරීමට බැංකු විසින් කටයුතු කර තිබේ. සංචාරක හෝටල් හිමියන් සඳහා කොවිඩ් වසංගත සමයේදී ණය පියවීම සඳහා සියයට තුන හතර යන පොලිය යටතේ ණය ලබාදෙන බවට බැංකු මගින් ප්‍රකාශකොට තිබුණි. එහෙත් සංචාරක හෝටල් හිමියන් පවසන්නේ මේ වනවිට එකී ණය සඳහා සියයට 22 සිට 31 දක්වා පොලී මුදලක් ණය වාරිකයට එකතුකොට ඇති බවය. මේ නිසා ගෙවීමට ඇති ණය වාරිකය හා පොලී මුදල විශාල වශයෙන් වැඩිවී ඇත.

මේ නිසා පොලී මුදල හෝ අඩුකොට තමන්ට සහනයක් ලබාදෙන ලෙස හෝටල් හිමියන් රජයෙන් ඉල්ලා සිටිති. අනික් කාරණය වන්නේ රුසියානු හා චීන සංචාරකයන් විශාල වශයෙන් මෙරටට පැමිණ ඇතත් ඔවුන් වියදම් කරන්නේ ඉතා අඩු මුදලකි. මේ නිසා යුරෝපීය රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා රජය මැදිහත් විය යුතුය.

ගාල්ල උණවටුන සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් සුමිත් උඹේසිරි මහතා කීවේ මෙවැනි කතාවකි.

මා සංචාරක කර්මාන්තය සඳහා කෝටි 04ක ණය මුදලක් ලබාගෙන තියෙනවා. මට දැන් ණය හා පොලී වශයෙන් කෝටි 08ක මුදලක් ගෙවීමට සිදුවෙලා තියෙනවා. ඇත්තටම සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් බැංකුවලින් ණය මුදල් ලබාගෙන සියයට සියයක්ම තම ව්‍යාපාර සඳහා තමයි ආයෝජනය කරන්නේ. ණය පොලී මුදල විශාල වශයෙන් වැඩිකිරීම නිසා ණය මුදල් නැවත ගෙවීමේදී හෝටල් හිමියන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. කොවිඩ් වසංගත සමයේ දී රජය විසින් හෝටල් හිමියන්ට ණය ගෙවීමේදී සහන කාලයක් ලබා දුන්නා. එහෙත් අපිට ලබා දුන්නේ සහනයක් නෙවෙයි. හෝටල් හිමියන් ණය උගුලක හිරකළා. පොලිය මත පොලිය සහ නැවතත් මුළු ප්‍රාග්ධනයටම පොලී මුදල් එකතු කරලා තියෙනවා. මාසිකව රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවනු ලැබූ හෝටල් හිමියකුට මේ වනවිට මාසයකට ලක්ෂ 30, 40ක ණය හා පොලී මුදල් ගෙවීමට සිදුවෙලා තියෙනවා. මේ විදියට

ගියොත් හෝටල් හිමියන්ට වෙන්නේ වස පානය කොට දිවි හානිකර ගන්නයි. මේ සඳහා සහන කාලයක් ලබාදීම හෝ අඩු ණය පොලියක් යටතේ එම ණය ගිණුම් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය කටයුතු කළ යුතුයි.

හෝටල් හිමියකු වන නීල් ප්‍රියන්ත සිරිතුංග මහතා මෙසේ කීවේය.

අපිට දැන් වෙලා තියෙන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක්. අපි බැංකු මගින් ණය අරගෙන සංචාරක කර්මාන්තයට ආයෝජනය කරලා හොඳට ණය මුදල් ගෙවාගෙන ගියා. සියයට 6.5, 8.5 ක පොලී මුදලට තමයි ණය අරගෙන තිබුණේ. කොවිඩ් වසංගත සමයේ දී ලබාගෙන තිබූ ණය මුදල් ගෙවීමට අපිට තවත් ණයක් බැංකු මගින් දුන්නා. සියයට 3.5ට හෝ හතරක පොලී මුදලකට එම ණය මුදල් ලබාදෙනවා කියලා තමයි බැංකු මගින් අපිව දැනුවත් කළේ. නමුත් මහ බැංකුව කුමක් කරාවිද කියලා බැංකු දැනගෙන හිටියේ නැහැ. මේ ණය යෝජනා ක්‍රම කුමක්ද කියලා අපි දැනගෙන හිටියෙත් නැහැ. දැන් ණය පොලී මුදල සියයට 28 දක්වා වැඩිවෙලා. සංචාරක කර්මාන්තයෙන් සියයට 25ක ලාභයක් තමයි උපයා ගන්නේ. ඒ උපයන ලාභයෙන් තමයි වසරක්ම දුවන්න වෙන්නේ. සේවක පඩිනඩි, හෝටල් නඩත්තු වියදම්, ගෙවීමෙන් පසු ලොකු ලාභයක් නැහැ. මෙම තත්ත්වය මත සංචාරක කර්මාන්තය දැඩි අවදානමකට ලක්වෙලා තියෙනවා.

හික්කඩුව ප්‍රදේශයේ හෝටල් හිමියකු වන ගාමිණී විතානගේ මහතා

වසර තුනක් විතර යනකම් අපිට ණය ගෙවීමට නොහැකි වුණා. දැන් ණය ගෙවන්න කියලා බැංකු මගින් දැනුම් දීලා තියෙනවා. ණය ගෙවීමට යනවිට සියයට 90ක් ගෙවන්න වෙලා තියෙන්නේ පොලී මුදල් සියයට දහයක් තමයි ණය මුදලෙන් අඩුවන්නේ. ණය නොගෙවීමට දුන් සහන කාලයටත් පොලී මුදල් එකතු කරලා එම පොලිය ණය මුදලක් බවට පත්කරලා තියෙනවා. අපි ණය ගෙවිය යුතුයි. මේ නිසා සහනයක් වශයෙන් පොලී මුදල අයින් කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

හෝටල් හිමියකු වන ගාමිණී වික්‍රමාරච්චි මහතා මෙසේ කීවේය.

අපිට සහනයක් ලබාදිය යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. කොයිහැටි වුවත් රුසියානු හා චීන සංචාරකයන්ගෙන් මේ වනවිට උණවටුණ ප්‍රදේශයේ හෝටල් පිරී ඉතිරී ගොස් තියෙනවා. නමුත් ඔවුන් වියදම් කරන්නේ ඉතා අඩුමුදලක්. යුරෝපීය රටවලින් සංචාරකයන් පැමිණෙන්නේ නැහැ. රුසියානු සංචාරකයන් වෙරළ තීරයේ ඉන්නවානම් යුරෝපීය රටවලින් පැමිණෙන සංචාරකයන් වෙරළ තීරයටවත් එන්නේ නැහැ. අනික් කාරණය තමයි මෙරටට පැමිණීමේ දී යුරෝපීය රටවල සංචාරකයින්ට විවිධ නීතිරීති එම රටවලින් පනවා තියෙනවා. මෙරටට පැමිණෙනවානම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා කියනවා. අවුරුදු 50ට වැඩි යුරෝපීය සංචාරකයන් තමයි වැඩි වශයෙන් මෙරටට පැමිණෙන්නේ. ඒ අය තමයි වැඩි වශයෙන් මුදල් වියදම් කරන්නේ. ඒ නිසා බටහිර රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඩොලරයේ මිල පහළ යෑම නිසා සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ට යම් කිසි පාඩුවක් වෙලා තියෙනවා. විදුලි බිල වැඩිවීම සහ ආනයනික භාණ්ඩ සීමා ලිහිල් නොකිරීමත්, සංචාරක කර්මාන්තකරුවන්ට දැඩි ලෙස බලපා තියෙනවා. මේ නිසා ආනයනික භාණ්ඩ සීමා ලිහිල් කළ යුතුයි. නැතිනම් එම භාණ්ඩවල මිල පහත දැමිය යුතු බවද ගාමිණී මහතා කීවේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment