රුසියන් යුද පෙරමුණ, කුලී හේවා ප්‍රශ්නය සහ ආණ්ඩුව

483

රුසියාව සහ යුක්‍රේනය තව අවුරුදු දහයකටවත් ඉවර නොකරන යුද්ධයක පැටලී සිටින මේ මොහොතේදී රුසියන් යුද පෙරමුණේ සටන් කළ ශ්‍රී ලාංකික කුලී හේවායින් කිහිපදෙනකු යුක්‍රේන් හමුදාවට හසුවූ බව දැනගැනීමට තිබේ. රුසියන් හමුදාව ශ්‍රී ලාංකික කුලී හේවායන් සටන් පෙරමුණට යවන්නේ සැලසුම්සහගත ලෙසය. සාමාන්‍යයෙන් යුද්ධයකදී වඩාත් බරපතළ ආක්‍රමණවලට මුලින්ම යවන්නේ කුලී හේවායන්ය. යුද්ධයකදී කුලී හේවායකු මියයන විට එම කුලී හේවායාගේ සේවා යෝජකයා වන රටේ හමුදාවට වාසි කිහිපයක් අත්වේ. ඉන් පළමුවැන්න නම් ඔවුන් වෙනුවෙන් කිසිදු ආකාරයක රක්ෂණ වන්දියක් ගෙවීමට සිදුනොවීමය. දෙවැන්න, ඔවුන්ට හිමි වැටුප් ලබා නොදීමය. සාමාන්‍යයෙන් කුලී හේවායන්ට මාස්පතා වැටුප් ගෙවනු නොලැබේ. පෙබරවාරි මාසයේදී ලංකාවෙන් රුසියාවට ගිය යුද හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට අදටත් පඩි ගෙවා නැත. කුලී හේවායා සටනේදී මියයෑම ඔහු සේවයට යොදවන රට අපේක්ෂා කරන බවක් පෙනේ. සාමාන්‍යයෙන් යුද්ධයකදී මියයන කුලී හේවායන්ගේ සිරුරු ආපසු රැගෙන එනු නොලැබේ. එයට හේතුව ඔවුන්ගේ ඥාතීන් දුර රටවල ජීවත්වීමය. මේ නිසා අවසන් වශයෙන් සේවා යෝජක රට කියන්නේ තම හමුදාවේ සේවය කළ කුලී හේවායා අතුරුදන්ව ඇති බවය. ඔහු පැන ගිය බවක් මෙයින් කියැවේ. කුලී හේවායා සටනට යන්නේ තමා සේවය කරන රටේ යුද හමුදාව වෙනුවෙන් බෙල්ල දීම සඳහාය. එක කුලී හේවායෙක් මැරෙන විට එතැනට යෑමට සිටි ස්වදේශික සෙබළකුගේ පණ ගැළවෙයි. කුලී හේවායා මේ තරම් කැපකිරීමක් කරන නමුදු යුද බිමේ සිටින වැඩිම අස්ථාවර අනාගතය සහිත තැනැත්තා ඔහුය. ලංකාවේ හොර ඒජන්සිකාරයන් කිහිප දෙනෙක් යුද හමුදාවේ සහ පොලිසියේ සේවය කළ සාමාජිකයන් රැසක් රවටා රුසියාවේ සහ යුක්‍රේනයේ යුද පෙරමුණුවලට යවන ලද්දේ මේ බව දැන දැනමය.

මේ රටේ සිටින යුද හමුදාව වූකලී අවුරුදු 30 ක් තිස්සේ පැවති LTTE යුද්ධය පාරාජය කළ ඉතාම දක්ෂ හමුදාවකි. එහෙත් යුක්‍රේනය හා රුසියාව අතර පවත්නා යුද්ධය අපට ජයගත හැකිද යන්න විමසා බැලිය යුතුය. මේ දෙරට අතර මේ වෙලාවේදී සිදුකෙරෙන්නේ HIGH TECH හෙවත් අධි තාක්ෂණික යුද්ධයකි. කොටින් සමග පැවති යුද්ධයේදී හුවමාරු වුණු කෙසෙල් මුව වැනි මෝටාර් හෝ යල් පැන ගිය RPG ආයුධ පාවිච්චියක් මෙහිදී සිදුවන්නේ නැත. UAV හෙවත් මිනිසුන් රහිත ඔත්තු සේවා ගුවන් යානා මගින් ඔත්තු බලාගෙනවිත් අදාළ ඉලක්කවලට කුඩා ඩ්‍රෝන මගින් හෝ මිසයිල මගින් පහරදීම මෙහිදී සිදුකෙරේ. ඩ්‍රෝනය හරියටම ඉලක්කයට ගොස් පුපුරන නිසා විසි තිස් දෙනකු එසැණින් මරා දැමීමට පුළුවන. මෙහිදී බිම සිටින හමුදාවන්ට ඉතිරි වන්නේ දෙපැත්තෙන් එන ඩ්‍රෝන සහ මිසයිලවලට වෙඩි තබා ඒවා අහසේදීම විනාශ කිරීම පමණි. මේ ආකාරයෙන් යුද කිරීමට ලංකාවේ යුද හමුදාවට පුරුද්දක් නැත. 2009 දී ලංකාවේ බෙදුම්වාදී යුද්ධය අවසන් වන විටවත් ඩ්‍රෝන මගින් යුද්ධ කරගැනීම හෝ අහසේ ගමන් කරන මිසයිලවලට වෙඩි තැබීමක් තිබුණේ නැත. අපේ හමුදාව පුරුදු වී සිටින්නේ මුහුණට මුහුණ සටන් කිරීම, ගුවනින් ප්‍රහාර එල්ල කිරීම, ඈත ඉලක්කවලට වෙඩි තබා සතුරන් විනාශ කිරීම වැනි මූලික සංග්‍රාමික උපක්‍රමවලට පමණි. මේ නිසා නූතන ලෝකයේ යුද්ධ සඳහා කුලී හේවායන් ලෙස යුද බිමට යන ශ්‍රී ලාංකිකයන්ට නිතරම සිදුවන්නේ සතුරා ඉදිරිපිට අතරමං වීමටය. මේ මොහොතේදී ඉන්දියාවේ යුද හමුදාව පවා ඩ්‍රෝන තාක්ෂණය සමග සටන් කිරීමට පුහුණුවක් ලබා තිබේ. එහෙත් අභ්‍යන්තර සිවිල් යුද්ධයකට මිස ජාත්‍යන්තර යුද්ධයකට මැදිවීමේ කිසිදු අපේක්ෂාවක් ලංකාවට නැත. ඒ නිසා දන්නා සාස්තරෙන් පමණක් ප්‍රයෝජන ගැනීම ඔවුන්ට ප්‍රමාණවත්ය.

රුසියාවේ අතරමංවී සිටින ලංකාවේ කුලී හේවායන් ගලවාගැනීමේ මෙහෙයුමක් දියත් කිරීම සඳහා එරටට දූත කණ්ඩායමක් යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා තීරණයක් ගත්තේය. මෙය රුසියාවේ අතරමංවූ මෙරට යුද හමුදා සාමාජිකයන්ගේ පවුල්වලට විශාල අස්වැසිල්ලකි. එම අසරණ පවුල් අපේක්ෂා කරන්නේ හැකි ඉක්මනින් රුසියාවට යන අපේ නියෝජිත කණ්ඩායම තම ඥාතීන් පිළිබඳ තොරතුරු ලංකාවට එවීමය. අපේ රටේ හමුදා සාමාජිකයන් රුසියන් යුද පෙරමුණට ගියේ ආණ්ඩුවේ කිසිදු අනුදැනුමක් ඇතිව නොවේ. එහෙත් ඔවුන් කරදරයට පත්වූ විට ආණ්ඩුව අම්මා, තාත්තා මෙන් මැදිහත්ව ඔවුන් ලංකාවට ගෙන්වා දෙනු ඇතැයි එසේ ගිය අයගේ ඥාතීහු කල්පනා කරති. ඔවුන්ගේ එම කල්පනාව නිවැරදි නැත. එසේම වැරදිද නැත.

advertistmentadvertistment
advertistmentadvertistment