රුසියානු තෙල් ගිවිසුමට කොමිස් කාක්කෝ අකුල් හෙළනවා – ජයන්ත සමරවීර

121

මාසිකව ඩොලර් මිලියන 300ක් වටිනා ඛනිජ තෙල් වසර දෙකක ණය පදනමක් යටතේ ලෝක වෙළෙඳපොළෙහි පවතින මිලට වඩා 15% – 35%ක් අඩුවට ලබාදීම සඳහා රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර මේ වනවිට සති තුනක කාලයක් ගතවී ඇතත් එම සංස්ථාවේ කොමිස් ගිලින නිලධාරීන් එම ව්‍යාපෘතියෙන් තමන්ට කොමිස් නොලැබෙන නිසා කඩාකප්පල් කිරීමට අරමුණු සහගතව කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කර සිටියි.

එහෙයින් තෙල් පෝලිම්වලදී විස්සකට අධික පිරිසක් මියගොස් ඇති මේ මොහොතේ ඉහත කී නිලධාරීන්ට යටනොවී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වහා පියවර ගත යුතුව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඊයේ (05දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමරවීර මහතා මෙසේ සඳහන් කළේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ ඩොලර් හිඟය හා සමගාමීව පැන නැගුණු තෙල් හිඟය අද පවතින සෑම ගැටලුවකම මූලය බවට පත්ව ඇති බවත් පාසල්, රජයේ සේවය යථා පරිදි පවත්වාගෙන යෑම, කර්මාන්ත, කෘෂිකර්මාන්තය පවත්වාගෙන යෑම ආදියට ඒ හේතුවෙන් බාධා ඇතිවීමෙන් අද රටම ඔත්පළ වී ඇති බවත් ඒ මහතා කීවේය. ත්‍රිරෝදරථ, පෞද්ගලික බස්රථ සඳහා ප්‍රමාණවත් පරිදි තෙල් නොලැබීම QR ක්‍රමය යටතේ වුවද පිරවුම්හල් වෙත නිසි කලට තෙල් නොලැබීම ආදී ගැටලු තවමත් තිබෙන බවද ඔහු කීය

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment