රුසියානු බෝම්බ ප්‍රහාර මැද සුරතල් බළලා රැගෙන චෙන්නායි නුවරට

290

මිනිසාත්, බළලාත් අතර සම්බන්ධතාව නොබිඳිය හැකි තරම් ය. මේ සම්බන්ධතාව ආරම්භ වූයේ හරියටම කවර වකවානුවකදැයි කියා නිශ්චය කිරීම අදටත් අපහසු ය. එසේ වුවත්, මෙයට වසර 9500කට පළමුවත් මිනිසුන් සමග බළලූන් සහයෝගයෙන් විසූ බවට සාක්ෂි ඇත. එකලත් ඔවුන් මිනිසාගේ සුරතලය සහ ආදරය භුක්ති විඳි බව අනුමාන කළ හැකි සාක්ෂි හමු වුණේ, සයිප‍්‍රසයෙනි. ඒ, වසර 9,500කට පළමුව මිහිදන් කෙරුණු මිනිස් සිරුරක් සහ බළලකුගේ සිරුරක් එකට තිබී කැණීම්වලදී සොයා ගැනීමත් සමග ය.

දූපත් රාජ්‍යයක් වන සයිප‍්‍රසයට බළලූන් රැගෙන ගියේ මිනිසුන් ය යන මතය ඒ සමගම ගොඩනැඟී ඇත. ඈත අතීතයේ ජීවත් වුණු මුහුදු යාත‍්‍රිකයන් සහ බළලූන් අතර සම්බන්ධයක් තිබුණු බව පුරාවිද්‍යාඥයෝ පවසති. විවිධ යාත‍්‍රාවලින් මුහුදෙහි ගමන් කළ ජනයා ඒ ගමන්වලට බළලූන් ද හවුල් කරගෙන ඇත. බළලූන් යාත‍්‍රාවලට නංවාගෙන තිබෙන්නේ ඔවුන් සුරතල් කිරීමට නොව, යාත‍්‍රාවල සිටි මීයන් බළලූන් ලවා මර්දනය කරවා ගන්නට ය. මේ නිසා, ඈත අතීතයේ සිට ම මිනිසා සමග යාත‍්‍රාවලින් ලෝකයේ විවිධ ඉසව්වලට ගමන් කිරීමේ වාසනාව බළලූන්ට හිමි වී තිබිණ. බළලූන්ට වඩාත් හොඳින් ම සලකා තිබෙන්නේ, පුරාණ ඊජිප්තු ජනයා බවට මතයක් පවතී. එයට හේතුව, පුරාණ ඊජිප්තු ජනයා මියගිය බළලූන් වෙනුවෙන් ආදාහන චාරිත‍්‍ර පැවැත්වීම පවා කර ඇති බව හෙළි වීම ය. පුරාණ ඊජිප්තු වැසියෝ සිය නිවසේ ඇති කරන බළලකු මියගිය විට, තමන්ගේ ඇහිබැම ගා දමමින් ශෝක වූහ. මියගිය බළලූන්ගේ මෘතදේහ මමී බවට පත් කිරීමටත් ඊජිප්තු ජාතිකයෝ පෙලඹී සිටියහ. එම මමී තැන්පත් කර තිබෙන්නේ ද එම ඊජිප්තු ජාතිකයන්ට අයත් පවුලේ සොහොන් බිම්වල ය. මේ අන්දමට තැන්පත් කර තිබුණු බළල් මමී දහස් ගණනක් සංඛ්‍යාවක් ඊජිප්තුවේ සුසාන භූමියකින් 1888දී සොයා ගැනිණ. ඇත්තෙන්ම පුරාණ ඊජිප්තුවේ බළලූන් දේවත්වයෙන් සලකනු ලැබිණි.

මිනිසාත්, බළලාත් අතර සම්බන්ධය ගැන මේ අවස්ථාවේ සටහනක් තබන්නට සිතුණේ අපේ ගෙදර බැළලිය ”පැටි” නිසා හෝ උගේ අම්මා වන ”ජෝෂප්” නිසා නොවේ. යුකේ‍්‍රන අර්බුදය නිසා ජීවිතාරක්ෂාව පතා සිය රට පැමිණෙන ඉන්දීය සිසුන් ගෙන් සමහරකු තම බළල් සුරතලා ද රැගෙන ගෙදර පැමිණ ඇති නිසාය. පසුගිය දිනක චෙන්නායි ගුවන්තොටුපළෙන් යුකේ‍්‍රනයේ සිට පැමිණි සිසුවෙක් අත පෙට්ටියක් විය. ගුවන්තොටුපළින් පැමිණි ඔහු එය විවර කර තම බළල් සුරතලාව තම මවුපියන්ට පෙන්වීය. මෙය ප‍්‍රංශ පුවත් ඡායාරූප ශිල්පියා විසින් සිය කැමරාවට ලක් කරගෙන තිබුණේ මෙය වඩා සංවේදී පුවතක් වන නිසාය. යුකේ‍්‍රනයේ මෙන් නොව චෙන්නායි උණුසුම් පරිසරයට හැඩගැසෙන්නට මේ බළල් මිතුරාට සිදුවේ. එහෙත් මොහු යුකේ‍්‍රනයේ තනිකර එන්නට වූවා නම් ඒ චෙන්නායි සිසුවාගේ හද දෙදරනු ඇත. ඔහු සංවේදී පුද්ගලයෙකි. තම දරුවා කාන්තාරයක අතරමං කර නොයන පියකු ආකාරයෙන් ඔහුද තම සුරතලා රැගෙන ගෙදර පැමිණියේය. ජනපති පුටින් යුද්ධය අරඹන විට තමිල්නාඩුවේ සිසුන් පන්දහසක් පමණ යුකේ‍්‍රනයේ අධ්‍යාපනය ලබමින් සිටියේය.

මේ කේරළයේ ශිෂ්‍යයකු පිළිබඳ කතාවකි. 21 හැවිරිදි තරුණ අඛිල් රාධක‍්‍රිෂ්ණන් පසුගිය වසර දෙක තුළ යුකේ‍්‍රනයේ කාකිව් ජාතික වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අතර ඔහුගේ සුරතලා වූයේ අම්මිනී නම් බළලාය. අම්මිනී නම් සුරතල් බළලාව මීට මාස හතරකට පෙර ඔහුගේ ජ්‍යෙෂ්ඨයා විසින් අඛිල් රාධක‍්‍රිෂ්ණන්ට භාර දුන් අතර එතැන් පටන් ඔවුන් දෙදෙනා වෙන් කළ නොහැකි විය. ”ඇය හරිම ආදරණීයයි. මට ඇයගෙන් වෙන් වෙන්න බැහැ. යුකේ‍්‍රනයේ ඉන්දීය තානාපති කාර්යාලය මට ඇයව රැගෙන යෑමට අවසර දීම ගැන මම සතුටු වෙනවා” අඛිල් රාධක‍්‍රිෂ්ණන් ඉන්දීය පුවත් සේවාවකට පවසා තිබුණේ විශාල සැනසුම් සුසුමක් හෙළමිනි. නිරුපද්‍රිතව බුඩාපෙස්ට් වෙත පැමිණීමට උත්සාහ කළ මෙම තරුණ සිසුවාට පසුගිය සති දෙක තුළ දැඩි දුෂ්කරතා ඇති විය. ”මම කාර් එකකින් කෝච්චියකට නැඟලා කියෙව් අගනුවරට ආවා. ඊට පස්සේ, මම චොප්වලට එන්න බස් එකකින්… තවත් දුම්රිය දෙකකින් මම බුඩාපෙස්ට් වෙත ළඟා වුණා,” අඛිල් රාධක‍්‍රිෂ්ණන් පැවසීය. ප‍්‍රීතිමත් අඛිල් රාධක‍්‍රිෂ්ණන් දැන් ඉන්දියාව බලා යන ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානයට ගොඩවීමට බලා සිටින අතර එහිදී ඔහු ආපසු කේරළයේ පිහිටි සිය නිවසට යන අතර වඩාත්ම වැදගත් දෙය නම් ඔහුගේ සුරතල් බළලා ය. මේ සටහන පළ වනවිට නම් අම්මිනි හා අඛිල් දෙදෙනාම ඉන්දියාවට පැමිණ තිබෙන්නට පුළුවන. යුකේ‍්‍රන මහා යුද්ධය අතරතුර මේ අසන්නට ලැබෙන පුවත් වඩා සංවේදීය. මේ සිසුන් දෙදෙනාගේ මානුෂීය ගුණයට උපහාර පිණිස මේ සටහන තබමි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment