රුසියානු-යුක්රේන යුද්ධයට හමුදා විශ්‍රාමිකයන් යවන – මිනිස් ජාවාරම ගැන පැමිණිලි 151 ක්

141

රුසියානු – යුක්රේන යුද්ධයට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය හඳුන්වාදුන් දුරකථන අංකයට ඊයේ (12දා) දහවල් වනවිට පැමිණිලි 151ක් ලැබී ඇත.

0112441146 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දුන් අතර එදින සිට ඊයේ දහවල් වන තෙක් මෙම පැමිණිලි ලැබී ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට රුසියා-යුක්රේන යුද්ධය සඳහා පිටව ගොස් ඇති මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඔවුන් පිටත්ව ගිය රට, සම්බන්ධීකරණය කළ පුද්ගලයන්, ආයතන සහ දුරකථන අංක ඇතුළු තොරතුරු මෙම අංකයට ලබාදිය හැකි බවයි.

මේ වනවිට රැකියාවට සහ යුක්රේනයට ගොස් ඇති පිරිස සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශයට නිසි ලෙස වාර්තා වී නැති අතර, ඇතැම් විට එම සංඛ්‍යාව 1000ක් 2000ක් පමණ විය හැකි බවට සැක කෙරේ.

යුක්රේනයට වඩා බරපතළ තත්ත්වයකට රුසියාවට ගිය හිටපු හමුදා සාමාජිකයන්ට මුහුණදීමට සිදුවී ඇති බවත්, ඔවුන් කුලී හේවා භටයන් ලෙස යුද්ධයට යොදවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පැවැසේ. ඇතැම් සෙබළුන් රුසියාවේ ගොවිපළවල රැකියාවට රැගෙන ගොස් ටික දිනකින් එහි රැකියා කිරීම අනවශ්‍ය බව පවසමින් එම ගොවිපළවලින් ඉවත් කිරීමෙන් පසු කුළී හමුදාව විසින් එම පිරිස් රැගෙන ගොස් යුද්ධයට යොමුකර ඇති බවට ද ආරක්‍ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පමණක් රුසියානු-යුක්රේන යුද්ධය සඳහා ගොස් ඇති බව මේ වනවිට ලැබී තිබෙන තොරතුරු අනුව හෙළිවී තිබේ. මෙම ජාවාරම මෙරටදී සිදු කළ බවට චෝදනා එල්ලවී ඇති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයකු ඇතුළු කිහිප දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර කුලී හේවායන් ලෙස රුසියානු යුක්රේන යුද්ධයට නොයන ලෙසට යුද හමුදාපතිවරයා විසින් විශ්‍රාමික රණවිරවැන්ගෙන් ඉල්ලීමක් කර ඇත. තිස් වසරක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදයෙන් මව්බිම ආරක්‍ෂා කිරීමට දිවිහිමියෙන් කැප වූ රණවිරුවන් පිරිසක් විදෙස් රැකියා නියෝජිතයන් පිරිසක් විසින් සිදුකරන විදෙස් රැකියා ජාවාරමකට හසුවී ඇති බවත්, මේ වනවිට එම යුද කලාපයන්හි යුදමය කටයුතු සඳහා යොදවා සිටියදී පිරිසක් මියගොස් ඇති බවට වාර්තා වන බවත් යුද හමුදාපතිවරයා පවසයි.

ඉහළ වැටුප්, එම රටවල පුරවැසිභාවය සහ වෙනත් වරප්‍රසාද ලබාදීමේ පොරොන්දුව මත යුද්ධයට බඳවා ගත්ත ද මේ වනවිට මියගිය අයගේ පවුල්වලට කිසිදු වන්දි මුදලක් හෝ ලබාදී නොමැති බවත් හමුදාපතිවරයා කියා සිටී. එම නිසා මෙම මිනිස් ජාවාරමට හසුනොවන ලෙසත් ඔහු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment