දෙවන ලෝක මහා සංග්‍රාමයේ අතිශයින්ම වැදගත් දිනයක් ලෙසින් සැලකෙන්නේ ජර්මන් පාර්ලිමේන්තුව වූ රීච්ස්ටැග් ගොඩනැඟිල්ලේ සෝවියට් දෑකැත්ත-මිටිය ලාංඡනය සහිත රතු කොඩිය එසවූ 1945 මැයි 09 දාය. ජර්මනිය කොන්දේසි විරහිතව සෝවියට් සංගමයට යටත්වීම ඉන් සනාථ වූයේය. එතැන් පටන් 2025 මැයි 09 දාට වසර 80 ගතවී ඇත. එම පසුගිය වසර 80 ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමත්, වර්තමාන ඇතැම් කරුණුත්, අනාගතය පිළිබඳවත් කෙටි සාකච්ඡාවක යෙදීම අතිශයින්ම කාලෝචිතය.
දෙවන ලෝක යුද්ධයේ ආරම්භය හා අවසානය
1939 සැප්තැම්බර් 01 දා නාසි ජර්මනිය පෝලන්තයට පහරදීමෙන් දෙවන ලෝක යුද්ධය ආරම්භ වූයේය. යුද්ධය ආරම්භ වී වසරක කාලයක් තුළ ලොව අධිරාජ්‍යවාදී බලවතුන් කඳවුරු දෙකකට බෙදුනි. ජර්මනිය යුරෝපයත්, ඉතාලිය අප්‍රිකාවත්, ජපානය ආසියාවත් ඉලක්ක කරමින් එක් පාර්ශ්වයක් ලෙසද, යුද්ධයේ අනෙක් පාර්ශ්වය ලෙස මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය හා ප්‍රංශය ද පෙළගැසුණි.
යුද්ධය ඇරැඹී කෙටි කාලයක් තුළ යුරෝපයේ රටවල් රැසක් ජර්මනිය විසින් යටත් කරගත් අතර, 1941 ජූනි 22 දා නාසි ජර්මනිය සෝවියට් සංගමයට පහර දුන්නේය. සෝවියට් සංගමය නාසි විරෝධී මිත්‍ර පක්ෂයට එක්වූ අතර ලොව ප්‍රථම සමාජවාදී රාජ්‍ය ආරක්ෂාකර ගැනීමේ “මහා දේශප්‍රේමී යුද්ධය” දියත්වූ අතර, ලොව පුරා ප්‍රගතිශීලී බලවේගයන් සෝවියට් සංගමය වෙත සහයෝගය සැපයෙන ආකාරයෙන් ක්‍රියා කරනු ලැබුණි.
මොස්කව්, ස්ටැලින්ග්‍රාඩ් හා කුර්ස්ක් සංග්‍රාම නමින් ප්‍රචලිත මහා සංග්‍රාම තුනක් මගින් දෙවන ලෝක යුද්ධය හැරවුමකට ලක්වූයේ “බාර්බරොස්සා” ක්‍රියාන්විතය හරහා මාස කිහිපයක් (මාස 04) තුළ මොස්කව් යටත්කොට, රතු චතුරශ්‍රයේ සිට එම ජයග්‍රහණය සැමරීමේ හිට්ලර් සිහිනය සුනු විසුනු කර දමමිනි. 1945 වසර ඇරඹෙන විට සමස්ත සෝවියට් සංගමයම නාසි ජර්මනියෙන් මුදාගැණුනු අතර යුරෝපයේ රටවලට විමුක්තිය උදාකර දෙමින්, 1945 මාර්තු වනවිට සෝවියට් රතු හමුදාව විසින් බර්ලීනය නැගෙනහිරින්, දකුණෙන් හා උතුරෙන්ද වටකරමින්, පසුව මුළු නගරයම වටකොට, ජර්මන් හමුදා යටත්කොට, මැයි 09 දා දෙවන ලෝක මහා සංග්‍රාමයේ යුරෝපා යුද්ධය අවසාන කළේය.
දෙවන ලෝක යුද්ධය යනු ලෝක ජනගහනයෙන් 89% ජීවත්වූ රටවල් 61 සහභාගි වූ මහා සංග්‍රාමයක් වන අතර, මෙම යුද්ධයේදී මියගිය මුළු සංඛ්‍යාව දස ලක්ෂ 50 වූ විට ඉන් දස ලක්ෂ 25-30 අතර සංඛ්‍යාවක් සෝවියට් වැසියෝ වූහ. යුරෝපය මුදා ගැනීමේ මහා යුද්ධය 1945 මැයි 09 දා අවසන් කළ සෝවියට් රතු හමුදාව, ඉන් මාස 03ට පසුව 1945 අගෝස්තු 09 දා මැන්චූරියාවේ සටනට පිවිසෙමින් අදිරාජ්‍යවාදී ජපානය පරාජය කළේය. ඒ වන විට හිරෝෂිමා නාගසාකි නගරවලට (අගෝස්තු 06 හා 09 දිනවල) ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පරමාණුක බෝම්බ ප්‍රහාර එල්ල කරමින් තිබුණි. මේ අනුව දෙවන ලෝක මහා සංග්‍රාමයේදී නාසි ජර්මනිය ඇතුළු ෆැසිස්ට් මිලිටරි හවුල පරාජය කිරීමේදී අසම සම කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ සෝවියට් සංගමයයි.
පශ්චාද් යුද ලෝක රටාව
පශ්චාද් යුද ලෝක රටාව සැකසීමේ සාකච්ඡා ආරම්භ වූයේ දෙවන ලෝක යුද්ධය දිගහැරෙමින් තිබියදීමය. 1942 ජනාවාරි – පෙබරවාරි මාසවලදී වොෂින්ටනයේදීත්, 1943දී කැනඩාවේදීත්, පසුව මොස්කව්වලදීත්, 1943 නොවැම්බර්- දෙසැම්බර් මාසවලදී ඉරානයේ ටෙහෙරාන්හිදීත් පැවැති සාකච්ඡාවලදී ලෝක සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවීමට සෝවියට් සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය හා චීනය එකඟ වූහ. පසුව ක්‍රිමියාවේ යාල්ටාවට රැස්වූ සෝවියට්, ඇමෙරිකානු හා මහා බ්‍රිතාන්‍ය නායකයෝ එක්සත් ජාතීන්ගේ ව්‍යුහය, ආරක්ෂක මණ්ඩලය, නිෂේධ බලය වැනි කරුණුවලට එකඟවූ අතර, 1945 සැන්
ෆ්රැන්සිස්කෝ නගරයේදී රටවල් 50 විසින් අත්සන් තැබුණු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය 1945 ඔක්තෝබර් 24 සිට බලාත්මක වීම ඇරඹුණි.
සමාජවාදී ලෝකය බිහිවේ, යටත්විජිත ක්‍රමය බිඳවැටේ
දෙවන ලෝක මහා සංග්‍රමයේ සෝවියට් විජයග්‍රහණය සමග ලෝකය එතෙක් – මෙතක් නොදුටු වෙනස්වීම්වලට ලක්විය. දෙවන ලෝක යුද්ධය පටන් ගන්නා විට සෝවියට් දේශය හැරෙන්නට, සමාජවාදී රාජ්‍යයක්ව පැවතියේ මොංගෝලියාව පමණක් වුවද, එම මහා සංග්‍රාමයෙන් පසුව නැගෙනහිර යුරෝපයේ චෙකොස්ලෝවැකියාව, පෝලන්තය, රුමේනියාව, බල්ගේරියාව, හංගේරියාව, යුගොස්ලෝවියාව හා ඇල්බේනියාවද සමාජවාදී ක්‍රමයට අනුගතවූ රටවල් බවට පත්වූහ. ප්‍රජාතන්ත්‍රවාදී වියට්නාම් ජනරජය 1945 දී බිහිවූ අතර, 1947 දී ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය නමින් නැගෙනහිර ජර්මනිය තුළ සමාජවාදී රාජ්‍යයක් බිහිවිය. 1949 දී චීන විප්ලවය ජයග්‍රහණය කළ අතර, 1959 දී කියුබානු විප්ලවය ජයගත්තේය. ඒ අනුව, 1917 දී ඔක්තෝබර් විප්ලවයෙන් තනි රටක ස්ථාපනය වූ සමාජවාදී ක්‍රමය දෙවන ලෝක මහා සංග්‍රාමයේදී සෝවියට් සංගමය ලැබූ අද්විතීය ජයග්‍රහණය පසුබිමේ, ලෝක ක්‍රමයක් බවට ගොඩනැඟුණි.
දෙවන ලෝක මහා සංග්‍රාමයේ ජයග්‍රහණයේ තවත් ඍජු ප්‍රතිඵලයක් වූයේ යටත් විජිත ක්‍රමය බිඳ වැටීමයි. ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ ජාතික විමුක්ති අරගල උත්සන්න වූ අතර, එකකට පසුව එකක් වශයෙන් මෙම මහද්වීපවල නව නිදහස් රටවල් බිහිවූහ. දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන්වී ඉදිරියට ගිය වසර 25-30 කාලය තුළ යටත් විජිත ක්‍රමය මුළුමනින්ම පාහේ බිඳ වැටුණි. සාමාජික රටවල් 50 අත්සන් තබා ඇරඹුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැන් සාමාජිකත්වය 193 කි. යටත් විජිත ක්‍රමය බිඳවැටී, නව නිදහස් රටවල් බිහිවී ඇත්තේ එසේය.
දෙවන ලෝක මහා සංග්‍රාමයේ අවසානය සමග කම්කරු පන්ති අරගල උත්සන්න වූයේය. ලෝකය පුරා කොමියුනිස්ට් පක්ෂ බිහිවූහ. දෙවන ලෝක යුද සමයේ ලාංකීය වැඩ කරන ජනතා ව්‍යාපාරය කිසියම් සටන් විරාමයක සිටියත්, 1945 මැයි මාසයේ යුද්ධය අවසන් වී, අගෝස්තු මාසය වන විට මහා වැඩ වර්ජනයක් කළේය. පැය 8 වැඩ දිනය, පඩි පාලක සභා, නිවාඩු ක්‍රම හා මාසික වැටුප් ක්‍රම එම අරගලයෙන් දිනා ගැනුණි. 1946 වර්ෂයේ පැවැත් වුණ මහා වැඩ වර්ජනයෙන් විශ්‍රම වැටුප් අයිතිය, අතිකාල දීමනා ඇතුළු බොහෝ අයිතිවාසිකම් දිනාගැනීමට මෙරට කම්කරු පන්ති ව්‍යාපාරය සමත් වූයේය. 1947 මහා වැඩවර්ජනය මර්දනය කළද, ඉංග්‍රීසි ආණ්ඩුව මෙම මහා අරගල තුළින් තිගැස්සී ගිය බවට කිසිදු සැකයක් නැත. 1947 පැවැති මැතිවරණයේදී වමේ හා ප්‍රගතිශීලී පිරිස් විශාල වශයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ අතර, 1948 දී ඩොමිනීයන් තත්ත්වයෙන් නිදහස ලැබුණි.
‘උණුසුම්’ වී ඇති ලෝකය
දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර 80 ගතවෙමින් තිබෙන මේ යුගය වන තෙක්, තවත් ලෝක යුද්ධයක් වළක්වා ගැනීමට ලෝකය මෙතෙක් සමත්ව ඇත. ලෝක යුද්ධ ඇති නොවූවද ලොව පුරා විශාල යුද ගැටුම් කිහිපයක්ම පවතී. පලස්තීන ජනතාවට සිය මව්බිම බලහත්කාරයෙන් අහිමිකිරීම මුල්කරගෙන නොනැවතී ක්‍රියාත්මක වන මැදපෙරදිග උණුසුම් තත්ත්වය, ඉරාණය වටා බටහිර බලවතුන් විසින් ඇති කර තිබෙන ගැටුම්කාරී තත්ත්වය, රුසියා- යුක්රේන ගැටුම හා මෑතදී උත්සන්න වෙමින් තිබෙන ඉන්දු – පකිස්ථාන ගැටුම ඒ අතරවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු මහ බලවතුන් නිර්මාණය කළ යුරෝපයේ, නේටෝ සංවිධනය, රුසියාවේ දේශ සීමාවට ගෙන ඒමට දරන තැත වැළැක්වීම සඳහා රුසියාව
ඇරැඹූ සීමිත හමුදා මෙහෙයුම රුසියාව හා ඒකාබද්ධ බටහිර අතර සටනක් බවට පරිවර්තනය වී ඇත. එහෙත් එම ගැටුම මේ වන විට කිසියම් විසඳුම් මාර්ගයකට ප්‍රවිශ්ඨ වී ඇති බව පෙනේ.
ලෝකය අස්ථාවර කරන, ඇතැම්විට, යුද ගැටුම් තත්ත්වයක් කරා වර්ධනය විය හැකි ආකාරයේ වෙළෙඳ යුද්ධ, පාර්ශ්ව කිහිපයක් විසින් ආරම්භ කොට ඇත. රුසියාවට එරෙහි වෙළෙඳ තහංචි දහස් ගණනක් පනවා ඇති අතර, ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෝකයේ රටවල් දුසිම් ගණනකට එරෙහිව තීරු බදු පනවා වෙළෙඳ යුද්ධයක් ප්‍රකාශයට පත් කොට ඇත.
ඒ අතර, සමස්ත මානව සංහතියේ පැවැත්මට තර්ජනයක් වී ඇති ගෝලීය උණුසුම ඉහළ යෑම පිළිබඳ ගැටලුවට තවමත් සතුටුදායක විසඳුමක් ලබාදීමට ලෝකය සමත් වී නැත. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති කළ ආර්ථික මෙහෙයුම් ආයතන වූ බ්‍රෙට්න්වුඩ් සංවිධාන (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව) ලෝකයේ ආර්ථික සංවර්ධනයට නායකත්වය දීමට සමත්ව නැතිවා පමණක් නොව, නව නිදහස් රටවල ආර්ථික ප්‍රශ්න උග්‍රවීමට එම ආයතනවල මඟපෙන්වීම් හේතුවී ඇති බවට ප්‍රබල චෝදනාවක් නැඟී ඇත.
දෙවන ලෝක මහා සංග්‍රාමයේ 80 සංවත්සරය සැමරෙන මේ අවධියේ ලෝකයේ ජනතාව මුහුණ දෙන ඉහත ගැටලු විසඳාගෙන, මානව සංහතියේ ඉදිරි ගමන වෙනුවෙන් කැපවීම අපගේ වගකීමයි.
වෛද්‍ය ජී. වීරසිංහ
ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය