පුරෝගාමී රුසියානු-සිංහල-දමිළ භාෂා පරිවර්තක දැදිගම වින්සන්ට් රුද්‍රිගු සූරීන්ගේ 95 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය කවය සංවිධානය කරන ‘රුසියානු සාහිත්‍ය පාඨක හමුව’ අගෝස්තු 06 වැනි දින අඟහරුවාදා ප.ව.3.00 සිට 6.00 දක්වා කොළඹ-07, නිදහස් මාවතේ, අංක 10 දරන ස්ථානයේ පිහිටි කොළඹ රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
1957 වසරේ සෝවියට් දේශයේ පැවැති 6 වන ලෝක තරුණ හා ශිෂ්‍ය සමුළුවට සහභාගී වූ ශ්‍රී ලාංකික නියෝජිතයකුගේ ඉරණම ඔහුගේ මව්බිමට වාසිදායක ලෙස වෙනස් වේ යැයි කිසිවකු නොසිතන්නට ඇත. පසුකලෙක සෝවියට් සාහිත්‍යය මෙරට පාඨකයාට සමීප කරමින් මෙරට පරිවර්තන සාහිත්‍යයට අනූපමේය සේවයක් සිදුකළ ඔහු අන් කිසිවකු නොව, ප්‍රවීණ පරිවර්තක දොන් වින්සන්ට් රුද්‍රිගු හෙවත්, දැදිගම වී. රුද්‍රිගු ය. ඒ වනවිට වයස අවුරුදු 28ක නාඹර තරුණයකුව සිටි ඔහුට දෛවය විසින් සිය ජීවන සහකාරිය වන ලුද්මිලා විෂ්නෙපොල්ස්කායා නම් තරුණිය මුණගස්වනු ලබන්නේ ද ඔහුගේ එම කුළුඳුල් සෝවියට් සංචාරයේ දී ය.
එවකට ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකුව සිටි අතර, පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු මෙන් ම, කොළඹ දිස්ත්‍රික් සභාවේ ලේකම්වරයා ලෙසට ද කටයුතු කළේ ය. එවකට පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාව සිටි පීටර් කෙනමන් සහෝදරයාගේ ලිපිලේඛන ඇතුළු පක්ෂයේ ලිපිලේඛන සියල්ල පරිවර්තනය කරන ලද්දේ ඔහු විසිනි.
ලෝක තරුණ හා ශිෂ්‍ය සමුළුව අවසන් කර නියමිත පරිදි ඔහු සියරට පැමිණිය ද ඔහුට සෝවියට් දේශයත්, මිලිටරි ගුවන් යානා සැලසුම් ශිල්පිනියක වන සිය පෙම්වතියත් අමතක කරන්නට නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ, ඉන් වසර තුනක් ඇවෑමෙන් එනම්, 1960 වසරේ දී ඔහු නැවත රුසියාව බලාගොස් ලුද්මිලා විවාහ කරගැනීම ය.
එම වසරේ දී සිදුවූ තවත් සුවිශේෂ සිදුවීමක් වූයේ, සෝවියට් දේශය එරට මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම ය. එහි පළමු ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත් වූ දැදිගම වී. රුද්‍රිගු එහි දී වෛද්‍ය විද්‍යා උපාධිය ලබා වෛද්‍යවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ය. වෛද්‍ය වෘත්තියට වඩා සාහිත්‍යයටත්, නිවේදන කටයුතුවලටත් වැඩි ඇල්මක් දැක්වූ දැදිගම වී. රුද්‍රිගු වැඩිකල් නොගොස් ම වෛද්‍ය වෘත්තියට ආයුබෝවන් කීවේ ය.
එවකට ලංකාවේ අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1963 දී සෝවියට් දේශයේ සිදුකළ සංචාරයට සමගාමීව ‘රේඩියෝ මොස්කව්’ හි සිංහල අංශය ආරම්භ කරන ලද අතර, එහි පුරෝගාමී සන්නිවේදකයකු හා ගුවන්විදුලි ශිල්පියකු ලෙස එහි කාර්ය මණ්ඩලයට ඇතුළත් වී ය. ඊට අමතරව සෝවියට් චිත්‍රපටවලට සිංහල දෙබස් කැවීමට ද එකල ආරම්භ වූ සෝවියට් පත පොත සිංහලයට නැඟීමේ කටයුතුවලට ද ඔහු දායක කර ගැනිණි.
මුල් කාලයේ එසේ විවිධ කටයුතුවල නිරතවුව ද පසුව ඔහු තම ජීවිතය සම්පූර්ණයෙන් ම පරිවර්තන කටයුතු සඳහා කැප කළේ ය. ඒ අනුව, සිය ජීවිත කාලය තුළ විවිධ රුසියානු සහ සෝවියට් පොත් 250කට වැඩි ප්‍රමාණයක් සිංහලයට පරිවර්තනය කරන්නට ඔහුට හැකියාව ලැබිණි. සාහිත්‍යය, දේශපාලන න්‍යාය, විද්‍යාව, ළමා කතා සහ ප්‍රබන්ධ ආදී විවිධ ක්ෂේත්‍ර අලළා පරිවර්තනය කරන ලද ග්‍රන්ථ රැසක් ඒ අතර වේ. ඔහුගේ පරිවර්තන සද්කාර්යයේ තවත් විශේෂත්වයක් වෙන්නේ එම සෝවියට් සහ රුසියන් ග්‍රන්ථ සියල්ල රුසියන් බසින් ම සිංහලයට පරිවර්තනය කර තිබීම ය.
එය අප අත්දැක තිබෙන වැකියෙන් වැකිය තම බසට පරිවර්තනය කරන සාමාන්‍ය පරිවර්තන කාර්යයක් නොවේ. එය රුසියානු බසින් ඇති කෘතියක පිටුවක් එක ම එක වරක් කියවා එය එසැණින් ම සිංහලයට පරිවර්තනය කිරීමේ නිසඟ හැකියාවක් ඇති පරිවර්තකයකුගේ කෘතහස්ත පරිවර්තන කාර්යයකි. එසේ ම, රුසියානු බසින් සිංහලයට පර්වර්තනය කරන තරම් ම වේගයකින් රුසියානු බසින් දමිළ බසට ද පරිවර්තනය කිරීමේ නිසඟ හැකියාවක් දැදිගම වී. රුද්‍රිගු සූරීන් සතුව පැවැති බව බොහෝදෙනා නොදන්නා කරුණකි.
දැදිගම වී. රුද්‍රිගු සූරීන්ගේ ව්‍යක්ත පරිවර්තන ශක්‍යතාව හේතුවෙන් සෝවියට් දේශය බිහිවීමට පෙර පැවැති රුසියානු සාහිත්‍යය සහ ඉන්පසුව බිහිවූ සෝවියට් සාහිත්‍යය මෙන් ම, රුසියානු හා සෝවියට් ජන සමාජයත් සිංහල පාඨකයාට බෙහෙවින් සමීප කරන්නට ඔහුට හැකි වී ය.
එසේ ඔහු අතින් සිංහලයට පරිවර්තනය වූ රුසියානු කෘති අතර මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ මෙන් ම, ‘ළමාවිය’, ‘මිනිසුන් අතර’ සහ ‘මගේ සරසවි’ යන තුන් ඈඳුතු කෘතීන්, අලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ‘කපිතන්ගේ දියණියෝ’, ‘ඉස්කෝප්ප රැජින’, ‘දුබ්‍රොව්ස්කි’, නිකොලායි ගොගොල්ගේ ‘තරාස් බුල්බා’, ලියෝ තොල්ස්තෝයිගේ ‘ඉවාන් ඉලීච්ගේ මරණය’, ලෙර්මන්තොව්ගේ ‘අපේ කාලයේ වීරයෙක්’ වැනි කෘතීන් රැසක් අපට හමුවේ.
ඔහු විසින් සිංහලයට නැඟූ සෝවියට් පොත් අතර බරිස් පලෙවොයිගේ ‘සැබෑ මිනිසකුගේ කතාවක්’, නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ ‘වානේ පන්නරය ලැබූ හැටි’, චිංගිස් අයිත්මාතොෆ්ගේ ‘ගුරු ගීතය’, යූරි බොන්දරයෙව්ගේ ‘උණු හිම’ වැනි කෘතීන් රැසක් අපට දැකගත හැකි ය. මීට අමතරව ඔහු මාර්ක්ස්, එංගල්ස් හා ලෙනින් ආදී කොමියුනිස්ට් චින්තකයන් ලියූ න්‍යායාත්මක කෘති රැසක් ද සිංහලයට නඟමින් සමාජවාදී දේශපාලන, ආර්ථික ක්‍රම පිළිබඳ දැනුමෙන් සිංහල පාඨකයා ඥානනය කිරීමට අනලස්ව කටයුතු කළේ ය.
දැදිගම වී. රුද්‍රිගු යනු වැඩිහිටි පාඨකයන් පමණක් නොව, ළමා පාඨකයන් ද ආමන්ත්‍රණය කළ ලේඛකයෙකි. ‘වැඩ බැරි දාසගේ කතා’, ‘ලස්සන වසීලිස්සා’, ‘හත් පෙති මල’, ‘වලසුන් තුන්දෙනා’ යනු ඉන් කිහිපයකි.
ටික කලකින් ම රුසියාවේ පූර්ණ ස්ථාවරත්වයට පත්වූ දැදිගම වී. රුද්‍රිගු සහ ලුද්මිලා විෂ්නෙපොල්ස්කායාගේ කැදැල්ල වික්තර් සහ දිමිත්‍රි නම් පුතුන් දෙදෙනා නිසා වඩ වඩාත් ආලෝකවත් වී ය. මොස්කව් හි පෙයර්වි දිමිත්‍රොව්ස්කි ප්‍රොයේස්ද් හෙවත් පළමු වන දිමිත්‍රොව්ස්කි මාවතේ අංක 16 තට්ටු නිවාසයේ අංක 18 දරන ඔවුන්ගේ නිවස සෙවණ සැලසුවේ ඔවුන් සිව්දෙනාට පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ සිට පළමුවරට රුසියාවට යන බොහෝදෙනකුගේ පළමු නවාතැන වූයේ, සහෝදරත්වයෙන් හා සෙනෙහසින් පිරි එම නිවහන යි. එහි ලැගුම් ගත් අයට එය ශ්‍රී ලංකාවේ පිහිටි තම තමන්ගේ නිවෙස් තරම් ම සමීප බවක් දැනවූයේ එහෙයිනි.
දැදිගම වී. රුද්‍රිගු සූරීන් ශ්‍රී ලංකිකයන් වෙනුවෙන් නිස්සරණාධ්‍යයනාංශයෙන් සිදුකරන ලද අමිල සේවයත්, නිර්ලෝභීව සිදුකරන ලද ආගන්තුක සත්කාරත් නිසා එකව රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් ඔහු හැඳින්වූයේ ‘මහජන තානාපති’ යන නමිනි.
ඒ පිළිබඳව රුසියාවේ ප්‍රචලිත රසබර කතාවක් මෙසේ ය.
“ඒ වකවානුවේ මොස්කව් හි ලංකාවේ තානාපති කාර්යාල දෙකක් පැවැතියේ ය. එහි තානාපතිවරු දෙදෙනක් ද සිටියෝ ය . ඉන් එක් කාර්යාලයක් පිහිටියේ මොස්කව් හි ඌලිත්සා පෙෂ්කිනා හෙවත් පෙෂ්කිනා වීදියේ අංක 24 දරන සුවිසල් දෙමහල් මන්දිරයේ ය . ඒ, ශ්‍රී ලංකා රජයේ නිල තානාපති කාර්යාලය යි. රජයේ නිල තානාපතිවරයා සිටියේ එහි ය . අනෙක පිහිටියේ මොස්කව්හි පෙයර්වි දිමිත්‍රොව්ස්කි ප්‍රොයේස්ද් හෙවත් පළමු වන දිමිත්‍රොව්ස්කි මාවතේ අංක 16 තට්ටු නිවාසයේ අංක 18 දරන නිවසේ ය . ඒ අන් තැනක් නොව , දැදිගම වින්සන්ට් රුද්‍රිගුගේ නිවස්නය යි. එය ලංකාවේ ‘නොනිල තානාපති කාර්යාලය’ වී ය . එපරිදි ම , දැදිගම වී රුද්‍රිගු මොස්කව් හි ලංකාවේ ‘නොනිල තානාපති’ හෙවත් ‘මහජන තානාපතිවරයා’ වී ය.
මොස්කව් හි ජීවත් වුව ද, රුද්‍රිගු නිතර ලංකාව පිළිබඳ මෙනෙහි කරමින් සිටි බව ප්‍රකට ය. නමුත්, බිරිඳ සහ පුතුන් දෙදෙනා හේතුවෙන් ඔහුට මොස්කව් දමා ආපසු ලංකාවට පැමිණීම කොහෙත් ම පහසු කාර්යයක් නොවී ය.
දශක තුනකට ආසන්න කාලයක් මොස්කව් හි ජීවත් වෙමින්, 25 වසරක් පුරා සාහිත්‍යකරණයේ නිරත වූ දැදිගම වී. රුද්‍රිගු 1988 නොවැම්බර් 27 වැනි දා සිය ලිවිසැරියට මෙන් ම, දිවිසැරියට ද සමුදුන්නේ ය. ඔහුගේ නිවසේ වූ දැවැන්ත පොත් එකතුව ඔහුගේ මරණයෙන් පසුව ලුමුම්බා සරසවිය වෙත ප්‍රදානය කෙරිණි. ඊට මූලිකත්වය ගත්තේ එකල එහි ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාව සිටි වර්තමානයේ කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටින බුද්ධප්‍රිය රාමනායක මහතා යි.
සෝවියට් කාන්තාවක හා විවාහ වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට විශ්වාස කෙරෙන්නේ දැදිගම වී. රුද්‍රිගු ය. එමෙන් ම, පූර්ණ ගෞරව සහිතව සෝවියට් දේශයේ මිහිදන් කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද සැලකෙන්නේ ඔහු ය.
ඒ සා සුවිසල් සේවාවක් මෙරට පරිවර්තන සාහිත්‍යය වෙනුවෙන් සිදුකළ දැදිගම වී. රුද්‍රිගු සූරීන් මෙරට රුසියානු සාහිත්‍යලෝලීන්ගේ අවධානයට පාත්‍ර වූවා මඳ යැයි අපට හැඟෙන්නේ අප දන්නා තරමින් ඔහුගේ ජීවන තොරතුරු හා නිර්මාණ කාර්යයන් පිළිබඳව මෙතෙක් සම්පාදනය කර ඇත්තේ, ග්‍රන්ථ ත්‍රිත්වයක් පමණක් වන හෙයිනි. ඉන් ‘රුසියානු සාහිත්‍ය කවයේ’ ආරම්භක ප්‍රධාන සම්බන්ධීකාරක දිවංගත සිරිමාන්න කරුණාතිලක සූරීන්ගේ ‘දෙරටක් යාකළ මානවවාදී සාහිත්‍යවේදියා – දැදිගම වී. රුද්‍රිගු සහ ‘රුසියානු’ සඟරාවේ ප්‍රකාශක සරත් ලාල් කුමාර විසින් රචිත ‘අමරණීය මිනිසා : දැදිගම වී රුද්‍රිගු’ නම් කෘතිද්වය ප්‍රධාන වේ. ඊට අමතරව සිරිමාන්න කරුණාතිලකයන්ගේ ‘ශ්‍රී ලංකා-සෝවියට්-රුසියා සබඳතා : ඇසි දිසි අයුරින්’ නම් ග්‍රන්ථයේ ද දැදිගම වී. රුද්‍රිගු පිළිබඳව යම් පමණක තොරතුරු ඇතුළත්ව තිබේ.
එහෙත්, රුසියානු සාහිත්‍යය මෙරට සිංහල දමිළ පාඨකයන්ට සමීප කිරීම සම්බන්ධයෙන් වසර විසිපහක් තිස්සේ ඔහු විසින් සිදුකරන ලද මිල කළ නොහැකි සේවය මෙරට සිංහල දමිළ රුසියානු සාහිත්‍ය ලෝලීන් අතර තවත් චිරාත්කාලයක් සුවඳ විහිදුවනු ඇත.
● අනුර බී. සෙනෙවිරත්න