රුසියාවට අහිමි ඔලිම්පික් ගමනේ ආසියාව ඉදිරිපෙළට පැමිණෙයි

1634

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ වනවිට එහි අවසානයට පැමිණ තිබෙනවා. සෑම වරකදීම සිදුවන ආකාරයට මෙවරත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවති කාලය තුළ ලෝකයේම අවධානය දිනා ගැනීමට පැරිස් පුරවරයට හැකි වුණා. ආරම්භයේ පටන්ම ක්‍රීඩා වාර්තාකරණය සතු මූලික ලක්ෂණ වූ සුවිශේෂී ක්‍රීඩකයන්, සුවිශේෂ තරග ඉසව්, විවාදාපන්න සිදුවීම්, ජයග්‍රහණවල ඇති සියුම් බව වැනි කාරණා මෙවරත් ලෝකයේම ක්‍රීඩා මාධ්‍යවේදීන් මගින් සෑම රටකටම ගලායෑම සිදුවූයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සතුව ඇති සුවිශිෂ්ට බව මතු කරමින්. ඒ අනුව පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල හරහා ඇති වූ සුවිශේෂ තත්ත්වයන් පිළිබඳ දිවයින පාඨකයන් දැනුවත් කිරීමට අද අප තීරණය කළා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී වඩාත්ම කතාබහට ලක්වන්නේ එම උළෙලේදී බිහිවන වේගවත්ම මිනිසා සහ වේගවත්ම කාන්තාව පිළිබඳවයි. සෑම ඔලිම්පික් තරගාවලියක් හරහාම ලෝකයට එක්වන එම අපූර්ව ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ඔවුන්ගේ සමස්ත ජීවිත කාලය තුළම විශ්ව තරුවක් වන බව ප්‍රකට කාරණයක්. ඒ අනුව මෙම ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ගේ ජිවිතයේ අනෙකුත් සෑම කටයුත්තක් පිළිබඳවම ලෝකයේ අවධානය හිමිවනවා. ඒ අනුව 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුළින් බිහි වූ වේගවත්ම මිනිසා කවුද ? මෙවර පැරිස් ඔලිම්පික් ධාවන පථය තුළ මීටර් 100 අවසන් මහා තරගයේදී ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නොහ් ලිලිස් ක්‍රීඩකයායි. ඒ අවසන් මහා තරගයේදී තත්පර 9යි දශම 79ක කාලයක් සටහන් කරගනිමින්. එහෙත් මෙම තරගය ජයගැනීමේ වැඩි අපේක්ෂා දල්වා සිටි ජැමෙයිකාවේ කිශේන් තොම්ප්සන් ද තරගය නිමා කළේ එම තරග නිමි කාලයම සටහන් කරගනිමින් වීම විශේෂත්වයක්. අනතුරුව වඩාත් සියුම්ව සහ විශ්ලේෂණාත්මකව සිදුකළ තාක්ෂණික සොයා බැලීමෙන් අනතුරුව තත්පරෙන් පන්සියයක කොටසකින් ජයග්‍රණය ඇමෙරිකානු ක්‍රීඩක නොහ් ලිලීස්ට හිමිවුණා. තරග උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වෙමින් ඔලිම්පික් රන් පදක්කමට හිමිකම් කීවේ ශාන්ත ලුසියා රාජ්‍යයේ ජුලියන් ඇල්ප්‍රඩ් විසින්. එහිදී ඇය විසින් ප්‍රදර්ශනය කළ කාලය වූයේ තත්පර 10 යි දශම 72ක්. කාන්තා මීටර් 100 තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ෂා කෙරී රිචඩ්සන් සමත් වුණා. ඒ සඳහා ඇය වාර්තා කළ කාලය වුයේ තත්පර 10යි දශම 87ක්.

ඔලිම්පික් ඉතිහාසය දෙස හැරී බැලීමේදී වසර ගණනාවක් පුරා එහි ආධිපත්‍ය පතුරුවන්නට සමත් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. විශේෂයෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල හරහා කිසියම් රටක අභිමානය, දියුණුව සහ එකී රාජ්‍යයේ ජීවත්වෙන ජනසමූහයේ ප්‍රබලත්වය විදහා දැක්වෙන බැවින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණය දිනා ගැනීම බොහෝ රටවල සිහිනය වුණා. මේ නිසාම එක් එක් රටවල් ඒ සඳහා හැකි සෑම අයුරකින්ම උත්සාහ කිරීම පසුගිය කාලය පුරාම දැකගත හැකි වූ කරුණක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙල අරමුණුකොටගෙන මහා බි්‍රතාන්‍ය එම නමින් තරග කරන්නේ මෙම පසුබිම නිසයි. ඔවුන් ක්‍රිකට්, රග්බි වැනි තරගාවලි සඳහා එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්ස් යනාදී වශයෙන් වෙනම තරග කළත්, ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මහා බි්‍රතාන්‍ය ලෙස තරග වදින්නේ ඒ අභිලාෂය මතයි. එලෙසෙම ඔස්ට්‍රේලියාව තම ජාතික ප්‍රතිපත්ති තුළ ක්‍රීඩා සංවර්ධනයට සහ ක්‍රීඩා තාක්ෂණය දියුණු කිරීමට එතරම් වෙහෙස වන්නේත් මෙම කරුණ නිසා බව පැහැදිලි කරුණක්.

කෙසේ හෝ ඔලිම්පික් ඉතිහාසය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය ලබාගෙන තිබූ ආධිපත්‍යයට මුලින්ම අභියෝගය එල්ල කළේ සෝවියට් සමූහාණ්ඩුවයි. සෝවියට් සමූහාණ්ඩුව එක්ව තිබූ කාලය තුළ ඔවුන් මෙම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වැඩි ගෞරව දිනාගැනීමට සමත්වූයේ අනෙකුත් සියලුම රටවලට අභියෝග කරමින්. පසුකලකදී සෝවියට් සමූහාණ්ඩුව බිඳී යෑමෙන් අනතුරුව නැවතත් ඇමෙරිකා එකසත් ජනපදය ඔලිම්පික් උළෙලේ තමන් ලබා සිටි කීර්ති නාමය නැවත දිනාගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම ගමනට නැවත අභියෝග එල්ල වූයේ චීනය ප්‍රබල රාජ්‍යක් ලෙස නැගී ඒමත් සමගයි. මේ වන විට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමස්ත බලපරාක්‍රමය තනි රටකට හිමිව නැති අතර බොහෝ විට එය ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තරගයක් වී තිබීම විශේෂත්වයක්. මෙම ජයග්‍රහණ සඳහා බලපාන එක් ප්‍රධාන කරුණක් ලෙස රටක ජනගහනය බලපාන බැවින් ඉදිරියේදී අසල්වැසි ඉන්දියාවටත් මෙම තරගයට එක්විය හැකියි. කෙසේ වෙතත් ලෝක ජනගහනයෙන් වැඩිම පිරිසක් ජීවත්වෙන ආසියාව දෙසට මේ වන විට ඔලිම්පික් ජයග්‍රහණ වැඩියෙන් හිමිවීම උක්ත කාරණය සනාථ වන හේතු වී තිබෙනවා. එය අප වැනි රටකට වැදගත් වන්නේ කලාපය තුළ සිදුවන ක්‍රීඩා වර්ධනය සමඟ අපටත් ඉදිරියට යෑමට හැකිවීම නිසයි.

මේ වන විට එනම් අගෝස්තු 09 දින වන විට 2024 පැරිස් ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදය දිනා සිටින්නේ චීනයට වඩා එක් රන් පදක්කමක් ඉදිරියෙන් සිටිමින්. මෙහිදී ආසියාවේ තවත් නැගී එන ප්‍රබල රටක් වන කොරියාව සමස්ත පදක්කම් සටහනේ 6 වැනි ස්ථානයත් ජපානය 7 වැනි ස්ථානයත් දිනා සිටීම අප ඉහත කී කරුණ සනාථ වන අවස්ථාවක්. එහිදී කොරියාව රන් පදක්කම් 13ක් සහ රිදී පදක්කම් 8ක් සමඟ සමස්ත පදක්කම් 28 දිනාගෙන සිටින අතර ජපානය ද කොරියාව ලෙසම රන් පදක්කම් 13ක් දිනාගෙන කොරියාවට වඩා එක් රිදී පදක්කමක් පිටුපසින් සිටින්නේ කොරියාවට වඩා සමස්ත පදක්කම් ප්‍රමාණයක් ලබාගනිමින්. ඒ අනුව ජපානය දිනාගෙන ඇති සමස්ත පදක්කම් ගණන 33ක්. ක්‍රීඩා උළෙල අවසන් වෙද්දී මෙම පදක්කම් සටහන වෙනස් විය හැකි වුවත් මේ හරහා පෙනී යන්නේ ආසියාව ඉදිරියේදී ඔලිම්පික් බිම තුළ සිය බලය පතුරුවා සිටින බවයි. පදක්කම් සටහනේ රන් පදක්කම් දෙක බැගින් දිනාගෙන සිටින හොංකොං, පිලිපීනය, ඉන්දුනීසියාව සහ රන් පදක්කම් 1 බැගින් දිනාගෙන සිටින කසකස්තානය, තායිලන්තය, චයිනීස් තායිපේ සහ පකිස්තානය වැනි රටවල්ද ඉදිරියේදී තම ඔලිම්පික් හැකියාවන් වැඩි දියුණු කරගැනීමට තම උපරිම උත්සාහය දරනු නියතයි. අසල්වැසි ඉන්දියාව ද ඉදිරියේදී මෙම ගමනට එක්වීමට සූදානමින් සිටීම විශේෂත්වයක්.

ඒ අනුව ඔලිම්පික් ඉතිහාසය අනාගතයේදී තවත් වර්ණවත් කිරීමට ආසියානු කලාපයට හැකිවෙනු ඇති බව මෙමගින් පෙනී යනවා. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට රුසියානු ධජය යටතේ එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගිවීමට අවස්ථාව අහිමිවීමත් විශේෂ කරුණක්. ඒ හරහා ඔලිම්පික් පදක්කම් සටහනට මෙන්ම තරගකාරිත්වයට සිදු වූයේ නොනිසි බලපෑමක්. මේ වන විට ඔලිම්පික් යනු හුදු ක්‍රීඩා උළෙලක් නොව රටක, ලෝකයක අනාගතය තීරණය වන සංධිස්ථානයක් තරමට පත්වී ඇති බව අප විශ්වාස කරන්නේ මෙම කාරණා මතයි.

සුනිල් සෝමසිරි


advertistmentadvertistment