රුසියාවේ උසස් අධ්‍යාපනය ලබාදෙන බව පවසා, සංචාරක වීසා යටතේ එරටට සිසුන් රැගෙන ගොස් , ඔවුන්ගේ මුදල් වංචා කර ලබාගෙන, එරට අතරමං කළ පුද්ගලයකු පසුගිය (20දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු කටාන ප්‍රදේශයේ සිසුවකු රුසියාවේ උසස් අධ්‍යාපනය සඳහා යවන බව පවසා රුපියල් විසි එක් ලක්ෂ අනූ පන් දහසක මුදලක් වංචා කිරීම පිළිබඳ මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සිදු කර තිබූ පැමිණිල්ලකට අදාළව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගෙන තිබූ ගුවන් ගමන් තහනමක් උපයෝගී කර ගෙන මොහු රුසියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබූ පැමිණිල්ලට අමතරව මොහුට එරෙහිව මාතර මූලස්ථානය පොලිසිය වෙත ලැබී තිබූ පැමිණිලි 17ක්, කුළියාපිටිය පොලිසියට පැමිණිලි 02ක් ද කුරුණෑගල පොලිසියට පැමිණිලි 03ක් ද නාරාහේන්පිට පොලිසියට එක් පැමිණිල්ල ක් ද ලැබී තිබුණි.
මීට අමතරව මොහු පිළිබඳ වාද්දුව, අම්පාර සහ මොරටුව පොලිසිවලට පැමිණිලි ලැබී ඇති බව මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත දැනුම් දී ඇති බව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතා පැවසීය.
මෙම පුද්ගලයා මෙසේ රුසියාවට රැගෙන ගිය සිසුවකුට පිහියකින් ඇණ තුවාල සිදු කිරීම පිළිබඳ එරට පොලිසිය මොහුට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමත් සමග එයින් බේරීම සඳහා මොහු පසුගිය (20දා) ශ්‍රී ලංකාවට පලා විත් තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම අංශයේ නිලධාරීහු පිරිසක් විමර්ශන සිදු කරමින් සිටිති.
කටුනායක ටී.කේ.ජී.කපිල