රුසියාවේ ගගාරින් අපේ මැගිලින්

559

වීරත්වයට පැසසුම් ලද්දෝ අපේ ඉතිහාසයේ ඈත අතීතයේ රජදවස පටන් සටහන් වෙයි. රට වෙනුවෙන් මෙන්ම සෙසු අයගේ ජීවිත බේරාදීම වෙනුවෙන් මෙන්ම අජටාකාශය තරණය කිරීම වෙනුවෙන්ද ලොව පුරා වීරත්වයට පැසසුම් ලැබුවෝ වෙති.

අප මේ ලියන කතාවද වීරත්වයට එකම වසරක අප රට තුළදී පැසසුම් ලද දෙදෙනකු පිළිබඳව අපූර්ව කතාවක් ඔබට කියාපාන්නකි.

1961 ජුලි මාසයේදී පාසල් මිතුරියන් පිරිසක් සමග දියගම ඇළේ දිය නාන්නට ගිය පිරිසෙන් කෙනෙකු වූයේ ‘මැගිලින් නෝනා’ නම්වූ එවක තාරුණ්‍යයේ සිටි යුවතියකි. වරෙක ඇය තම මිතුරියන් පිරිසක් සමග දියගම ඇළට නාන්නට ගියාය. හදිසියේ ජල රකුසාගේ සරදමට ලක්වූ ඇගේ යෙහෙළියන් දියේ ගිලෙන්නට වූයේ තමන් බේරා ගන්න කිසිවකු නැතිදෝයි විලාප දෙමිනි. වහා කි‍්‍රයාත්මක වූ මැගිලින් නෝනා දියඹට පැන තම මිතුරියන්ගේ දිවි ගලවා ගත්තේ දිය කිඳුරියක මෙනි. ජල රකුසා පරදවමිනි.

රුසියාවේ ගගාරින් අපේ මැගිලින්
යූරි ගගාරින් මහජන හරසර මැද විවෘත මෝටර් රියක නැඟී මහනුවර කළ සංචාරයේදී….

මැගිලින් නෝනාගේ වීර කි‍්‍රයාව එකල පුවත්පත්වල මහත්සේ ප‍්‍රසිද්ධ වූයේය. මැගිලින් නෝනාට මේ අතර හදිසි කැඳවීමක් ලැබුණේ එවක අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙනි. මැගිලින් නෝනා වෙනුවෙන් ඇය අරලියගහ මන්දිරයේ පුංචි උත්සවයක් සංවිධානය කළාය. ජාත්‍යන්තර සිංහ සමාජයේ ලංකා ශාඛාව ප‍්‍රදානය කළ එම රන්පදක්කම මැගිලින් නෝනාට පළඳවා ඇගේ වීර කි‍්‍රයාව අගයන්නට මැතිනිය කි‍්‍රයා කළේ 1961 ඔක්තෝබර් මස 21 වැනි දින සවස්වරුවකය.

මැගිලින් නෝනා එම උත්සවයට අරලියගහ මන්දිරයට පැමිණියේ තම දෙමව්පියන් ඇතුළු ඥාති පිරිසක් හා සිංහ සමාජයේ මෙරට සාමාජික පිරිසක්ද කැටුවය.

රන් පදක්කම ඇගේ ඇඳුමෙහි පැළඳ අගමැතිනිය ‘මැගිලින් නෝනා විදහා දක්වන ලද ධෛර්ය සම්පන්න වනිතාවන්ටම කරන ලද ගෞරවයක් සියලූ දෙනා අද අපේ කි‍්‍රයාව ගැන පී‍්‍රති වෙනවා. මේ වීර කි‍්‍රයාව සෙසු ළමයින්ටත් ආදර්ශයක් ඇගේ අධ්‍යාපනය දිගටම කරගෙන යෑමට ආධාර කිරීමටත් රජය සූදානම්. එම අගය කිරීම කරන්නට මුල්වූ සිංහ සමාජයටද එම කෘතවේදීත්වය පුදනවා යයි පැවසුවාය. සිංහ සමාජයේ ලංකා ශාඛාවේ සභාපතිව සිටි පී. ඒ. එදිරිවීර මහතා එහිදී කතා කරමින් එවැනි උත්සවයක් අරලියගහ මැඳුරේ පවත්වා මේ ශිෂ්‍යාවගේ වීර කි‍්‍රයාව ඇගයීමට ලක් කිරීමට අගමැතිනිය කි‍්‍රයා කිරීම ගැන තම කෘතඥතාව පුදකර සිටි බවද අපට මතකය. මැගිලින් නෝනාද අගමැතිනියටත් සිංහ සමාජයටත් තුති පුදමින් වචන කිහිපයක් හෝ පවසන්නට අමතක නොකළාය.

රුසියාවේ ගගාරින් අපේ මැගිලින්
ලංකාවට පැමිණි යූරි ගගාරින්ට මැගිලින් නෝනා යුවතිය මල්මාලා පළඳවා පිළිගත් අන්දම.

1961 වසරේ දෙසැම්බර් 6 වැනිදා මැගිලින් නෝනාටද ලොව පූජිත අජටාකාශ ගාමියකු වූ යූරි ගගාරීන් හමුවිය. ඒ ඔහුගේ මෙරට සංචාරයේදීය. මැගිලින් නෝනා යුවතියට එම මුණගැසීම උදාකර දීමට ද එවක අගමැතිනිය මුල් වූවේය. මෙරටට පැමිණෙන ගගාරින්ව පිළිගැනීමට ඇයගේ නම යෝජනා කළේ මැතිනියයි.

මෙතැන් පටන් යූරි ගගාරින්ගේ එම ලංකා චාරිකාව පිළිබඳව අපූර්ව කතාව ඔබ ඉදිරියේ දිග හැරෙන්නේය.

රුසියානු පිටසක්වල වීරයා වු යූරි ගගාරින් ඔහුගේ බිරිඳත් සමග ඊයේ දහවල් 12.30 ට පමණ රැස්ව සිටි පිරිසකගේ ජයවේවා හඬ මධ්‍යයේ ලක් පොළොවට පා තැබීය.

මැති ඇමැතිවරුන්ට ගගාරින් හඳුන්වා දීමෙන් පසු ගගාරින් කෙළින්ම ගියේ පොදු ජනතාවට වෙන්කර තිබූ පැත්තටය. දෑත් එක්කොට සිංහල සිරිතට ආයුබෝවන් කියු ගගාරින් තම බිරිඳ වැලන්ටිනා සමග ගුවන්තොටුපළේ සම්භාවණීය අමුත්තන් සඳහා වූ සටහන් පොතේ සටහනක් තබන්නට එක්වූවේය. ගුවන් යානය දොර අභියසට සුදු නිල් රතු පාට ගුවන් නැවියකුගේ ඇඳුමින් සැරසී සිටි ගගාරින් ගුවන් යානයෙන් පිටතට පැමිණෙත්ම හීන් බබා ධර්මසිරි මෙහෙයවූ මඟුල් බෙර නැටුම් කණ්ඩායම බෙර වාදනය කරමින් රංග ශිල්ප දැක්වූහ.

රුසියාවේ ගගාරින් අපේ මැගිලින්
මැගිලින් නෝනා කළ වීර කි‍්‍රයාවට රන් පදක්කම එවක අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ඇයට පැළඳවූ අයුරු.

මැති ඇමැතිවරුන්ට ඔහුව හඳුන්වාදීම සිදුවූ පසු මල් චීත්තයකින් සහ සුදු හැට්ටයකින් සැරසී සිටි වීර මැගිලින් නෝනා රෝස පැහැති ඕකිඞ් මල් කළඹක් ගගාරින් මහත්මයටද රෝස ඕකිඞ් මල් මාලාවක් ගගාරින් මහත්මියටද පැළඳ වූවාය. බදියුදීන් මහමුද්, පී. බී. ජී. කළුගල්ල, මෛති‍්‍රපාල සේනානායක, වී. ටී. ජී. කරුණාරත්න, ඉසෙඞ් සිරිවර්ධන ඇතුළු මැති ඇමැතිවරුද ගුවන් තොටුපළට පැමිණ සිටියහ. හැව්ලොක් ටවුමේ ජ්‍යෙෂ්ඨ පාසලේ සහ මොරටුවේ වික‍්‍රමශිලා කලාගාරයේ ශිෂ්‍යාවන් පිළිගැනීමේ ගීතයක්ද ගායනා කළාය. දවස මාණ්ඩලික වාර්තාකරු ජැක්සන් සේනාරත්න 1961 එම සිදුවීමට විශේෂිත දවස පුවත්පතේ මුල්පිටුවේ ප‍්‍රධාන සිරස්තලය යටතේ එසේ ගොනුකර තිබුණේ ‘මෙන්න රුසියන් රුසියා ලංකාවට සැපත්වූ හැටි’ යන සිරස්තලවලිනි.

එම ලංකා සංචාරයේදී යූරි ගගාරින්ට මෙරටදී උණුසුම් ජනතා හරසර ලැබීමද විශේෂ සිදුවීමකි.

රුසියානු ජනතාව සුරතලයට මෙන් යූරි ගගාරින්ව හැඳින්වූයේ ‘යූරා’ යන ආදර නමකිනි. ගගාරින් අජටාකාශයෙහි ගත කළේ විනාඩි 108 කි. ඔහු අජටාකාශ තරණය කළ ප‍්‍රථමයාද වූයේය.

රුසියාවේ ගගාරින් අපේ මැගිලින්

ගුවන්තොටුපළේ සිට මග දෙපස රැස්කකා සිටි මහා පිරිසගේ සුබ පැතුම් මධ්‍යයේ විශාල රිය පෙරහැරකින් අගනුවර බලා ගමන් ගත්තේය. අතරමග කිිහිප ස්ථානයකදී රිය පෙරහර නැවැත්වූ ජනතාව විසින් මල් මාලා පළඳවා ඔහු සාදරයෙන් පිළිගන්නා ලදී. සෑම අයෙකුටම මේ වීරයා නුදුරින් සිට දැක ගැනීමට ඔහුගේ අත ගෙන සුබ පැතීමට අවශ්‍ය විය. ඔහුට අතදී ආචාර කිරීමට වාසනාව ලද්දවුන්ගේ මුහුණුවල ‘දැක්කද මම ගගාරින්ට අතදී ආචාර කළා’ යැයි කියන්නාක් වැනි ආඩම්බර හැඟුමක් පිළිබිඹු වනවා දකිත හැකි විය. ඒ ගගාරින් අජටාකාශයට පිවිස එහි දොර විවෘත කළ පළමුවන මිනිසා නිසාය. ගගාරින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගත් අවස්ථාවේදී නැවත වරක් ඔහු දැක ගැනීමට මට හැකිවිය. කොළඹ-මහනුවර මහා මාර්ගය අසල පිහිටි පාසල් කී‍්‍රඩා භූමියක අජටාකාශ වීරයා පිළිගැනීම සඳහා මහා රැස්වීමක් සංවිධානය කරන ලදී. මෙයට විශාල ජනකායක් සහභාගි වූහ. අප ඔහු බලාපොරොත්තු වූ කාලයට වඩා ප‍්‍රමාදවී ඔහු රැගත් මෝටර් රථ පෙරහර උත්සව භූමියට ළඟා විය. එසේ හෝ සුළු ප‍්‍රමාදයකින් නියමිත ස්ථානයට පැමිණීමට ලැබීම මහත් සේ අසීරු කාර්යයක් බව අපට පසුව දැන ගැනීමට ලැබිණ. ගගාරින් දැක ගැනීමට මග දෙපස රැස්ව සිටි පිරිසගේ ඉල්ලීම පරිදි සෑම නගරයකදීම මංසන්ධියකදීම රථ පෙරහර නැවැත්වීමට සිදුවිය. එහිදී ජනතාව ගගාරින්ට මල්මාලා පළඳවා ඔහු පිළිගත්හ. ඔහුට තැඹිලි වතුර වීදුරුවකින් පවා සංග‍්‍රහ කිරීමට ඉදිරිපත්වූ අයද විශාල සංඛ්‍යාවකි. ඔහු නැවතුන සෑම ස්ථානයකම ඔහුට සුබ පැතීමට එසවුණු අත්දහසකි.

ගගාරින් පිළිගැනීමට පැවැත්වූ රැස්වීමේදී ඔහු රැස්ව සිටි පිරිස අමතා කළ කතාව මට අද මෙන් මතකය. අජටාකාශයේදී මට අපේ පෘථිවිය කුඩාවට හොඳට පෙණුනා. අපේ පෘථිවිය ඉතාමත් ලස්සනයි. එය දෙස බලා සෑහීමකට පත්වෙන්න බැහැ. එය අභ්‍යවකාශයේ පාවෙන නිවසක් ලෙස මා කල්පනා කළා. පෘථිවියේ වසන සියලූම ජනතාව එම නිවසේ එකම පවුලේ සාමාජිකයන් වශයෙනුයි මට එහිදී හැඟී ගියේ. කෙතරම් අගේද? අපි එදා දුර සිට අප පෘථිවිය දුටු එම වීරයාට ගෞරවය පුද කළ අතර ළමා මනසෙහි ඇතිවන ඔහු කෙරෙහි ඇතිවූ ඊර්ෂ්‍යාවකින් ද පෙළුනෙමු’ එය සුහද හැඟීමක් විය.ගගාරින් දිවයිනේ පෞරාණික නගර කිහිපයකට ද වෙනත් ප‍්‍රධාන නගර කිහිපයකට ද ගියේය. මේ සෑම ස්ථානයකදීම දහස් ගණන් ජනතාව ලොව පළමුවන අජටාකාශගාමී වීරයා දැක ගැනීමට රැස්ව සිටියහ. සමහරු ඔහු සමග කතා කිරීමට ද උත්සාහ දැරූහ. ඔහු ඉතා උණුසුම් ලෙස පිළිගත්හ. දිවයිනෙන් බැහැරව යන තෙක්ම ඔහු මෙහි සිටි කෙටි කාලය මුළු ලංකාවම උත්සවශී‍්‍රයෙන් ඇළලී ගියේය. යූරි ගගාරින්ගේ ලංකා සංචාරය පිළිබඳව එම ගමනින් විසිවසරකට පසු එකල පළවු සෝවියට් දේශය සඟරාවේ එලෙස සටහනක් තබා තිබුණේ.

ගගාරින්ගේ එම සංචාරයේදී පැළයක්ද පේරාදෙණිය උද්භිත උද්‍යානයේ රෝපණය කරනු ලැබීය. එම පැළය වෘක්‍ෂයක් වී අදට ද එහි දකින්නට තිබේ.

වීරත්වයට පැසසුම් ලද ලංකාවේ යුවතියක හා ලෝක පූජිත වීරයකු පිළිබඳව එකම වසරක වූ හමුවීම මෙරටදී ලද පැසසුමක් එලෙස ඉතිහාසයේ සටහන් වූවේය.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment