රුසියාවේ “ගාමන්ට්” වහල් සේවයට පටවන අපේ ගැහැනු…තවත් මිනිස් ජාවාරමක්

846

අපිට අඳින්න දීලා තියෙන්නෙ යට ඇඳුම් දෙකයි, නයිටියයි, යුනිෆෝම් දෙකක් විතරයි…

මාසෙ පඩිය 150000ට අඩුයි, ඒකත් දෙන්නෙ තුන් පාරකට…

අපේ පඩිය ලංකාවට යන්නෙ ඉතාලියට ගිහින් උණ්ඩියල් ක්‍රමයට…

රුසියාවට ගිහින් මාස ගානක් වෙනවා….තවම ගාමන්ට් එකෙන් එළියට බැහැල නෑ…

ලංකාවට එන්න බෑ…ඒත් මේ හිර කූඩුවේ ඉන්න බෑ…

ජාවාරම මෙහෙයවන්නෙ දෙමළ තරුණියක් සමග සිංහල අයිය, මලෝ දෙදෙනෙක්…

ලෝකයේ නින්දා සහගතම ජාවාරම මිනිස් ජාවාරමය. අපේ රට එම ජාවාරමේ ද පෙරමුණට පැමිණ බොහෝ කාලයකි. ඉතාලිය ඇතුළු යුරෝපීය රටවලට, මැද පෙරදිග රටවලට මෙන්ම ලොව පුරා විවිධ රටවලට මුහුදු මාර්ග ඔස්සේ අපේ මිනිස්සු ඇතුළු වූයේ 1970 ගණන්වල සිට ය. එදවස අශ්ලීල ජාවාරම්කාරයන් විසින් අනවසර සංක්‍රමණිකයන් සඳහා බෝට්ටු සංවිධානය කිරීම එළිපිටම සිදු කළේය. දිරාපත් අබලන් බහුදින යාත්‍රා අලුත්වැඩියා කර සංක්‍රමණිකයන් රැගෙන යෑමට සූදානම් කළේය. එකී ඇතැම් බහුදින යාත්‍රාවල හිමිකාරිත්වය දේශපාලනඥයින්ට ද පැවරී තිබූ බව වාර්තා විය. අම්ම, අප්පා විකුණා හෝ මුදල් සොයන අලජ්ජ දේශපාලනඥයන් සහ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් එකමුතුවෙන් කරගෙන ගිය එම මිනිස් ජාවාරම නාවික හමුදාවට ද පාලනය කරගැනීමට නොහැකි විය.

නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා යොදාගෙන මිනිස් ජාවාරම්කාරයන් අත්අඩංගුවට ගැනීමට දැල් එළුව ද අතිශය සූක්‍ෂම අයුරින් ඒ දැල් සිදුරු කරගෙන මිනිසුන් රැගත් යාත්‍රා ඉලක්කයට ගමන් කළේය. 2014 වර්ෂයට පෙර සිවු වසරක් ඇතුළත හත්දහසකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් බෝට්ටුවල නැගී ඔස්ට්‍රේලියාවට පමණක් ඇතුළු වී තිබිණි. එම තත්ත්වය පාලනය නොවන පසුබිමක කලාපයේ මිනිස් ජාවාරම සිදු කරන කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වී ඇති ආකාරය ගැන වෙළෙඳ දැන්වීම් හරහා සමාජගත කිරීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කළේය. ඒ මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයන් රැගෙන යන ජාවාරම නතර කිරීමට 2014 වර්ෂයේ සිට ඔස්ට්‍රේලියානු රජය විසින් මෙරට වෙළෙඳ දැන්වීම් ව්‍යාපෘතියක් ආරම්භ කරමිනි.

රුසියාවේ "ගාමන්ට්" වහල් සේවයට පටවන අපේ ගැහැනු…තවත් මිනිස් ජාවාරමක්

සාමාන්‍යයෙන් රටක රජයක් තව රටක් තුළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත්ව ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරනුයේ ඒ රටේ සංචාරක ව්‍යාපාරයේ ඉලක්ක සාධනය කරගැනීමටය. සංස්කෘතික සබඳතා ගොඩනඟා ගැනීමටය. ආර්ථික ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නටය. එහෙත් ඩොලර් මිලියන ගණන් වියදම් කර ඔස්ට්‍රේලියානු රජය අපේ රට තුළ මේ ප්‍රචාරක ව්‍යාපෘතිය දියත් කළේ බෝට්ටුවල නැගී සිඟන්නන් සේ මේ රටේ මිනිසුන්ට ඔස්ට්‍රේලියාවට එන්න එපා කියන්නටය. ලෝකයේ ගර්හාවට ලක් වූ නින්දිත මිනිස් ජාවාරම කරන අලජ්ජීන්ට රැවටෙන්නට එපා යන පණිවුඩය අපේ මිනිසුන්ට දෙන්නටය. ඒ කාලයේ මෙරට රූපවාහිනී ප්‍රවෘත්තිවල මුල් පුරවැසි පුවතට අනුග්‍රහය දැක්වූයේ ද ඔස්ට්‍රේලියානු රජයේ එම ප්‍රචාරක ව්‍යාපෘතියයි. සියලුම රූපවාහිනී චැනලවල වැඩි පිරිසක් නරඹන මිල අධිකම වෙලාව, පුවත්පත්වල ඉහළ මිලක් සහිත වර්ණ පිටු මිලදී ගනිමින් දියත් කළ මේ ව්‍යාපෘතියට ඔස්ට්‍රේලියානු රජය විසින් කෝටි ගණන් මුදල් වියදම් කළ බව සැබෑය. එම දැන්වීම් ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයන් රැගෙන යෑමේ නින්දිත මිනිස් ජාවාරම සැලකිය යුතු මට්ටමකට පාලනය වී ඇති බව ද වාර්තා වේ. එහෙත් ඔස්ට්‍රේලියානු රජය විසින් ආරම්භ කළ දැන්වීම් ව්‍යාපෘතිය අදටත් එලසින්ම දියත් කරන බව රූපවාහිනීය, පත්තර බලන මිනිස්සුන්ට පෙනේ.

මෙරට මිනිසුන් පිටරට පටවන මිනිස් ජාවාරමේ අඳුරු පැතිකඩේ තිර පටියක් ඉරා දැමුවේ අදටත් මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට හෝ වෙනත් රටවලට සංක්‍රමණිකයන් රැගෙන ඇතුළු වන යාත්‍රා ගැන හෙළිදරව් කිරීමට නොවේ. බෝට්ටුවලින් හොරෙන් කරපු මිනිස් ජාවාරම දියුණු කරමින් නීත්‍යනුකූලව රුසියාවට ශ්‍රී ලාංකිකයන් යවන ජාවාරමක් ගැන හෙළිදරව් කිරීමටය. ප්‍රවේශය 2014 වර්ෂයෙන් එපිටට දිග්ගැසුවේ මේ රටේ මිනිසුන් පිටරට පටවන ‘මිනිස් ජාවාරම’ අද, ඊයේ ආරම්භ වූවක් නොවන බව ඒත්තුගැන්වීමටය. එහෙත් පෙළගැසෙන මේ කතාව ‘මිනිස් ජාවාරමෙන්’ ඔබ්බට ගිය ‘වහල් සේවයේ’ යොදවන තිරිසන් කතාවක් බව පෙර සිට සඳහන් කළ යුතුය. රුසියාවේ කඳවුරුගතව වහල් සේවයෙහි නිරතව සිටින ඒ අසරණ ශ්‍රමිකයන් අපට කළ හද කකියවන ආයාචනය ඔවුන්ගේම වචනවලින් ඉදිරිපත් කරමින් ඒ දුක්බර කතාව මෙසේ පෙළගැස්වීමට අපි අදහස් කළෙමු.

“අපේ නම්, ලංකාවේ පදිංචි ගම් සඳහන් කරන්න එපා. එහෙම වුණොත් අපිට මොනව කරයි ද දන්නෙ නෑ. මේක මහා ජාවාරමක්. අපි මේ උගුලට අහු වුණා. අපිත් එක්ක වැඩ කරන සේරම ළමයි ඇවිත් ඉන්නෙ ලොකු මුදලක් වියදම් කරලා. සමහර ළමයි සල්ලි හොයාගෙන තියෙන්නෙ ගෙවල්, දොරවල් උකස් කරල. තව අය පොලියට සල්ලි අරගෙන. තව පිරිසක් පවුලෙ සේරමගෙ රත්තරන් බඩු උකස් කරල. හිස් අතින් ලංකාවට යන්න වුණොත් අපි සේරටම ප්‍රශ්න වැලකට මුහුණ දෙන්න වෙනවා. කොහොමහරි දුක් විඳගෙන රුසියාවේ රැකියාවක් කරල මෙහෙට එන්න වියදම් කරපු මුදලවත් හොයාගෙන යන්න ඕන. ඒ නිසා දැනට වැටිල ඉන්න අපායෙන් මිදෙන්න උපකාරයක් කරන්න…” ඒ අසරණියන්ව තවත් දුකට පත් කිරීමට අප කැමැති නැත. එහෙයින් රුසියාවේ ඇඟලුම් ආයතනවල විඳින අපා දුක ගැන අදහස් ප්‍රකාශ කළ අයගේ නම් සඳහන් නොකර සිටීමට අපි වගබලා ගන්නෙමු.

“මම රුසියාවට ආවේ මේ අවුරුද්දෙ. බියගම ඒජන්සියක් මාර්ගයෙන් තමයි මෙහෙට ආවේ. ගොඩක්ම ළමයි ඇවිත් ඉන්නෙ කුරුණෑගල ඒජන්සියකින්. අපි වැඩ කරන ඇඟලුම් ආයතනයේ දෙසීයකට කිට්ටු පිරිසක් සේවය කරනවා. පිරිමි දෙන්නයි. අනිත් අය කාන්තාවන්. සේරම ලංකාවේ ළමයි. අපිට පඩි ගෙවන්නෙ මහන කෑලි ගානට. දවසකට පැය දොළහක් වැඩ. නිවාඩු තියෙන්නෙ එක දවසයි. එහෙම වැඩ කරලත් මාසයකට ලැබෙන පඩිය රුපියල් එක්ලක්‍ෂ පනස්දහසකට අඩුයි. ඒ පඩිය ගෙවන්නෙත් තුන් පාරකට. අපිට දීපු ගිවිසුමට අනුව සෑම මාසයකම 28 වැනිදා පඩි ගෙවන්න ඕනෑ. ඒත් කිසිම මාසයක 28 වැනිදා පඩි ලැබිලා නෑ. ඒ වගේම හරියට කෑමක් නෑ. මස්, මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් දෙන්නෙ සති දෙකකට එක දවසක් වගෙයි. පරිප්පුයි, බතුයි තව එක වෑංජනයක් තියෙනවා. තුන් වේලම එහෙමයි. හවසට බනිස් ගෙඩියක්, කෙසෙල් ගෙඩියක් එක්ක තේ එකක් දෙනවා. උදේ දහයටත් තේ එකක් දෙනවා. ඒ හැර මුළු දවසටම කෑම, බීම නෑ. නතර වෙලා ඉන්න තියෙන එක කාමරයක විස්සක් විතර ඉන්නවා. තට්ටු ඇඳන් පැක් වෙලා ඉන්නෙ. අපි ගෙනිච්ච බඩු කිසිම දෙයක් කාමරයේ තියාගන්න දෙන්නෙ නෑ. ඒ බඩු බෑග් වෙනම කාමරයකට දාලා, ඒවා ආරක්‍ෂා කර දෙනවට මාසෙ පඩියෙන් එක ළමයකුගෙන් රූබල් 150 ක් කපා ගන්නවා. කාමරයේ අපිට දීලා තියෙන ලොකර් එකෙ තියාගන්න පුළුවන් යට ඇඳුම් දෙකයි, නයිටියයි, වැඩට අඳින යුනිෆෝම් දෙකක් විතරයි. යට ඇඳුම් දෙක මාරුවෙන්, මරුවට අඳින්න ඕන. එකක් හෝදල වේලුනෙ නැති නම් අනිත් එක නොපිට හරවලා අඳින්න කියනවා. රෑට අඳින ඇඳුම හෝදන්න ගන්නෙ සතියකට සැරයක්. අඳින ඇඳුම් අපිට හෝද ගන්න දෙන්නෙ නෑ. වැඩ කරන දෙසීය දෙනාගේම ඇඳුම් එකට දාල ඒ අයම හෝදනවා. විවිධ ලෙඩ තියෙන ළමයි ඉන්නවා. කිසිම පරිස්සමක් නෑ…”

“අපිට ඕන විදිහට කෑමක් කන්න නෑ. අඳින්න, පළඳින්න නෑ. වතුර ටිකක් නා ගන්න නෑ. ආයතනය ඇතුළට ගිය දවසෙ ඉඳලා මේ වෙනකම් එළියට ගිහින් නෑ. මුළු ආයතනයම විශාල උස තාප්පයකින් වට කරල තියෙන්නෙ. අවට කිසිම දෙයක් පේන්නෙ නෑ. වරදක් නොකර පූරුවේ පවට සිරගත වූ රැඳවියන් වගෙයි. ඇයි අපිට එහෙම කරන්නෙ කියල තවම හිතාගන්න බෑ. මෙහෙම සිරකඳවුරක ජීවත් වෙන්න වුණාට රුසියාවට එන්න අපෙන් රුපියල් පන්ලක්‍ෂ හැටදහසක් ගත්තා. ලංකාවේ ඒජන්සියට රුපියල් ලක්‍ෂ තුනයි හැටදසහක් ගෙව්වා. රුසියාවට ඇවිත් ගුවන් තොටුපළේදී අපිව භාරගත්ත ශ්‍රී ලාංකික තරුණයගේ අතට ඩොලර් 600 ක් දුන්නා. රුපියල් ලක්‍ෂ 2 ක්. ඒ පුද්ගලයා අපිව එක් කරගෙන ගිහින් ගාමන්ට් එකට භාර දුන්නා…”

“ආයතනය ඇතුළෙදී සේවකයන් කළමනාකරණය කරන්නෙ දෙමළ ගෑනු කෙනෙක්. මැලේසියාවේ කර්මාන්තශාලාවක අවුරුදු පහක් සේවය කර, දැන් රුසියාවේ ජීවත් වෙන එල්.ටී.ටී.ඊ. හිතවාදී කාන්තාවක්. ඒ දෙමළ කාන්තාවට අපිව දකිනකොට නයාට අඳුකොළ වගෙයි. තෙතමනයක් ඇත්තෙම නෑ. අපිට කතා කරන්නෙ පුදුම තරහකින්. අපි වරදක් කරන්නෙත් නැතිව හරියට වැඩ ටික කළත් තිරිසනුන්ට වගෙ බනිනවා. විරුද්ධව කතා කළොත් එදාම ලංකාවට පිටත් කරන්න කටයුතු සූදානම් කරනවා. ඒ විදිහට කිහිපදෙනෙක් ලංකාවට එව්වා. ඒත් වියදම් කරපු මුදල නැතිව අපිට ලංකාවට එන්න බෑ. තව කාලයක් මෙහෙම ජීවත් වෙන්නත් බෑ. අපිට පිස්සු හැදෙයි. කිළිටි ඇඳුම් ඇඳගෙන එක ගොඩේ ඉඳල ලෙඩ හැදිලා මැරිල යයි…” රුසියාවේ ඇඟලුම් ආයතනයක සිරගත වී සේවය කරන ශ්‍රී ලාංකික තරුණියක් අන්තර්ජාලය ඔස්සෙ සම්බන්ධ වෙමින් අපට පැවසීමට හැකි වූයේ එපමණකි. ඇය ඒ මොහොතේ කතා කළේ ද බාත්රූම් එකක සැඟ වී බව පැවසූ විට මගේ හදවත ඇවිළිණි.

ශ්‍රී ලාංකික කාන්තාවන් එකසිය අනූ ගාණක් සමඟ ශ්‍රී ලාංකික පිරිමි දෙදෙනෙක් සේවය කරන එම ඇඟලුම් ආයතනය පිහිටා ඇත්තේ රුසියාවේ මොස්කව් නගරයේ සිට කිලෝ මීටර් 20 ක් පමණ දුරිනි. රුසියන් ජාතියෙක්ට අයත් එම ආයතනයේ සේවය කරන සියලුම සේවකයන් ශ්‍රී ලාංකිකයන්ය. එමෙන්ම ශ්‍රී ලාංකිකයන් අනූ හයදෙනෙක් සේවය කරන එවැනිම ඇඟලුම් ආයතනයක් මොස්කව් නගරයේ සිට කිලෝ මීටර් 400 ක් දුරින් පිහිටා තිබේ. මේ ඇඟලුම් ආයතන දෙකටම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කරනුයේ එකම පිරිසක් විසිනි. එමෙන්ම මේ මිනිස් ජාවාරම මෙහෙවන ප්‍රධාන තිදෙනා අතර ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකි. අනෙක් තරුණිය ඉන්දියන් ජාතික දෙමළ කාන්තාවකි. කුරුණෑගල සහ බියගම ඒජන්සි දෙකක් හරහා රුසියාවේ අදාළ ඇඟලුම් කර්මාන්තශාලා දෙකට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට කටයුතු සූදානම් කරනුයේ ඒ තිදෙනා විසිනි. මහා මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවත් වනුයේ ඉතාලියේය. ඔහු ජාවාරම මෙහෙයවනුයේ ඉතාලියේ සිටය. රුසියාවේ සිට සහාය වනුයේ ඔහුගේ සහෝදරයාය. එම තරුණයන් දෙදෙනාට රුසියන් ඇඟලුම් ආයතන සම්බන්ධ කර දී ඇත්තේ රුසියාවේ ජීවත්වන ඉන්දීය ජාතික දෙමළ කාන්තාවය. මේ ජාවාරමට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකි.

මේ පිරිස එකතු වී අසරණ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් සීතල රුසියාවට පිටත් කර යවා ඇත්තේ සුපිරි ඇඟලුම් කර්මාන්තශාලාවල සේවයේ යොදවන බව පවසමිනි. එමෙන්ම එම ජාවාරම්කාරයන් විසින් මෙරට රුසියානු තානාපති කාර්යාලය සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බව පෙළගැසෙන කතාවෙන් පැහැදිලි වේ. සාමාන්‍යයෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකික සේවකයන් ගෙන්වීමට අවසර ලබාදෙනුයේ අදාළ ආයතන පරීක්‍ෂාවකින් පසුවය. එහෙයින් අදාළ ජාවාරම්කාර පිරිස විසින් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපරිම සේවක පහසුකම් ලබාදෙන සුපිරි ගනයේ කර්මාන්තශාලාවක් පෙන්වමින් රැකියා කෝටාව ලබාගෙන කිසිදු පහසුකමක් නැති ඇඟලුම් කර්මාන්තශාලා දෙකකට ශ්‍රී ලාංකිකයන් යොමු කර වහල් සේවයේ යොදවාගෙන සිටිති.

පාස්පෝට් ඇතුළුව සියලු ලියකියවිලි සහිත බෑග් මලු ඔවුන් භාරයට ගෙන සඟවාගෙන සිටිනුයේ වීසා ලබාගැනීමට ඉදිරිපත් කර ඇති තොරතුරු ව්‍යාජ නිසාය. එමෙන්ම රුසියාවේ අදාළ ඇඟලුම් ආයතන දෙකෙහි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ වැටුප ලංකාවට ඒවා ගැනීමට ඔවුන්ට ක්‍රමයක් නැත. පඩිය වැටුණු බවට ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබුණ ද වැටුප අතට ගැනීමට ඔවුන්ට බැංකු ගිණුමක් විවෘත කරගැනීමට හෝ අවස්ථාවක් නැත. රුසියාවේ ඇඟලුම් සේවයට ගිය ශ්‍රී ලාංකිකයන්ගෙන් එරට ගුවන් තොටුපළේදී ඩොලර් හයසීය බැගින් ලබාගත් ශ්‍රී ලාංකික තරුණයා (ඉතාලියේ සිට මේ ජාවාරම මෙහෙයවන මහ මොළකරුගේ සහෝදරයා) මාසෙ අන්තිමට, මොස්කව් නගරයේ සිට කිලෝ මීටර් 20 ක් දුරින් පිහිටි ඇඟලුම් ආයතනයට පැමිණ සියලු ශ්‍රී ලාංකික සේවකයන්ගේ වැටුප ඔහුගේ ගිණුමකට බැර කර ගන්නේය. අනතුරුව එම මුදල් ඉතාලියේ ජීවත් වන ඔහුගේ සහෝදරයාගේ ගිණුමට බැර කරන්නේය. ඉතාලිය හරහා ලංකාවට එම මුදල් එවනුයේ උණ්ඩියල් ක්‍රමයටය. එමෙන්ම එම අසරණ සේවකයන්ගේ වැටුප ලංකාවට එන විට 20% ක් අතරමැදි පාර්ශ්ව විසින් මංකොල්ල කන්නේය. මොස්කව් නගරයේ සිට කිලෝ මීටර් 400 ක් දුරින් පිහිටි ඇඟලුම් ආයතනයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් අනූහය දෙනාගෙ මාසික වැටුපෙන් 13% ක් අඩු කරගෙන එම මුදල ජාවාරමේ මහා මොළකාරිය වන ඉන්දීය ජාතික කාන්තාව ලබා ගන්නීය. එමෙන්ම අදාළ ආයතන දෙකට ශ්‍රී ලාංකික සේවකයන් යොමු කරනවාට ජාවාරම්කාරයන් විසින් එක් සේවකයෙක්ට ඩොලර් 2500 බැගින් ආයතන අයිතිකරුවන්ගෙන් ද මුදල් ලබාගෙන ඇති බව වාර්තා වේ. එම ආයතන දෙකෙහිම අයිතිකරුවන් වැඩ කරන සේවකයන්ට මෙවැනි අපරාධ වන බව දැන නොසිටීමට ඉඩ තිබේ. මේ ආයතනවල ශ්‍රී ලාංකික සේවකයන් සම්බන්ධයෙන් කටයුතු සිද්ධ වනුයේ රුසියානු රජයේ නීති රීතිවලට ද පටහැනිව බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ද අප සමඟ පැවසුවේය.

“රුසියාවේ ඇඟලුම් ආයතන දෙකක වහල් සේවයේ යොදවාගෙන තිබෙන ශ්‍රී ලාංකිකයන් නිදහස් කරගැනීමට අපි උපරිම වෙහෙස මහන්සි වෙනවා. උත්සාහය සාර්ථක වෙයි කියල අපි විශ්වාස කරනවා…” සංජය මහවත්තගෙන් කෙටි ප්‍රකාශයකි.

රුසියානු මිනිස් ජාවාරමට සම්බන්ධ යැයි කියන සිංහල ජාතියටම වෛර කරන එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සම්බන්ධයෙන් අපට ගැටලුවක් නැත. ඔවුන් එදා මෙන්ම අද ද ක්‍රියාත්මක වනුයේ මෙරට මිනිසුන්ගේ ලේ උරා බීමටය. හිත කෝපාවිෂ්ට වනුයේ කොටි අවතාර සමඟ එකතු වී අපේ අසරණ මිනිසුන්ව පිටරටක වහල් සේවයේ යොදවමින් විකුණගෙන කන සිංහල අයියා මලෝ දෙදෙනා සම්බන්ධයෙනි. එමෙන්ම නිදහසේ ජීවත්වීම, සිතැඟි පරිදි ආහාර ලබාගැනීමේ අයිතිය නැති කර වැඩ ගැනීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එහෙයින් රුසියාවේ ඇඟලුම් ආයතන දෙකක වහල් සේවයේ යොදවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කරගැනීමට රුසියානු තානාපති කාර්යාලය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල කඩිනමින් ඉදිරිපත් වේ යැයි අපි සිතමු.

රුසියාවේ ඌරු කොටුවක අපා දුක් විඳින ශ්‍රී ලාංකික තරුණ පිරිසකගේ කඳුළු කතාවකින් ලබන සතියේ දී අපි හමු වෙමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment