රුහුණේ මී කිරි බෝඩ් ලෑල්ලකට සීමා වෙලා –  කතරගම දෙවිඳුණේ බලනු මැනවි මේ දුක අපේ!

335

අතීත විරුවන්ගේ නිජ බිම මෙන්ම කතරගම දෙවියන්ගේ අඩවියද, පෙරළිකරුවන්ගේ තක්ෂිලාව ලෙසද හැඳින්වෙන රුහුණේ මී කිරි කර්මාන්තය කඩා වැටීමට ලක්ව ඇතැයි මී කිරි නිෂ්පාදකයෝ පවසති.

කිරි ගොවීන් පවසන්නේ ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ගව පාලනයට අවශ්‍ය මූලික පහසුකම්වත් නොමැති වීම බවය.

ගව පාලනයට අවශ්‍ය තෘණ බිම් පහසුකම් නොමැති වීම එක් කරුණක්ය. දැනට ගව පාලනයට වෙන්කර ඇති තෘණ බිම්වල ගවයන්ට අවශ්‍ය ආහාර හා ජලය නොමැති වීම, එම තෘණ බිම්වල පිහිටා ඇති කුඩා වැව්වලට වාරි ජල ක‍්‍රමයක් නොමැති වීම, වැව රක්ෂිත ප‍්‍රදේශ අනවසර වගාකරුවන් අල්ලාගෙන සිටීම හා වන අලින්ගෙන් සිදුවන තර්ජන මී කිරි නිෂ්පාදනය කඩා වැටීමට බලපා ඇති ප‍්‍රධාන කරුණු බව කිරි කර්මාන්තයෙහි නියැලී සිටින කිරි ගොවීන් මෙන්ම මුදවපු මී කිරි අලෙවි කිරීමේ නියැලී සිටින පිරිස පවසති.

මෙවැනි තත්ත්වයන් හමුවේ රුහුණේ මී කිරි කර්මාන්තයෙන් දිවි සවිකර ගත් හම්බන්තොට දිස්ත‍්‍රික්කය තුළ ජීවත් වූ පවුල් තුන් දහසක පමණ පිරිසක් අද අසරණ වී සිටිති.

මින් වඩාත්ම අසරණ වී ඇත්තේ වීරවිල අ`දල්ල ප‍්‍රදේශයේ මී කිරි කර්මාන්තයෙහි නියැලී සිටින පිරිසය. ඔවුන් තිස්ස, කතරගම ආදී පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට එන බැතිමතුන්ට මී කිරි හට්ටියක්, ජුල් ගෙඩි ටිකක්, පැණි කොමඩු ගෙඩියක් විකුණා දිවි සවිකර ගත් පිරිසකි. අද ඔවුන්ට කතරගම දෙවියන්ගේ පිළිසරණක් වත් නැති සෙයකි.

මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ දියර කිරි නිෂ්පාදනය අඩු වීම හා මුළු රටම වෙලා ගත් කොරෝනා වෛරසය පමණක් නොව අධිවේග මාර්ග ද ඉදිකිරීමය.

මී කිරි කර්මාන්තය කඩා වැටීමෙන් අද බොහෝ දෙනකුගේ ජන ජීවිත සහමුලින්ම කඩා වැටී තිබේ. වෙනදා වසරේ මුල් මාසය තුළ කතරගම පැමිණෙන බැතිමතුන්ගේ ඉහළ යෑමක් සිදුවන අතර එම කාලය තුළ එකිනෙකා තරගකාරීත්වය මත දිනකට මුදවපු මී කිරි හට්ටි එකසිය පනහක් දෙසීයක් පමණ අලවි කර අතමිට සරුකර ගත්හ.

එහෙත් අද එම මී කිරි අලෙවි සල් පා`ඵවට ගොසිනි. ඇතැම් මී කිරි අලෙවි සල් වේයන්ගේ හා මීයන්ගේ රජදහනකි. බොහෝ මී කිරි අලෙවි සල් දිරාපත් වී ගරා වැටී තිබේ. මී කිරි නිෂ්පාදනය අඩු වීම හා වන්දනාකරුවන් අධිවේගී මාර්ගය ඔස්සේ කතරගමට පැමිණීම කර්මාන්තයට දැඩි ලෙස බලපා තිබේ.

දිනකට මුදවපු මී කිරි හට්ටි එකසිය පනහක් හෝ දෙසීයක් විකුණා ගත්ත තමන්ට අද කිරි හට්ටියක්වත් විකුණ ගන්න බැරි බව වීරවිල අ`දල්ල මුදවපු මී කිරි අලෙවිකරුවකු වූ ජේ. ඒ. දයානන්ද (63) පවසයි. කතරගමට එන දුර බැහැර වන්දනාකරුවන් බොහෝ දෙනකු එදා රුහුණේ මී කිරිවල රස නොබලා නොගිය බව ඔහු කීවේය.

එහෙත් මෙවර රුහුණේ මී කිරිවල රස බලන්නට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය නොලැබීමෙන් තමන් අද අසරණ වී ඇතැයි ඔහු පවසයි.

මී කිරි කර්මාන්තය කඩා වැටීමෙන් අ`දල්ල ප‍්‍රදේශයේ දරු පවුල් තුන් සීයකගේ පමණ ආර්ථිකය කඩා වැටීමෙන් ඔවුන්ගේ දෛනික ජීවිතයේ ගැටලූ රැුසකට මුහුණ දීමට සිදුව ඇතැයි එච්.ඒ. අමරදාස මහතා (76) පැවැසුවේය. වීරවිල, අ`දල්ල, තිස්සපුර හා වැලිගත්ත යන ප‍්‍රදේශයේ මුදවපු මී කිරි නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ගොඩ නැගී ඇත්තේ වන්දනාකරුවන් මත බව පවසන ඔහු ජීවිතය යථා තත්ත්වයට පත්වන්නට නම් කොළඹ වැනි දුර බැහැර ප‍්‍රදේශවල වන්දනාකරුවන් තිස්ස කතරගම වැඳපුදා ගැනීම සඳහා තිස්ස, හම්බන්තොට මාර්ගය ඔස්සේ පැමිණිය යුතු බවත් අධිවේගි මාර්ගය ඔස්සේ පැමිණීම නොකළ යුතු බවත් ඔහු කීවේය. පියලතා දසනායක මහත්මිය (60) පවසන්නේ රුහුණේ මී කිරි කර්මාන්තය බෝඞ් ලෑල්ලට පමණක් අද සීමා වී ඇති බවය. මේ බව අද අබලන්ව කඩා වැටී ඇති වෙළෙඳ සල්වලින් පැහැදිලි වන බව ඇය කීවාය. මංගල උත්සව හා සංචාරක කර්මාන්තය කඩා වැටීම ද මීට දැඩි ලෙස බලපා ඇති බව ඇය කීවාය.

තෘණ බිම් පහසුකම් නොමැති වීමෙන් තිස්සමහරාම ප‍්‍රදේශයේ ගව හිමියන්ගේ ගවයින් මොණරාගල, බුත්තල, සියඹලාණ්ඩුව වැනි ප‍්‍රදේශවල මෙන්ම අනුරාධපුර, පොලොන්නරුව වැනි ප‍්‍රදේශවල පිට පට්ටි කර තිබෙන බවත් එම ගවයන්ගෙන් ලබා ගන්නා දියර කිරි රැුගෙන විත් මුදවා මී කිරි නිෂ්පාදනය කරන පිරිස වගේම, කිරි මුදවපු මැටි හට්ටි නිෂ්පාදන පිරිසගේ ආර්ථිකය ද මේ වන විට කඩා වැටී ඇති බව ඇය පැවසුවාය.

කඩා වැටුණු ව්‍යාපාර යළි නගාසිටුවීමට එම විෂය භාර ඇමැතිවරු විවිධ ක‍්‍රියා මාර්ග ගෙන ඇතත් කඩා වැටුණු මී කිරි කර්මාන්තය යළි නගා සිටුවන්නට කිසිවකුගේවත් අවධානයක් යොමු වී නැති බවද ඇය කීවාය. අද බොහෝ මී කිරි නිෂ්පාදකයින් තම කර්මාන්තය අයත් වන්නේ කුමන අමාත්‍යවරයාට යන්න පවා නොදන්නා බවට ඇය පවසන්නීය.

දෙබරවැව – ඒ.ඒ. පේමසිරි
 

advertistmentadvertistment
advertistmentadvertistment