පැළවීමේ දුර්වලතා මත රුපියල් තුන්කෝටි අසූලක්‍ෂයක් වටිනා එළවළු බීජ භාවිතයෙන් ඉවත් කිරීමට සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් වෙයි.
2014 සිට 2019 දක්වා වසර 06 ක කාලයකදී කෘෂිකර්ම අමාත්‍යංශයේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විසින් දේශීයව නිපදවනු ලැබූ බෝංචි, කැරට්, බණ්ඩක්කා ඇතුළු අත්‍යවශ්‍ය එළවළු වර්ග රැසක බීජ මෙලෙස භාවිතයෙන් ඉවත් කිරීමට සිදුව ඇත්තේ නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම හා අලෙවිය සම්බන්ධයෙන් සිදුව ඇති දුර්වලතා නිසා බව අදාළ විගණනයෙන් අනාවරණය වී ඇත.
ඒ අනුව එළවළු බීජ විශාල ප‍්‍රමාණයක් ආනයනය කිරීමට සිදුව තිබේ.
එළවළු බීජ සම්බන්ධව ප‍්‍රමාණවත් පර්යේෂණයක් සිදු නොකිරීම, වාර්ෂිකව අවශ්‍ය බීජ ප‍්‍රමාණය පිළිබඳ නිවැරදි පුරෝකථනයක් සිදුකර නොතිබීම, අවශ්‍යතාවයට ගැළපෙන පරිදි බීජ නිෂ්පාදනය නොකිරීම, බීජතොග ගබඩා කිරීමේ පටිපාටියේ ගැටලූ පැවතිම යන හේතු නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මේ අනුව දේශීයව නිෂ්පාදනය කළ හැකි එළවළු බීජ මෙන්ම අනිකුත් එළවළු බීජ විශාල ප‍්‍රමාණයක් ආනයනය කිරීම සිදුවන අතර 2015 වර්ෂයේදී රුපියල් මිලියන 962.7 ක එළවළු බීජ ආනයනය කර ඇත. 2015 වර්ෂයට සාපේක්‍ෂව 2019 වසරේදී රුපියල් මිලියන 1491.61 ක එළවළු බීජ ආනයනය කර තිබිණි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල