බාල එන්නත් නඩුවේ සැකකාර වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂගේ කාලයේ තවත් දූෂිත ගනුදෙනුවක්
අංගොඩ යැවූ සමාගම් හිමිකරු හොරෙන්ම වැලිකඩට ගෙනත්
2023 වර්ෂයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ ලැක්ටියුලෝස් සිලින්ජර මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97කට අධික පාඩුවක් සිදුකළ දූෂිත ගනුදෙනුවක් ද සිදුවී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පෙරේදා (08දා) පස්වරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නාය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ නඩුවේ සැකකරුවකු වන වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාගේ රාජකාරි සමයේදී එම දූෂිත ගනුදෙනුව සිදුවී ඇතැයි ද ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට පැවසුවාය.
එකී සිලින්ජර සැපයීමට වසර පහක කාලයකට ගිවිසුම් ගතව සිටි මෙඩිකොම් නමැති ආයතනය වෙනුවෙන් නිකුත් කර තිබූ ඖෂධ සැපයීමට අදාළ ලියාපදිංචි සහතිකය කල් ඉකුත්වීම නිසා එම සමාගමට 2023 වසරේදී නියමිත පරිදි ඉතා කෙටි කාලයකට එම සිලින්ජර සැපයීමට නොහැකි වී ඇති බවත් ඒ පිළිබඳව එම සමාගම වෛද්‍ය කපිල වික්‍රමනායක දැනුවත් කර ලියාපදිංචිය අලුත් කරනතෙක් කෙටි කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නාය.
මෙඩිකොම් සමාගම එලෙස දැනුවත් කර තිබියදීත් එම සමාගම රුපියල් 1408 බැගින් සපයා තිබූ එක් සිලින්ජර රුපියල් 2490 බැගින් ගෙවා වෙනත් සමාගමකින් මිලදී ගෙන ඇති බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සිලින්ජර 90,000ක් සැපයීමේ ටෙන්ඩරය එලෙස නව
මාගමකට ලබාදීම නිසා රජයට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 97.3ක් බවද පැවසුවාය. එබැවින් එම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් විමර්ශනය කිරීමට නියෝගයක් කරනා ලෙසට ද ලක්මිණි ගිරිහාගම මහෙස්ත්රාත්වරියගෙන් ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළාය.
මේ අතර ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයීම සිදුකළ සමාගමේ හිමිකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේත්‍රාත්වරිය එම සැකකරු ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළාය. අධිකරණයේ නියෝගයෙන් අංගොඩ ජාතික මානසික රෝහලට ඇතුළත් කළ එම සැකකරුව බන්ධනාගාර නිලධාරීන් පිරිසක් කිසිදු නීත්‍යනුකූල නියෝගයක් නොමැතිව යළි බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට පැවසුවාය.
“ස්වාමිනි, මෙම සිද්ධිය දැඩි සැකයට ලක්වූ කරුණක්. මේ සැකකරු නිදහස් කරගැනීමට කිසිවකුට දැඩි වුවමනාවක් තිබෙන බව පෙනෙනවා. අධිකරණ නියෝගයක් හෝ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මෙම සැකකරුව අංගොඩ මානසික රෝහලින් පිටතට ගැනීම ගැනත් විමර්ශනය කරන්න ඕනෑ” යැයි ද ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට පැවසුවාය.