ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ටන් රූක්ස් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බවට නිවේදනය කර තිබේ.
දකුණු අප්‍රිකානු පළමු පෙළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු සහ නෙදර්ලන්තයේ හිටපු පුහුණුකරුවකු වන රූක්ස් 2022 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකාර ධුරය සඳහා පත්විය.
ඔහු පවසා ඇත්තේ 2024 අගෝස්තු 14 වැනිදා තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පන්දු රැකීමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බවයි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සේවය කිරීමට ලැබීම ඉමහත් ගෞරවයක් සහ සැබවින්ම නිහතමානී අත්දැකීමක් බව ද ඔහු සඳහන් කර තිබිණි.
මෙම ගමනේදී ලැබුණු මතකයන් සහ අත්දැකීම් සදාකාලිකවම අගය කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව කඩුලු 8කින් එංගලන්තය පරදවා ජය ලැබූ ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රූක්ස්ගේ අවසන් අන්තර්ජාතික තරගය විය. තමා පන්දු රැකීමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කළ කාලය තුළ ශ්‍රී ලංකාව අත්කරගත් දේ පිළිබඳව ද ඔහු අදහස් දක්වා තිබිණි.
“ආසියානු කුසලාන අවසන් තරග දෙකකට පැමිණීමත්, අවසානයේදී 2022 ආසියානු විස්සයි-20 කුසලානය ජයග්‍රහණය කිරීමත් මෙම කණ්ඩායමේ සැබෑ හැකියාවන් පෙන්නුම් කළ විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ කුසලානය නැවත ලංකාවට ගෙන ඒම සහ එය රසික රසිකාවියන්ට ගෙන දුන් ප්‍රීතිය දැකීම මා අගය කරන දෙයක්” යැයි ඔහු පවසා තිබිණි.
“ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග කෙටි කාලයක් ගත කිරීමේ වරප්‍රසාදය ද තමාට හිමි වූ බවත්, ඔවුන්ගේ ඉගෙනීමට ඇති සාගින්න, ක්‍රීඩා කිරීමට සහ තරග කිරීමට ඇති ආශාව සහ ක්ෂේත්රයේ ඔවුන්ගේ ක්‍රීඩා හැකියාව පිළිබඳ මා දැඩි ලෙස පැහැදුණා.” යනුවෙන්ද රූක්ස් වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ තමා ගෙවූ ජීවිතය අමතක නොවන තැනට පත් කළ පුද්ගලයන්ට ද රූක්ස් කෘතඥතාව පළ කළේය. රූක්ස් මෙලෙස ද පවසා තිබිණි.
“ශ්‍රී ලංකාවත් මගේ පවුලේ කතාවේ කොටසක් වෙලා. එය මගේ දෙවැනි පුත්‍රයා වන ඒඩ්න් උපන් රටයි, කොළඹ ජෝශප් ෆ්රේසර් රෝහලේදී අපට ලැබුණු ආදරය සහ රැකවරණය මේ සුන්දර රටට සදාකාලික මතකයක් මෙන්ම සදාකාලික සම්බන්ධතාවක් වනු නොඅනුමානයි” යනුවෙන් ඔහු සඳහන් කරයි.
සිසිර ඉන්ද්‍රජිත්