රූප කාව්‍යයක් බඳු ‘සංසාර කමටහන්’

94

ලොව පුරා ඉතා ජනපි‍්‍රය සාහිත්‍යාංගයක් ලෙස කෙටිකතාව හැඳින්විය හැකිය. මිනිසා ලොව පහළ වූ දින පටන් කතන්දර කීමට හා ඇසීමට ඇති වූ ලාලසාවට පිළියමක් වශයෙන් කෙටි කතාන්දරය ලෙසින් ඈත අතීතයේ ගල් ගුහාවකදී කෙටිකතාව ඇති වන්නට ඇතැයි සැලකේ. ඒ නියැන්ඩර්තාල් මානව පැටියා සිය පියාට කතාවක් කියන්නට යැයි කියූ දින පටන්ය. එනිසාම කෙටිකතාවේ ආරම්භයේ පටන් මිනිසුන් විවේක කාලය ඵලදායීව ගත කිරීමේ මගක් ලෙස කෙටිකතා කියවීම සිදු කර ඇත. කෙටිකතා නමැති සාහිත්‍ය ශානරයේ සුවිශේෂ ලක්ෂණය වනුයේ ඉතා කෙටි කාලයකදී කියවා නිම කිරීමට හැකි වීමයි. එමෙන්ම සංක්ෂිප්තතාවෙන් සහ සංකෝචිතභාවයෙන් යුතුවීම කෙටිකතාවල විශේෂ ලක්ෂණ වේ. එහෙයින් කෙටිකතාව නම් සාහිත්‍ය ශානරය එදා මෙන්ම අදත් කාර්යබහුල සමාජයට වඩාත් උචිත වේ. කෙටිකතාව නම් සාහිත්‍ය ශානරයේම වර්තමානය වන විට වඩාත් ජනපි‍්‍රය සාහිත්‍ය ශානරයක් නැතහොත් කතා ප‍්‍රවර්ගයක් ලෙස ක්ෂුද්‍ර ප‍්‍රබන්ධමය කෙටිකතා සැලකේ. මෙම ශානරය හා නෑකම් කියන මෑතකදී රචිත අපූර්ව කෙටිකතා සංග‍්‍රහයක් ලෙස සුනිල් වික‍්‍රමසිංහ නම් කතුවරයා විසින් රචිත ‘සංසාර කමටහන්’ කෙටිකතා සංග‍්‍රහය පෙන්වාදිය හැකිය.

කතුවරයා මෙම කෙටිකතා සංග‍්‍රහය ‘සංසාර කමටහන්’ නමින් නාමකරණය කර තිබීම හේතුවෙන්ම යථෝක්ත කෙටිකතා සංග‍්‍රහය අනෙකුත් කෙටිකතා සංග‍්‍රහ අතුරෙන් විශේෂ එකක් බවට පත්ව ඇත. මන්ද එම නාමකරණයම දුලබ වූවකි. ගුණසේන සිංහල මහා අකාරාදියේ දැක්වෙන පරිදි සසර, භවයෙන් භවය ඉපදීම, නොසිඳී පවත්නා ස්කන්ධ ධාත්වායතන පරිපාටිය, හැසිරීම, ලෝකය, ජාතියක් පාසා ඉපදීම හා පසුකිරීම යන අර්ථ ‘සංසාර’ යන්නෙන් අර්ථ ගැන්වෙයි. භාවනා කළ යුතු ධර්ම හෙවත් කර්මස්ථාන ‘කමටහන්’ නම් වේ. එක් අතෙකින් මෙම කෙටිකතා සංග‍්‍රය පුරාම සසර කර්මස්ථාන සියුම්ව සාකච්ඡුා කරන බැවින් එය ‘සංසාර කමටහන්’ වූවා විය හැකිය. කෙසේ නමුත් සංසාර කමටහන් යන නාමය ඇසූ සැණින් එය බෞද්ධ වටපිටාවක් සහිත කෘතියක් යැයි හැෙඟ්. නැතහොත් අධ්‍යාත්මික පසුබිමක් වටා ලියැවුණු කෘතියක් බව සිතෙයි. කතා සංග‍්‍රයේ එන කතාවල නාමය විමසීමේදී එම සිතිවිල්ල හිතළුවක් නොවී ප‍්‍රත්‍යක්ෂයක් බවට පත්වෙයි. එනම් කතුවරයා එක් එක් කෙටිකතා නාමකරණය කර ඇති ආකාරයෙන් ඒ බව තවදුරටත් තහවුරු වෙයි. කෙටිකතා විස්සකින් සංගෘහිත මෙම කෙටිකතා සංග‍්‍රහයේ මෙහි එන කෙටිකතා විස්ස චක‍්‍ර දෙකක් නැතහොත් දම්වැල් දෙකක් ලෙසින් ක‍්‍රියාත්මක වන බවක් මට සිතෙයි. නමුත් මෙම කතා තනි තනිව ගෙන කියවා බලා රස විඳීමටද කිසිදු බාධාවක් ඉන් ඇති නොවේ. කතා සංග‍්‍රහයේ එන ඇතැම් කතා යථාර්ථවාදී කතා වුවද තවත් ඒවා පශ්චාත් යථාර්ථවාදී ලක්ෂණ සහිත වේ. යමක් සෘජුව ප‍්‍රකාශ කිරීමෙන් ඔබ්බට ගිය වක‍්‍ර ප‍්‍රකාශන කතා පෙළටම එක් කර ඇත්තේ සුවිශේෂි ආලෝකයකි. තවද එකී වක‍්‍ර ප‍්‍රකාශනයද ඉඟි නැතහොත්

ව්‍යාංගාර්ථ මගින් සිදු කිරීමට රචකයා දක්වා ඇත්තේ මහත් අභිරුචියකි. ”චුම්බන ආලයෙන් දෙන්නත් එක්ක දිය ඇල්ල පාමුල දිය යටින් පිහින පිහිනා වෙළුනා. එකට පැටලූණු වැල් දෙකක් වගේ එතී එතී ගිලූණා…’’ (මැදි සංසාරයා, 88 පිටුව) සමස්ත කෙටිකතා සංග‍්‍රහයේ භාෂාව සැලකීමේදී එම භාෂාව ආරම්භයේ මෙන්ම අවසානයෙත් සිත් ඇදගන්නා සුළුයි. නවමු වචන බොහෝමයක්ද වේ. තවද භාෂාව සරල නමුත් ඇතැම් තැනක ඇති බෞද්ධ දාර්ශනික වචන හේතුවෙන් ඊට බහුශ‍්‍රැතභාවයක් හා සංකීර්ණභාවයක් එකතු වී ඇත. නමුත් එකී බහුශ‍්‍රැතභාවය කිසිවිටකත් සහෘද පාඨකයා වෙහෙසට පත් නොකරයි. සහෘදයා තුළ කුතුහලය ජනනය කරයි. මෙම කතා පෙළ එක්තරා ආකාරයක අමුතු කතා මාලාවක් යැයි මගේ විශ්වාසයයි. එම සෑම කතාවක්ම චිත‍්‍රරූප මවන සුළුය. සිදුවීම්, භාෂාව ආදී සියල්ල එකිනෙක හොඳින් සංයෝජනය වී උචිත අයුරින් ගැළපී ඇත. එහෙයින් එකී භාෂා විලාසයම කතුවරයාගේ භාෂා ශෛලිය මනාව විදහා දක්වයි. එසේම මෙතරම් සියුම්ව කතා ගොඩනැංවීමට කතුවරයා තුළ තිබූ මනා සංයමය හා හික්මීම ප‍්‍රකට කරයි. මේ අයුරින් කතුවරයා තුළ තිබූ නොසැලෙන ප‍්‍රයත්නය මින් පෙර නොවූ විරූ අන්දමේ අපූර්ව කෙටිකතා සංග‍්‍රහයක් නිර්මාණයට මග පාදා ඇත.

මෙහි එන ඇතැම් කෙටිකතාවක් කියවීමේදී එය සාමාන්‍ය සරල සිදුවීමක් යැයි කෙනෙකුට සිතිය හැකිය. ටීචර්ට ලියමනක්, සේපාලිකා මලක් කතා කරයි, එය තවම ගැටලූවකි, ළමයා සහ කැරපොත්තා, අලගු අක්කා හා සංසාර ගෘහ ආදී කෙටිකතා ඊට නිදසුන් වේ. එහෙත් සෑම කතාවක්ම අවසානයේ කතුවරයා කතාවට එල්ල කරන ක්ෂණික ආලෝකයෙන් එකී මතය බිඳ හෙළයි. එය සහෘද පාඨක මනසට දැඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් නොසිතූ මානයක් කරා කතාව රැගෙන යමින් කතාව උත්කෘෂ්ඨ එකක් බවට පත් කරයි. සහෘද මනස කම්පනයට පත් කරන සහවේදනයට පත් කරන අතිශය සංවේදී පුවත් රැුගත් කතාද වේ. ‘එය තවම ගැටලූවකි, අලගු අක්කා’ වැනි කතා කියවීමේදී මෙය වඩාත් තහවුරු වේ. තවදුරටත් කෙටිකතා සංග‍්‍රහය පිළිබඳ සාකච්ඡාවේදී කතුවරයා තුළ පවතින ජීවිත පරිඥනය මැනවින් ප‍්‍රකට වෙයි. එමෙන්ම කතුවරයා ස්වකීය ජීවිතය තුළදී ලැබූ ජීවිත අත්දැකීම් පරිකල්පනාත්මකව සත්‍ය හා කල්පිතය අතර දෝලනය කරමින් මෙම කතා තුළ පෙළ ගස්වා ඇති ආකාරය හඳුනාගත හැකිය.

සම්මත යථාර්ථ රීතිය සමතික‍්‍රමණය කරමින් ස්වකීය ආඛ්‍යාන රීතිය ගොඩනැගීමට සංසාර කමටහන් කතුවර සුනිල් වික‍්‍රමසිංහ සමත් වී ඇත. එසේම එම කෙටිකතා නිර්මාණ වඩා වැදගත් වන්නේ ව්‍යාජත්වයෙන් තොර අව්‍යාජභාවය හේතුවෙනි. ස්වකීය අනන්‍යතාව ගොඩනැගීමට කතුවරයා ගත් උත්සාහය මෙම නිර්මාණය ඔස්සේ ප‍්‍රකට වෙයි. මෙම කෙටිකතා බොහොමයක ප‍්‍රවාද චරිත, අද්භූත මිනිස්සු, ගූඨ තැන් හා අද්භූත සිදුවීම් අනවරතයෙන්ම දක්නට ඇත. නමුත් කතුවරයා කිසිවක් බලෙන් ආරෝපණය කොට නොමැත. කතුවරයා නිතැතින්ම සිදු කර ඇත්තේ උචිත දේවල් සුදුසු පරිදි යෙදීමයි. විශේෂයෙන් මෙම කෙටිකතා සංග‍්‍රහය පුරාම පුද්ගල මනෝභාව සියුම්ව ආමන්ත‍්‍රණය කිරීමට කතුවරයා උත්සුක වී ඇත. ඊට වඩාත් බලපා ඇත්තේ කතුවරයා භාවිත කළ නිරුත්සාහික භාෂා ශෛලිය බව නොරහසකි.

* ඉවන්තා සඳුනි ජයසේන
සහාය කථිකාචාර්ය සිංහල අධ්‍යයන අංශය
පේරාදෙණි විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment