රේඛාව, සංදේශය, දස්කොන් පිටුපස සිටි නිහඬ සංගීතඥයා කේ. ඒ. දයාරත්න

257

ශ‍්‍රී ලාංකේය සිනමාවේ 75 වන සාංවත්සරය තව දින කීපයකින් ඇරඹේ. වසර 75ක වැනි දිගු ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලාංකේය සිනමාවේ ගමන් මඟ පළමු පරිවර්තනය කළ චිත‍්‍රපටය ලෙස හමුවන්නේ 1956 තිරගත වූ රේඛාව චිත‍්‍රපටයය. රේඛාව අපේ ජන ජීවිතයට හුරු දේශීය සිනමාවක ආරම්භය සනිටුවන් කළේය. මෙම පරිවර්තනය කළ ශිල්පීන් ගැනත් රේඛාව ගැනත් ලියූ ලිපි පොත් වාර්තා ගණන මෙපමණකැයි කිව නොහැක. එහෙත් රේඛාව පසුබිමේ සිටි මහා නිහඬ කලාකරුවකු ගැන සඳහනක් ඇත්තේ ලිපි දෙක හෝ තුනක් පමණි. ඒ නිහඬ කලාකරු සංගීතඥ කැටිපේ ආරච්චිගේ දයාරත්න නොහොත් කේ. ඒ. දයාරත්නය. ශ‍්‍රී ලාංකේය සිනමාවට වසර 75ක් සපිරෙන මාසයක මෙම නිහඬ සංගීතඥයා ගැන සටහනක් තැබීමට සුදුසුම අවස්ථාව වේ.

කැටිපේ ආරච්චිගේ චාල්ස් සිල්වා බදුල්ලේ සිටි ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. බදුල්ලේ ප‍්‍රසිද්ධ යුනයිටඞ් බේකරිය ඇතුළු රජ වීදියේ හා මහා වීදියේ ව්‍යාපාර ස්ථාන කීපයක් පවත්වා ගෙන ගිය ඔහු මුඳලිඳු පෙරේරා වීරසිංහගේ දියණිය වූ ඇලන් වීරසිංහ පෙරේරා මෙනවිය සමඟ විවාහ වන අතර ඔවුන් දෙපලට පුතුන් පස් දෙනකුත් දියණියකත් ලැබේ. 1925 මැයි මස 21 වන දින උපත ලබන චාල්ස් හා අලන්ගේ දෙවැනි පුතුට කැටිපේ ආරච්චිගේ දයාරත්න යැයි නම් තබයි. දියණිය කේ. ඒ. මල්ලිකා වූවාය.

බදුල්ල ධර්මදූත මහා විද්‍යාලයට ඇතුළත් කරනු ලැබූ දයාරත්න පාසල තුළ දක්ෂ සිසුවකු විය. අධ්‍යාපනික කටයුතුවලට අමතරව ක‍්‍රීඩාවටද දස්කම් දැක්විය. රගර්, පාපන්දු පමනක් නොව අංගම් පොර සටන් කලාවද ඔහු ප‍්‍රගුණ කළේය. එහෙත් දයාරත්න වඩා කැමැත්තක් දැක් වූයේ චිත‍්‍ර කලාවට හා සංගීතයටය. කුඩා කලම ප‍්‍රදර්ශනය කළ ඔහුගේ චිත‍්‍ර ඇඳීමේ හැකියාව කාගෙත් අවදානයට යොමු විය. 1930 හා 1940 වර්ෂවල වාමාංශික ව්‍යාපාරය තරුණයන්ගේ ආකර්ශනයට ලක් විය. යටත් විජිත විරෝධී සටන් පාඨයන් මෙම ව්‍යාපාරයේ ජනප‍්‍රියවීමට බලපෑවේය. මෙකල බදුල්ල ප‍්‍රදේශයේ වාමාංශික ව්‍යාපාරයට නායකත්වය දුන්නේ වමේ ප‍්‍රබලයකු වූ ජස්ටින් කොතලාවලය. වයස අවුරුදු 17 ක් වූ දයාරත්න කොතලාවලට සමීප වන බව අවබෝධ කරගත් චාල්ස් දයාරත්නගේ දක්ෂතා සලකා බලා ශාන්ති නිකේතනයට යැවීමට තීරණය කළේය.

ශාන්ති නිකේතනයට ඇතුළුවන දයාරත්න එහිදී චිත‍්‍ර ශිල්පය නන්දලාල් බොස් යටතේ හදාරනු ලබයි. සංගීතයද හදාරමින් සිටින අතර පසුකලෙක ඔහුගේ හොඳම මිතුරකු වූ රවී ශන්කර් දයාරත්නට ගැළපෙන්නේ සිතාරය යැයි පවසා එය ප‍්‍රගුණ කරන ලෙස දැන්වීය. වයලීනය හා සිතාරය ප‍්‍රගුණ කිරීමට ලක්නව්වල පිහිටි භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයට ඇතුළු වන දයාරත්න ඞී. පී. ජෝසී ඇදුරු යටතේ වයලීනය, සිතාරය හා වෙනත් සංගීත භාණ්ඩ හැදෑරීය. දයාරත්න විශාරද උපාධිය ඉහළින්ම සමත් වෙයි. ඔහුගේ සමකාලීන සගයන් අතර පසු කලෙක මහා කලාකරුවන් වූ රවි ශන්කර්, උදය ශන්කර්, ලයනල් එදිරිසිංහ යන අයද විය. විශාරද උපාධිය ලබා ගත් පසු ඔහුට භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස පත්වීමක් ලැබේ. සංගීතවේදියකු ලෙස ඉන්දීය ගුවන් විදුලි සේවයට බැඳෙන දයාරත්නට ඒ සඳහා නිර්දේශිත ලිපිය ලබා දෙන්නේ භාත්කණ්ඩයේ ප‍්‍රධානී රත්නජන්කර්ය. දයාරත්න ඉන්දියාවෙන් පිට වන්නේ හින්දි, උරුදු, සංස්කෘත, වංග, බෙංගලි ආදි ඉන්දියානු භාෂා පිළිබඳව දැනුමක් ඇතිවය.

දයාරත්න ඉන්දියාවේ සිටින විට වරින් වර ලංකාවට පැමිණියද තම නිත්‍ය පදිංචියට පැමිණියේ 1950 ගණන් වල මුලය. මුලින්ම ලංකා ගුවන් විදුලි සේවයේ නිත්‍ය නොවන සමාජිකයකු ලෙස සම්බන්ධ වේ. එසේම ලයනල් එදිරිසිංහ සමඟ රජයේ ලලිත කලා සංගීත විද්‍යාලය නැතහොත් හේවුඩය ආරම්භ කිරීමට මුල්විය. කලක් ඔහු එහි නියෝජ්‍ය විදුහල්පති ලෙසද සේවය කළේය. ප‍්‍රසිද්ධ කලාකරුවන් වූ සනත් නන්දසිරි, පී. වී. නන්දසිරි, අමරා රණතුංග, දයාරත්න රණතුංග, වික්ටර් රත්නායක, සරත් දසනායක ආදීන්ට ඔහු ගුරුවරයකු විය. රත්නජන්කර් ලංකාවේ දී කරන ලද පරීක්ෂණයේදී පළමු උත්කෘෂට කලාකරු ලෙස දයාරත්න තෝරා ගනු ලැබීය. ඔහු රජයේ චිත‍්‍රපට අංශයේ වාර්තා චිත‍්‍රපටවලටද සංගීතය සැපයීය. ඔහුගේ සංගීත දිවියේ උත්කෘෂ්ට අවස්ථාව වනුයේ මෙරට ප‍්‍රධාන පෙළේ චිත‍්‍රපට තුනකට පසුබිම් සංගීතය සපයා චිත‍්‍රපටයක පසුබිම් සංගීතය කුමක්දැයි පළමුවරට පෙන්නා දීමය.

රේඛාව, සංදේශය, දස්කොන් පිටුපස සිටි නිහඬ සංගීතඥයා කේ. ඒ. දයාරත්න
රැජිනගේ ප‍්‍රසංගයේ

ශ‍්‍රී ලාංකේය සිනමාවේ සැබෑ ආර්ම්භය රේඛාව යැයි මතයක් පවතිනුයේ එය එතෙක් පැවති ඉන්දියානුකරණය වූ ලාංකික සිනමාව දේශීයකරණයට ලක් කිරීම නිසාය. මර්සිලීනු ජයකොඩි පියතුමාගේ පදවලට සුනිල් ශාන්තයන් යෙදූ තනු මත නිර්මාණය වූ අදටත් ජනප‍්‍රිය ගීත සංගීතවත් කළේ බී. ඇස්. පෙරේරාය. මෙම නිසාම මෙහි පසුබිම් සංගීතය බී. ඇස්. ගේ යැයි කිසිවකුට සිතිය හැකි වුවද රේඛාව සමස්ත චිත‍්‍රපටයේ පසුබිම් සංගීතය කේ. ඒ. දයාරත්නගේය යන්න බොහෝ අය නොදනී. ලෙස්ටර්ට අවශ්‍ය වූයේ ගැමි පරිසරයක් පසුබිම් කර ගත් රේඛාවට එහි අනන්‍යතාවය නොබිෙඳන ලෙසත් එදා පසුබිම් සංගීතයේ වූ ඉන්දීය ජනප‍්‍රිය සංගීතයේ වූ කටෝර බවෙන් තොරව පසුබිම් සංගීතයක් තම චිත‍්‍රපටයට යොදා ගැනීමටය. මෙහි විශේෂත්වය වනුයේ රූප රාමූන්ට අවශ්‍ය සංගීත යෙදුම් මුලින්ම සටහනක් නැතහොත් පසුබිම් සංගීත තිර නාටකයක් වැනි දෙයක් සකස් කිරීමය. එය පළමුවරට කළ චිත‍්‍රපටය රේඛාවය.

ලෙස්ටර්ට දයාරත්නයන් පළමුව හමුවන්නේ රජයේ චිත‍්‍රපට අංශයේදීය. එකල රජයේ චිත‍්‍රපට අංශයේ ලෙස්ටර් සේවය කළ අතර සමහර වාර්තා චිත‍්‍රපට සඳහා සංගීතය සැපයුයේ දයාරත්නය. රේඛාවට සම්බන්ධ වූ බොහෝ අය රජයේ චිත‍්‍රපට අංශයට සම්බන්ධව සිටි අයයි. රේඛාව පැය දෙකයි විනාඩි තිහක කාලයක් තිරයේ දිගහැරුණු චිත‍්‍රපටයකි. එහි ගීත හයක් වූ අතර ඒ සඳහා ගිය කාලය විනාඩි 16 කි. ඉතිරි කාලයේ වැඩි ප‍්‍රමාණයක් පසුබිම් සංගීතය සැපයූයේ දයාරත්නය. මෙහි නාමාවලියේ එන තේමා වාදන නෛයඩි වන්නම පදනම් කර ගෙන නිර්මාණය කළ බව තම පියා වරක් ප‍්‍රකාශ කළ බව දියණිය සන්ධ්‍යා සිල්වා ප‍්‍රකාශ කරයි. ඔහුගේ විශිෂ්ඨත්වය පෙන්වන අවස්ථා වනුයේ කුඩා ගැහැනු ළමයා බොරු කකුල්කරුට වතුර දෙන විට ජල තරංගයෙන් හා සේන සොරාගෙන් පසුම්බිය රැුගෙන ගම් මුලාදැනි වෙත දිව යෑමේ දර්ශනයේදී සම්පූර්ණයෙන් යොදා ගනු ලැබුයේ සිතාරය හා තබ්ලාවේ බායාන් කොටසින් පමණි. ඔහු වෙනම සංගීත රටාවන් සරුංගල් යවන අවස්ථාවේත් නාට්‍ය පෙන්වන අවස්ථාවෙත් යොදා ගනී. ගීත ඉන්දියාවේ තැටිගත කළද දයාරත්නගේ පසුබිම් සංගීතය පටිගත කළේ නව ජීවන චිත‍්‍රගාරයේය. කාන් චිත‍්‍රපට උළෙලට හා එඩිම්බරෝ චිත‍්‍රපට උළෙලටද රේඛාව යවන ලද්දේ විනාඩි අනූවකට සකසාය. එහෙත් එහිදී දයාරත්නගේ පසුබිම් සංගීතයේ අවශ්‍ය කොටස් එසේම වෙනස් නොවී තිබුණි.

සංදේශය ලෙස්ටර්ගේ දෙවන චිත‍්‍රපටය විය. ලෙස්ටර්ට රේඛාව ලෙස ස්වාධීනව සංදේශය චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීමට නොලැබුණු බව නොරහසකි. ප‍්‍රසිද්ධ චිත‍්‍රපට සමගමක නිෂ්පාදනයක් වූ සංදේශය චිත‍්‍රපටයේ සම්බන්ධ සමහර ශිල්පීන් එයට ඇතුළත් වූයේ නිෂ්පාදකගේ ඉල්ලීම මතය. ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ චිත‍්‍රපට ජනප‍්‍රිය කළ ශිල්පීන් යොදා ලෙස්ටර් ලවා චිත‍්‍රපට කරවීමත් වානිජමය වශයෙන් සාර්ථකත්වයක් ලැබීමය. ලෙස්ටර්ගේ මහත් උත්සහය නිසා අරිසෙන් අහුබුදු ලවා ගීත ලියවා සුනිල් සාන්ත තනු නිර්මාණය කොට සංදේශයට ඇතුළත් කළේය. සම්පූර්ණයෙන් ඉන්දියානු සංගීත ශිල්පීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකින් ගීත තැටි ගත වුවද එහි දේශීය භාණ්ඩ කිසිවක් නොවීය. චිත‍්‍රපටයේ දේශීය අනන්‍යතාවය රැකීමට නම් පසුබිම් සංගීතය තමන්ට අවශ්‍ය ලෙස සකසා ගත යුතු බව වටහා ගත් ලෙස්ටර් ඒ සඳහා තම මිතුරු කේ. ඒ. දයාරත්න යොදා ගැනීමට තීරණය කළේය. ලෙස්ටර් සංදේශයේ නමාවලිය සකස් කරන විට මුලින්ම සුනිල් සාන්තගේ නමද දෙවනුව අරිසෙන් අහුබුදුද තුන් වෙනුව දයාරත්නගේ නමද ඇතුළත් වන ලෙස සකසා තිබුණි.

සංදේශය පෘතුගීසි බලය පැවති සමය පදනම් වූ කථාවක් නිසා එම යුගයට ගැළපෙන ලෙස සංගීතය සැපයීමට සිදුවිය. බැන්ඞ් ගිටාර් වාදන සංගීතය සිතාර් බට නළා වාදන පමනක් නොව උඩැක්කි වාදන ද ඇතුළත් කොට තිබුණි.

දස්කොන් චිත‍්‍රපටයේද පසුබිම් සංගීතය දයාරත්නයන්ගේ යැයි ඔහුගේ දියණිය ලේඛකයා සමඟ කළ සාකච්ඡුාවේදී අවධාරණය කරනු ලැබීය. ඇය වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ රූප ජවනිකා මත සකසා ගත් සංගීත තිර පිටපතකට අනුව බොරුල්ලේ ස්ථානයක සංගීතය තැටිගත වූ අයුරු කුඩා දරුවකු ලෙස දුටු බවය. දස්කොන් චිත‍්‍රපටයේ සැබෑ නිෂ්පාදන පසුබිම සලකා බලන එම ප‍්‍රකාශය පිලිගත හැකි තත්ත්වයක වේ. දස්කොන් චිත‍්‍රපටයේ නිෂ්පාදනයේ පවතින අතරතුර නිෂ්පාදක පාර්ශ්වකරුවන් සමහරක් එයින් ඉවත් වේ. මෙම අර්බුදයේ ප‍්‍රතිපලය වනුයේ එහි නළු නිළියන් සමහරකු ඉවත් වේ. මෙහි කාර්මික අංශය භාරව සිටි ටයිටස් තොටවත්ත චිත‍්‍රපටය නිම කිරීමේ කාර්යයට අත ගසයි. මෙහි සංගීත අධ්‍යක්ෂණය ෂෙල්ටන් පේ‍්‍රමරත්න වුවද එය කළේ ගීතයන් සඳහාය. තවත් ගීත වල සංගීතය සැපයුයේ තිලකසිරි ප‍්‍රනාන්දුය. චිත‍්‍රපටය රූපගත කළ පසු එහි පසුබිම් සංගීතය සැපයීම ගැන සොයා බැලිමේදී ඉහත කී ප‍්‍රකශනයේ සාධනීය තත්ත්වයක් පවසයි. ටයිටස් හා දයාරත්න හමු වනුයේ රජයේ චිත‍්‍රපට අංශයේ සේවය කරන විටය. ටයිටස්ට රේඛාවේ හා සංදේශයේ දයාරත්න කළ දස්කම් පිළිබඳ අවබෝධයක් විය. ඒ අනුව ටයිටස් දයාරත්නට දස්කොන්හි පසුබිම් සංගීතය පවරන්නට ඇත.

රේඛාව, සංදේශය, දස්කොන් පිටුපස සිටි නිහඬ සංගීතඥයා කේ. ඒ. දයාරත්න
රතනජන්කර්ගේ රෙකමදාරුව

1954 වසර දේශපාලනඥයන්ට, නිලධාරීන්ට පමණක් නොව කලාකරුවන්ටද කාර්යබහුල වසරක් වූයේ එලිසබත් මහා රැුජින දින දහයක නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණීමය. කලාකරුවන් ලෙස ශේෂා පලිහක්කාර, ලතා, අමරදේව, ලයනල් එදිරිසිංහ හා කේ. ඒ. දයාරත්නද ඒ අතර විය. මහා රැුජින වෙනුවෙන් වූ සංගීත සන්ධ්‍යාව සහභාගී වූ සංගීත විද්‍යාලයේ සිසුන් පුහුණු කිරීමේ වගකීම දයාරත්නට පැවරී තිබුණි. සංදර්ශනයේදී දයාරත්න සිතාරයද ලයනල් එදිරිසිංහ මද්දලය වාදනය කොට ඇත. අගමැතිනි ඉන්දිරා ගාන්ධි ලංකාවට පැමිණි විට ඇය වෙනුවෙන් තැප්‍රෝබේන් හෝටලයේ පැවති සංදර්ශනයේදීද සිතාරය වාදනය කළේ දයාරත්නය.

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා තුර්යවාදක කණ්ඩායම පිහිටු වනු ලබනුයේ 1950 ජුනි 22 වැනි දින ලූතිනන් ජොර්ජ් පේරි නම් බි‍්‍රතාන්‍ය හමුදාවේ නිලධාරියකු විසිනි. බි‍්‍රතාන්‍ය සාම්ප‍්‍රදායික යුද්ධ හමුදා තුර්ය වාදක කණ්ඩායමකට සමානව ඇති කළ එම තුර්ය වාදක කණ්ඩායම ඉතා කෙටි කලෙකින් දේශීය සංගීත භාණ්ඩ ඇතුළත් කිරීම හා දේශීය සංගීතය කෙරේ යොමු කරවීම එකල අනුව මහා පරිවර්තනයකි. 1952 හා 1954 අතර කාලයේ මෙම තුර්ය වාදක කණ්ඩායමට දේශීය සංගීත ශිල්පීන් බඳවා ගන්නා අතර මෙම පෙරළිකාරී ක‍්‍රියාවලිය තුළ සිටි දැවැන්තයන් වූයේ ලයනල් එදිරිසිංහ, කේ. ඒ. දයාරත්න හා ලූතිනන් සිසිල්. ටී. කල්දේරාය. 1970 ගණන්වල මුල් භාගයේ දයාරත්න සමඟ කර්නල් සිසිල්. ටී. කල්දේරා පිහිටුවනු ලැබූ ශ‍්‍රී ලංකා හමුදා හේවිසි කණ්ඩායමේ දවුල බටනළාව ආදී සංගීත භාණ්ඩයන්ට අමතරව යක් බෙරය ගැට බෙර සියල්ලම පුහුණු කළේ දයාරත්න විසිනි.

නිදහසින් පසු පාසල් ප‍්‍රධාන පාසල් කීපයක පමනක් තුර්ය වාදක කණ්ඩායම් තිබුනත් ඒවා බටහිර තුර්ය වාදක කණ්ඩායම් විය. නමුත් පළමු වරට පාසල් තුර්ය වාදක කණ්ඩායම් තුළට හේවිසි වාදනයන් හා දේශීය සංගීත භාණ්ඩ පළමුව ඇතුළත් කළේ කේ. ඒ. දයාරත්නයන්ය. බෞද්ධ කාන්තා විද්‍යාලයෙන් ඇරඹි මෙම දේශීයකරණය අද වන විට සෑම පාසලක් තුළම දන්නට ලැබේ. දයා වික‍්‍රමසිංහ බණ්ඩාර ආදී ශිල්පීන් මෙම දරුවන් පුහුණු කිරීමට දයාරත්නයන්ට සහය වී ඇත.

දයාරත්න ගීත රාශියක් නිර්මාණය කළ නිහඬ සංගීතඥයෙකි. එච්. ඇම්. අබේපාල ගැයූ ශාන්ත සිතුවිලි මැව්නා වේ, මිහිරි ගීතේ කෝ ඔබේ, ඉන්ද්‍රාණි ජයවීර ගැයූ ලා අඹ දළු සිලි සිලි නාරද දිසාසේකර හා මේරි දයාරත්න ගැයූ සිහින සිතුවිලි ඒ අතරින් කීපයකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ද දයාරත්නගෙන් ගුරුහරුකම් ලබා ගත් අතර තම හස්තිකාන්ත මන්තරේ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණයද දයාරත්නට පවරයි.

දයාරත්න තමන්ගේ සංගීත ප‍්‍රසංගයක් 1962දී වේදිකාගත වන අතර එහි තබ්ලාවෙන් සහය වූයේ ඔහුගේ ගෝලයකු වූ පී. වී. නන්දසිරිය. 1960 ගණන්වල මුල් භාගයේ ලංකාවට පැමිණි බි‍්‍රතාන්‍ය බ‍්‍රයන් හොප්කින් ජෝන්ස් දයාරත්නගේ සිතාර් වාදන අසා විශ්මයට පත් විය.

දයාරත්න මුලින්ම ශාන්ති නිකේතනයේදී ප‍්‍රගුණ කළේ නන්දලාල් බොස් යටතේ චිත‍්‍ර ශිල්පයය. එහෙත් ඔහුගේ චිත‍්‍ර ශිල්පීය හැකියාව ගැන කිසිම සටහනක් දක්නට නැත. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සන්ධ්‍යා සිල්වා ප‍්‍රකාශ කළේ වරක් දයාරත්න තම මිතුරු ලයනල් එදිරිසිංහගේ ආලේඛන චිත‍්‍රයක් ඇඳ එය හෙවුඩයේ එල්ලා තැබීමෙන් මතු වූ ගැටලූ රාශියකට මුහුණ දීමෙන් මතු වූ අපහසුතාවයන්ට පසුව ඔහු කිසිම දිනක පින්සල අතට නොගත්තේය.

දයාරත්නගේ ආදර කතාවත් විවාහයත් වටා ඇත්තේ රමණීය කතාවකි. 1900 ගණන් වල මුල්ම භාගයේ ඇන්ඩෘ බෙල්ෆර් නම් ලෝක යුද්ධයේදී තුවාල ලැබූ තරුණ බි‍්‍රතාන්‍ය සොල්දාදුවකු තම මාමා සමඟ ලංකාවට පැමිණෙනුයේ එකල මහනුවර ප‍්‍රසිද්ධව සිටි වත්තේගම සමරසිංහ වෙද ආරච්චිගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමටය. ඇන්ඩෘ බි‍්‍රතාන්‍යයේ වංශවත් පරපුරකින් පැවත එන්නෙකි. ඔහුගේ මාමා කෙනකු වූ ආතර් ජේම්ස් බෙල්ෆර් 1902 සිට 1905 දක්වා බි‍්‍රතාන්‍යයේ අගමැති විය. තරුණ ඇන්ඩෘ සමරසිංහ වෙද ආරච්චිගේ දියණිය වූ එලීසා සමරසිංහ සමඟ විවාහ වූයේ ඔවුන් අතර වූ ආදර බැඳීමක ප‍්‍රතිඵලයක් ලෙසය. විවාහයෙන් පසු බදුල්ලට පැමිණෙන ඇන්ඩෘ හා එලීසාට දරුවන් සතර දෙනකු ලැබෙන අතර පවුලේ බාලයා වූයේ දියණියකි. 1936 උපත ලද ඇයට ඩොරින් මේරි බෙල්ෆර් යැයි නම් තැබීය. බදුල්ල උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මේරි සංගීතයට බොහෝ ප‍්‍රිය කළේය. පියානෝව ඇගේ කැමතිම භාණ්ඩය විය. තම නිවස දයාරත්නගේ නිවස අසලම පිහිටි නිසාත් දයාරත්නගේ නංගීද ඇගේ සමීපතම මිතුරිය නිසාත් නිතරම එම නිවසට යෑම මේරි පුරුද්දක් කර ගෙන තිබුණි. මෙහිද ප‍්‍රතිඵලය වූයේ දයාරත්න හා මේරි අතර ආදර සබඳතාවයක් ඇති වීමය.

ඉන්දියාවේ සිට පැමිණි දයාරත්න සංගීතමය කටයුතුවල නිරත විය. ඔහු කොළඹ නැවතී සිටියේ චිත‍්‍රසේනගේ නිවසේය. මෙම කාලයේදීම ඩොරින් මේරි කොළඹ බි‍්‍රටිෂ් සීලෝන් සමාගම නැතහොත් බී.බී.සී. සමාගමේ සේවය කරමින් සිටියේය. ඇය නැවතී සිටියේ සංගීතඥ ඩන්ස්ටන් ද සිල්වාගේ නිවසේය. ඔහුගේ නැඟණිය ගායිකා ස්වර්ණා ද සිල්වා ඇයගේ මිතුරියක වූවාය. දයාරත්නටත් මේරිටත් මෙම පරිසරය මහත් ආශිර්වාදයක් විය. 1956 ජුනි 14 දින දයාරත්න හා ඩොරින් මේරි ඉතා සරල උත්සවයකින් විවාහ වේ. දෙමව්පියන්ට හොරෙන් විවාහ සිදු වුවද එය කලා ලොවේ සරල මංගල්‍යයක් විය. විවාහයේ සාක්කිකරුවන් වූයේ චිත‍්‍රසේන හා සෝමදාස ඇල්විටිගලය. විවාහය ලියාපදිංචි කළ රෙජිස්ටාර් වූයේ ජනප‍්‍රිය ගායක සී. ටී. ප‍්‍රනාන්දුය. පසු කාලයකදී දෙමව්පියන්ගේ ආසිරි ලබන දයාරත්න යුවල දියණියකගේ හා පුතෙකුගේ මව්පියන් බවට පත්වේ. ඔවුන්ගේ දියණිය සන්ධ්‍යා සිල්වා දැනට ලන්ඩනයේ පදිංචිව සිටින අතර පුත් සන්දීප් කැටිපේ ආරච්චි ලංකාවේ පුද්ගලික සමාගමක සමාන්‍යාධිකාරී ලෙස සේවය කරයි. ළමා කළ සිට තබ්ලාවට ආදරය කළ සන්දීප්ද වයස අවුරුදු පහේදී දයාරත්නගේ සංගීත වැඩ සටහනකදී අනෙක් තබ්ලා ශිල්පීන් සමඟ තම පියාට සහය වාදනයෙන් සහය වී ඇත.

වසර ගණනාවක් එකිනෙකාට සෙනෙහසින් ජීවත් වූ දයාරත්න යුවල ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කළේය. මතකයන් රාශියක් ඉතිරි කොට දයාරත්න 2011 මාර්තු 22 වන දින මෙලොවින් වෙන්ව යයි. එයට වසර දෙකකට පසුව ඩොරින් මේරි දයාරත්නද දිවංගත වේ. කලා කීර්ති, කලා භූෂණ ජනාධිපති සම්මානවලින් පිදුම් ලත් දයරත්න නිහඬ කලාකරුවා සම්මානයද රේඛාවට වසර 50 ක් පිරීමේ අගැයීම් සම්මානයද ලබයි. සිනමාවට 75 වසරක් සමරන අවස්ථාවෙන් පසුව වත් දයාරත්නගේ නම සිනමා ඉතිහාසයේ කිසියම් තැනක ලියා තබනු ඇතැයි අපේක්ෂාව වේ.

කේ. ඒ. දයාරත්නගේ දියණිය වන ලන්ඩනයේ කෙන්ට් හි පදිංචි සන්ධ්‍යා සිල්වා මහත්මියට ලේඛකයාගේ විශේෂ ස්තුතිය පිරිනැමේ. ඡායාරූපවල අයිතිය ද ඇය සතුය.

පේ‍්‍රමදාස තෙලිකෝරල

(ලේඛකයා – ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ විශ‍්‍රාමික
විධායක නිලධාරියෙකි.)

advertistmentadvertistment
advertistmentadvertistment