රේගු ලෙඩ සුව වෙයි – බහාලුම් 5,000ක් හිරවෙලා

58

අසනීප නිවාඩු වාර්තා කරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (04දා) සවස අත්හිටුවනු ලැබීය.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සහ රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය සමග පැවැති සාකච්ඡාවකින් පසු එම තීරණයට එළැඹි බවත්, ඒ අනුව රේගු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවැසීය.

රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර පිහිටු වීමට යෝජිත ශ්‍රී ලංකා ආදායම් අධිකාරි පනතට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වර්ජනය අරඹා තිබිණි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් බහාලුම් 5000කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ සිරවී ඇතැයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා “දිවයින” ට පැවැසීය.

කෙසේ වෙතත් පෙරේදා (03දා) රාත්‍රියේ බහාලුම් 1200ක පමණ නිෂ්කාශන කටයුතු සිදු කර ගැනීමට හැකියාව ලැබුණු බවද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment