රොකට් නඩුව

1405

ගංජා යනු කාසියක් නම් එහි එක පැත්තක ඩයනා ගමගේ ගේ පිංතූරය කැටයම් කළ යුතුය. කාසිය අනිත් පැත්තේ කැටයම් කළ යුතු පිංතූරය වන්නේ මහාචාර්ය වසන්තසේන වැලිඅංග ය. මේ කියන මහාචාර්යතුමා ඩයනා ගමගේට කලින් සිට ගංජා ප්‍රවර්ධනයට දායක වූ කෙනෙකි. මෙයින් අදහස් කරන්නේ ඔහු ගංජා සුරුට්ටු විකුණන බවක් හෝ ඒවා නොමිලේ බෙදාදෙන බවක් හෝ ගංජා පැකට් කර රුපියල් 200 ට 500 ට විකුණන බවක් නොවේ. ගංජා ශාකයේ විවිධ කොටස් වලින් ගතහැකි ප්‍රයෝජන ගැන ඔහු නිතර මාධ්‍යයට කියයි. ගංජා ගහේ විවිධ කොටස් වලින් නිපදවන ලද නූල්, ඒවායින් වියූ රෙදි, ගංජා ගසින් සාදන රස කැවිලි, රූපලාවන්‍ය ඖෂධ සහ වෙනත් ඖෂධ වර්ග යනාදිය ගැන රූපවාහිනී නාලිකා කිහිපයක් හරහා ද වැඩසටහන් කර ඇති හෙතෙම මීට කලකට පෙර ජනාධිපති කාර්යාලයට ගොස් විශේෂඥ කමිටුවක් හමුවී ගංජා ශාකයේ ප්‍රයෝජන ගැන සඳහන් කර ඇත. මේ සියල්ලට අමතරව අපට හැඟෙන පරිදි මහාචාර්ය සේන වැලිඅංග ගේ සූස්ති ලෝලියෙකි. ගංජා ප්‍රවර්ධනයට උත්සහ කිරීම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර ලුණුගම්වෙහෙර පොලිස් අත්අඩංගුවට පත්වූ මහාචාර්යතුමා ශරීර ඇපයක් මත දැනට මුදාහැර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධ නඩු කටයුත්තකට යොමුවීමට නියමිතය. මහාචාර්ය සේන වැලිඅංග ගේ තම ප්‍රියතම ශාකය වශයෙන් ගංජා තෝරාගෙන ඇත්තේ එය තණකොළ ගානට මේ රටේ වැවෙන නිසාය. ලංකාවේ විවිධ වනගත පළාත්වල වනගහනයන් මැද්දේ ගංජා හේන් වවනු ලැබේ. හිටපු ගමන් පොලිසියෙන් පැන සම්පූර්ණ හේනම විනාශ කර ගංජා ගස්වලට ගිනි තබයි. තායිලන්තය සහ බුරුමය අතර දේශසීමාවේ වගා කරන පොපි ගස් වලටද ඒ රටවල රාජ්‍ය නිලධාරීන් විසින් මේ සුද්දයම දෙනු ලැබේ. හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය සාදනු ලබන්නේ පොපි ගස් වලිනි. මෙය ලෝකයේ මිල අධිකම මත්ද්‍රව්‍යයක් ලෙස සලකනු ලැබේ. අයිස් නමැති මත්ද්‍රව්‍ය හෙරොයින් වලට වඩා ලාභ බැවින් හෙරොයින් මාර්කට් එක කිසියම් ආකාරයකට දෙදරන්නට පටන්ගෙන තිබේ. ලෝකයේ සියලු අපරාධ වලට රජයේ නිල නොවන අනුග්‍රහයෙන් 1% ක් වත් ලැබෙයි. පොපි වගාවන්ට කඩා පනින තායි සහ බුරුම හමුදා නිලධාරීන් එම වගාව විනාශ කරන විට 1% ක් පමණ ඉතිරි කරයි. පොපි වගාකරුවා නැවත වතාවක් ඔලුව උස්සන්නේ මෙසේ ඉතුරු කළ 1% ක ප්‍රමාණයෙනි.

ගංජා යනු ඉපැරණි ග්‍රාමීය මත්ද්‍රව්‍යයකි. ස්නායු අඩපන කරන ගංජා දීර්ඝ කාලයක් පාවිච්චි කළ විට එසේ කරන්නා සම්පූර්ණයෙන්ම නන්නත්තාර වී හොටු පෙරමින්, කිවිසුම් අරිමින්, වෙව්ලමින් කල්ගත කරන්නට පටන්ගනී. මාරාන්තික රෝග වලින් පෙළෙන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ඔවුන්ගේ ගෙවතුවල ගංජා පැළ 5 ක් හෝ 10 ක් වගා කිරීමේ අයිතිය ඇතැම් රටවල දී තිබේ. පිළිකාව වැනි වේදනාකාරී රෝග වලින් පෙළෙන්නෙකුට ගංජා සුරුට්ටුවක් ගසා වේදනාව අමතක කරදමා මනෝමය වශයෙන් ගුවන්ගත විය හැක. ගංජා සතු මේ ගුවන්ගත කිරීමේ බලය නිසාම එය රොකට් යනුවෙන්ද හඳුන්වනු ලැබේ. කිසියම් පිරිසක් අතරින් එකෙක් රොකට් එකක් ගහමු දැයි අසන්නේ නම් ඔහු ඒ කියන්නේ ගංජා ගැනය. ඊට අමතරව බොමන්ස් යනුවෙන්ද ගංජා හඳුන්වනු ලැබේ. පුරුද්දට ගංජා ගහන සූස්තිකාරයාට පැණි රස කෙරෙහි මහත් ආසාවක් හටගනී. ඒ නිසා කිරි තේ මුහුදක යාත්‍රා කරන මස්කට් නැව් ඔහුට පෙනෙන බව කියනු ලැබේ. මහාචාර්ය සේන වැලිඅංග ගේ ඔලුවෙන් හිටගෙන කීවත් ගංජා යනු ඖෂධීය අරමුණු සඳහා මිස ඇඳුම් සෑදීමට හෝ රස කැවිලි සෑදීමට යොදාගත යුතු නැති පාලනය කළ යුතු උවදුරකි. සමහරවිට ඔහු අත්අඩංගුවට ගත් ලුණුගම්වෙහෙර පොලිසියේ රාලහාමිලා එසේ කල්පනා කරන්නට ඇත.

මත්ද්‍රව්‍ය යනු සංස්කෘතික ප්‍රශ්නයකි. රා වලින් පටන්ගෙන කසිප්පු හරහා අරක්කු දිගේ කුඩු දක්වා යන මත් ගමන ඉතා භයානක ය. යමක් ප්‍රවර්ධනය කිරීමේදී අප එහි සමාජ ප්‍රශ්න ගැන කල්පනා කළ යුතුය. ගංජා ගස් වලින් නූල් සාදා එයින් ඇඳුම් මසාගෙන ඇඳීමට සහ ගංජා වගාව ප්‍රවර්ධනය කළොත් සිදුවනු ඇත්තේ මේ රටේ ගංජා රෙදි කර්මාන්තය නොව සූස්ති කර්මාන්තය දියුණු වීමය. හැබැයි රජයේ පාලනය යටතේ ගංජා වගාකර ඖෂධීය අරමුණු සඳහා ඒවා රට පැටවිය හැකි නම් එතැන කිසියම් සාධනීය තත්ත්වයක් තිබේ. එය කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. ගංජා ප්‍රවර්ධනය කරන අය බොහෝ සිටියත් කූඩුවට යන්න සිටින්නේ තමන්ට පමණක් බව කියමින් මහාචාර්ය සේන වැලිඅංග ගේ දුක්වන බව පෙනේ. ගංජා ප්‍රවර්ධනය කරන ඊළඟ චරිතය වූ ඩයනා ගමගේ ඇතුළට නොදැමීම සිහිකර මහාචාර්ය වැලිඅංග ගේ එසේ කියනවා ඇත. ඩයනා ගමගේ යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි. සෙසු රටවැසියන් අත්අඩංගුවට ගන්නා පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට නොහැක. ඒ සඳහා කථානායකතුමාගේ අවසරය පොලිසිය විසින් ලබාගත යුතුය. එච්චර දුර යෑම පොලිසියට වාසියකි. සේන වැලිඅංග ගේ ඇතුළට දැමීම ඊට වඩා ලෙහෙසි නිසා පොලිසිය ඔහු තෝරාගන්නට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment