රොබට් නොක්ස් එදා දුටු ‘අවුරුදු’

1549

අපේ ලක්වැසියෝ අලුත් අවුරුද්ද සැමරූ හැටි යළි සිහිපත් කිරීම සුදුසු යැයි සිතුවෙමු. ඒ සඳහා අතීත මූලාශ්‍රයක් වශයෙන් අප පාදක කරගත්තේ ක්‍රි.ව. 1681දී පමණ ඈත අතීතයේ ලියැවුණු ‘An Historical Relation of the Island of Ceylon’ නමැති ඓතිහාසික ග්‍රන්ථයයි.

පසුව 1958 ජනවාරි 1 වැනිදා ඩේවිඩ් කරුණාරත්න නම් වූ මහා වියතාණන් අතින් විශිෂ්ට අයුරින් සිංහල බසට පරිවර්තනය වී කොළඹ ඇම්.ඩී. ගුණසේන සමාගමේ ප්‍රකාශනයක් ලෙස රොබට් නොක්ස්ගේ ‘එදා හෙළදිව’ නමින් සිංහල පාඨකයන් අතට පත් කෙරිණි. වසර විස්සකට ආසන්න කාලයක් සිංහල රජුගේ සිරකරුවකු ලෙස ජීවිතය ගතකළ රොබට් නොක්ස් ලියා තැබූ සටහන් අතරේ, සිංහල අවුරුද්ද සැමරූ අයුරු සහ අපිටම ආවේණික ආහාර පාන වර්ග පිළිබඳවත් මෙසේ අපට හමුවෙයි. එම ග්‍රන්ථයේ ‘අය බදු – අය කැමි’ නමැති 15 වැනි පරිච්ඡේදයෙන් සහ ‘ආචාර – විචාර සහ ඇඳුම් – පැලඳුම්’ නමැති 24 වැනි පරිච්ඡේදයෙන් උපුටාගත් කොටස් කීපයක් මෙසේ ඔබ වෙත ඉදිරිපත් කර සිටිමු.

ලක්දිව් වැස්සෝ, චිරාගත සම්ප්‍රදාය අනුව වර්ෂයකට තුන් වරක් රජ්ජුරුවන් හට අයබදු දෙති. අලුත් අවුරුදු බද්දය, අභිනව භෝග වර්ගාදිය සඳහා දිය යුතු අලුත් සාල් බද්දය, නොවැම්බර් මාසයේ දේව පූජාදිය සඳහා දිය යුතු ඉල්මහ බද්ද යැයි අවුරුදු පතා ජනතාව විසින් රජ හට දිය යුතු බදු තුනක් ඇත. මෙම ප්‍රධාන බදු තුන හැරුණු විට යම් අවස්ථාවකදී රජවාසලට යම්කිසි කුදු මහත් දෙයක් අවශ්‍ය වුවහොත්: රජුගේ අණ පරිදි ඒ සියල්ල මහජනයා විසින් රජවාසලට සැපයිය යුතු වන්නේය. එසේ ගෙන යා යුතු සුළු අයබදු මුදල් හදලින් සහ වී සහල් ආදී ධාන්‍යයෙන් සැදුම් ගන්නේ වෙයි.

දැන් ප්‍රථම කී ත්‍රිවිධ අයබදු පිළිබඳව සුළු විස්තරයක් කළ යුතුය: අලුත් අවුරුදු බද්ද මෙබඳුය:

අලුත් අවුරුදු දිනයෙහි රජතුමා විසින් චිරාගතව පවත්වාගෙන එනු ලබන සිරිත් විධි විශේෂයක් වෙයි. සාමාන්‍යයෙන් අලුත් අවුරුදු දින මාර්තු මාසයේ 26,28 හෝ 29 වැනි දිනයකට එයි. මේ දවසෙහි උදෑසනක් සේම අවදි වන රජතුමා නැකැති නාවන්ගේ උපදෙස් පරිදි ඉස් සෝදා ස්නානය කරයි.

සිංහල අවුරුදු උත්සවය වූ කලී ලක්වැසියන් ඉතා වැදගත් කොට සලකන උළෙලකි. මේ දින රාජ මාලිගයේ දොරටුවක් පාසා තොරන් බැඳ සරසති. සරසන ක්‍රමය මෙසේය: එක් එක් පෙළට සතක් හෝ නවයක් වන පරිද්දෙන් හා මැදට එන්නට එන්නට උස්වන පරිද්දෙන් රිටි සිටුවා, එම රිටි පෙළින් පෙළ හරස් ලී බැඳ, දොරටුවෙහි ආරුක්කු නංවා, තොරණ බඳිති. මෙම තොරන් මුදුණේ හරස් ලීවල ගෙඩි වලු එල්වති. මිනිස්, සිව්පා හා පක්ෂි ප්‍රතිරූපවලින් සුන්දර වූ කොඩි බඳිති. සමහර ස්ථානවල මෙම තොරන් වෙනුවට උස් වූ රිටි සිටුවා නා නා වර්ණයෙන් යුක්ත වූ කොඩි බැඳි ඉංග්‍රීසි ‘බී’ අක්ෂරයේ හැඩය ඇති මිණි ගෙඩි එල්ලති. මෙපරිද්දෙන් සැරසූ කල්හි රාජ මාලිගය දෙව් විමනක් හා සමාන යැයි මිනිසුන් කියනු මා අසා ඇත්තේය.

සිංහල අවුරුදු මංගල්‍යය දා බළමුළු පෙළ සැදී මහා වාසල අරක් ගනිති. උදෑසනක් සේම අවදිවන රජතුමා මීට කලින් ද කියූ පරිදි ස්නානය පිණිස පැන් ගෙට ප්‍රවිශ්ට වන්නේය. එම උල්පැන් ගෙයි දියවඩන නිලධාරියා රජුට මෙහෙ පිණිස සැරැසී සිටී. රජ්ජුරුවෝ හිස් සෝදා නාපියා සර්වාභරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව පෙළ සැදී සිටගත් බළ සෙනඟ පරීක්ෂා කිරීම සඳහා මාලිගාවෙන් නික්මෙති. එම මොහොතෙහි ආචාර වෙඩිමුර කීපයක් තබනු ලැබේ. ඉක්බිත්තෙන්, අධිකාරම්, දිසාපති ආදී රජයේ උසස් නිලධාරීහු තම තමන්ගේ ස්ථානාන්තර වශයෙන් ද රට හා දිශා වශයෙන්ද අලුත් අවුරුදු පෙනුම් කත් සඳහා ගෙනඑනු ලබන ද්‍රව්‍ය අතර රත්රන්, ආභරණ, ලෝහමය තැටි, අවි ආයුධ පිහියා හා වස්ත්‍රාදිය ද වෙයි. මහරජුට පරිත්‍යාග කිරීම සඳහා මෙබඳු නැති තැනැත්තෝ ඒ වෙනුවට මුදල් ප්‍රදානය කෙරෙති. රජු ඉතා සතුටින් පිළිගනිති යි සිතෙන මුතු මැණික් හෝ ඔවුන් හට සපයාගත හැකි සෙසු කිසියම් දුර්ලභ වස්තුවක් හෝ ගෙනවුත් පුද කෙරෙති. නොයෙක් අවස්ථාවලදී අලුත් අවුරුදු තෑගි බෝග පිළිගැනුම තමහට නොතරම් යැයි සිතා දෝ ඒවා නොපිළිගෙන, ආපසු ගෙන යන ලෙස ඔවුන් හටම භාර කරති. ඔවූහු ඒ මොහොතට ඒවා ආපසු ගෙනගොස් තවද කලකට පසු බලවත් පෙරැත්තයෙන් ඒවා ගෙනවුත් පිළිගන්වති. එම වතාවේත් රජතුමා ඒවා ප්‍රතික්ෂේප කළහොත් නැවතත් ගෙන නොඑති. නොපිළිගන්වති.

වෙළෙහෙළඳාම් ආදී නිදහස් රැකියාවන්හි නිරත වූ තැනැත්තන් විසිනුදු තම තමන්ගේ වත්කමේ ආදායමේ ප්‍රමාණයට යම්කිසි මුදලක් අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් රාජකීය භාණ්ඩයට ගෙවිය යුතුය. මෙසමයේදී නම් රජතුමා එබඳු පරිත්‍යාග පිළිනොගනිතත් කලකට එපිටදී නම් ඒවා මහත් කැමැත්තෙන් පිළිගත් බව මම දනිමි.

සාමාන්‍ය රටවැසියා විසින් සිරිත් පරිදි කවදත් ගෙවනු ලබන අයබදු වනාහී මීපැණි, තෙල් ධාන්‍ය, පැණි, ලාකඩ, වස්ත්‍ර, යකඩ, ඇත්දත්, දුම්කොළ හා මුදල් යනාදියයි. මේවා ගෙනඑන රටවැසියන්, ඔවුන්ගේම අතින් ඒවා මහරජතුමාට පිළිගැන්වීම පිණිස රජු බැහැදැකීමට වාරයත් අවසරයත් එනතුරු මාස ගණන් වුවද රජවාසල අසල රැඳී සිටිති. මහජනයා අයබදු ගෙන ආ කල්හි ප්‍රධාන අයකැමි නිලධාරීහු මිනිසුන් අයබදු ගෙනවුත් සිටින බව මහරජුට සැල කරති. එවිට රජතුමා ‘හොඳයි!’ කියතත් ඒවා රැගෙන මහජනයාට පැමිණෙන්නට එක්වරම අවසර නොදෙන්නේය.

ඉදින් එම බඩු භාණ්ඩ පිළිගැන්වීමට අවසර නොලැබුණොත් කවර දා කවර වේලේදී හෝ අවසර ලැබෙන තුරු එහිම රැඳෙනු මිස ඒ සම්බන්ධයෙන් කළ යුතු සෙසු ප්‍රතිකර්මයක් නැත්තේය.

මෙපරිද්දෙන් රටවාසී ජනතාව තෙවරක් අයබදු ගෙන එති. එහෙත් ගම් ප්‍රධානීන් අයබදු ගෙන එන්නේ අවුරුදු සමයේදී පමණකි.

ආහාර සම්ප්‍රදාය හා ආහාර බෙදීම පමණක් නොව ආහාර භුක්ති විඳීම ද ඔවූහු ඉතා පිරිසිදුවට කෙරෙති. ඉතා ඉක්මනටත් පිරිසිදුවටත් ආහාර පිසින්නට ඔවූහු සමත්ය. ඔවුන්ගේ ආහාරයට පුරුදු වුවහොත් එය ඉතා රසවත් බව කිව හැකිය. ඔවූහු බිම එළා ලූ පැදුරක හිඳගෙන ආහාර අනුභව කරන්නාහ. සම්භාවනීය අමුත්තකුට ආහාර උදවු කිරීමේදී කුඩා පුටුවක් හිඳ ගැනීමට තබා ඊට මඳක් උස් වූ මැස්සක ආහාර තබති.

සිංහලයන්ගේ සාමාන්‍ය බීම වතුරය. ආහාර කන්නට පෙර රා බොතහොත් එය ශරීර ශක්ති වර්ධනයට ඉවහල් වෙතැයි කියති. සිංහලයන් පැන් පානය කරන විට ඒ පැන් බඳුන මුවෙහි නොතබා කටට වත්කර ගනිති. පිඟන් හෝ පිත්තල තැටි ඇති අය ඒවායේ අනුභව කරන අතර ඒවා නැති තැනැත්තෝ කොළවලත් කොළපත්වලත් බුදිති. බතට උදව්වට පිසනු ලබන ව්‍යාංජන හෝ වෙනත් ආහාර වර්ග පිසූ බඳුන්වල තිබියදීම, බිරින්දෑ ඒවා සැන්දෙන් ගෙන අවශ්‍ය පරිදි බෙදන දෑය. ස්වකීය ස්වාමි පුරුෂයන් හට බෙදා ඔවුන් වැළඳූ ඉක්බිති භාර්යාවෝ අනුභව කරති. එය ඔවුන් සතු සිරිතක් හැටියට සලකනු ලැබේ. ස්වාමිපුරුෂයන් වළඳා බඳුනේ ශේෂ වූ ආහාර ස්ත්‍රීහු මහත් කැමැත්තෙන් අනුභව කරති. ආහාර කෘත්‍යය කරන අතර ප්‍රිය සල්ලාප කතා කිරීමේ සිරිතක් මේ රටේ නැත. ඊට කැමැත්තක් ඇති බවක් වත් නොපෙනෙයි.

සිංහල රටේ වනිතාවන් බත පිසින කල්හි අනුගමනය කරන එක්තරා පුදුම සිරිතක් ගැන කිව යුතුය. එනම් ගෘහණිය බඳුනට සහල් මැන දමන විට ගෙයි යමකු කතා කරමින් සිටියහොත් නිශ්ශබ්ද වන ලෙස කියනු ලැබේ. සහල් ටික මැන සැළියට දැමූ ඉක්බිති කතා කළ හැකිය. සැළියට සහල් දමන මොහොතෙහි කතා කළහොත් බත අඩුවන බව ඔවුන්ගේ විශ්වාසයකි.

දෙහි ගස්හි සරු ලෙස ඵල හට ගන්නා කාලයේ ඔවූහු දෙහි කඩා ඇඹුල් මිරිකා මැටි බඳුනකට ගෙන ලුණු දමා ගින්නේ හෝ අව්වේ කකාරාවා ‘ලුණුදෙහි’ දමා පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා තබා ගනිති. කැමැති කාලයක් තබා ගත හැකි මෙම ලුණුදෙහි, දෙහි අහේනියේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේය.

ඔවුන්ගේ රසකැවිලි විවිධය. ඒ රසකැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල් පිටි අනා ගුළි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලි කොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති. ඕලන්දකාරයන් පළමු කොට ලක්දිවට පැමිණි අවධියේ ඔවුන් හට රාජකීය සංග්‍රහයක් කරනු කැමති වූ කන්දේ රජු ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජපුරුෂයන් හට නියම කළේය. එව කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු, එපමණ ප්‍රණීත ආහාරයක් මිනිස් අතකින් නම් සෑදිය නොහැකි යැයි සිතා ‘මේවා ගස්වලින් කඩාගන්නා දෙයක්ද?’යි ඇසුවෝය.

අග්ගලා නමින් තවත් අලුමුසුවක් වෙයි. බැදිහාල් පිටි පැණියෙන් අනා ගම්මිරිස්, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසුකොට මෙම ගුළි සාදා ගනු ලැබේ. මේ ගුළි, ගුළි කිරීමෙන් පසු තදවෙති. ගමන් බිමන් යෑමේදී, සන්ධ්‍යා භෝජනය සඳහා පසුම්බිවල දමාගෙන යන්නේ මේ අග්ගලාය.

මෙම අග්ගලා සාදන ආකාරයෙන්ම සාදා ගනු ලබන අලුවා නම් අහරක් ද ඇත. වෙනසකට ඇත්තේ හැඩය පමණකි. අග්ගලාව වටකුරු වූ අතර අලුවා පැතලිය. ආහාර අහේනියෙන් හාමත් වූ විට අලුවා කා ඉක්බිති වතුර බොනු ලැබේ. අතුරුපසට මනවඩන්නා වූ මෙම අලුවා ටිකක්, අපි පලා එද්දී ගෙන ආවෙමු.

යක්පැටි නම් තවත් අහරක් වෙයි. (මෙය වන්ඩු ආප්ප විය හැකිය.)

හාල් පිටි පොල් හා හකුරුවලින් සාදනු ලබන මෙය රස අහරකි. හාල් පිටි පැණි මුසු කොට අනා ගුළි කොට කොළයක ලා වණ්ඩුවේ තම්බා ගනිති. ඉතා මොළොක් වූ මෙය බුදින විට හකුරු සමඟ සුදු පාන් කන බවක් හැඟෙන්නේය.

මෙරටෙහි තවත් මන වඩන අහරක් නම් පිට්ටුය. භාජනයකට කුරක්කන් පිටි ගෙන මඳක් දිය ඉස තරමක ඇට හෙවත් ගුළි වනතුරු අතගා දිය පිරූ සැළියක රෙදිකඩක් බැඳ මෙම ගුළි සහිත ඇනූ පිටි මත මුදුන්වන සේ තබා වෙනත් බඳුනකින් වසා තම්බා ගනිති. බත් මෙන් කත හැකි මෙය ප්‍රණීත ආහාරයකි.

නොක්ස්ගේ මේ සටහන තුළ සිංහල අවුරුද්දේ සාමාජයීය ලක්ෂණ පිළිබිඹු නොවන බව සැබවි. එහෙත් රාජ්‍ය අවුරුදු සැණකෙළිය මගින් ප්‍රකාශ වනුවේ රටවැසියන්ගේ අවුරුදු අසිරිය නොවේදැයි අනෙක් අතට අපට සිතන්නට පුළුවන.

● සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment