රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන වැඩ කරන්න එපා

159

ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයේදී අවධාරණය කරයි

රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවා නම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳී සිටින බවත් ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්ය.

වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව බවත්, මෙම පණිවිඩය තේරුම් ගෙන සියලු‍ සෞඛ්‍ය වෘත්තිකයන් කටයුතු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රජයත් බලාපොරොත්තු වන බවත්, සෞඛ්‍ය වෘත්තිකයින් සමග සාකච්ඡාකර විසඳාගත නොහැකි ගැටලු‍, ප්‍රශ්න කිසිවක් නොමැති බවත්, ඒ වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක කැපවීමට සූදානම් බවද පැවසීය.

කලින් පැවති රජයන්, කටයුතු කළ ආකාරයට නොව ජනතාවට, සෞඛ්‍ය වෘත්තිකයින්ට අවශ්‍ය ඕනෑම ගැටලු‍වක්, ප්‍රශ්නයක් වර්තමාන රජය සමග සාකච්ඡා කර විසඳාගැනීමට හැකියාව ති‌බෙන බවත්, එම සාකච්ඡාවලට රජයක් ලෙස ජනතාවගේ පැත්තේ සිට ගෙන විසඳුම් ලබාදෙන්නට ඕනෑම අවස්ථාවක සූදානම් බවද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේ ය.

ලක්ෂ එකහමාරක සෞඛ්‍ය බලඇණියක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන බවත්, ඔවුන්ගේ සේවාව මෙරටට අත්‍යවශ්‍ය බවද, එම පිරිස විශාල කාර්යභාරයක් උසුලමින් කටයුතු කරන බවද සිහිපත් කළ අමාත්‍යවරයා වාට්ටුවට, බාහිර රෝගී අංශයට, සායනයට, විවිධ දුෂ්කරතාවයන් සමග පැමිණෙන රෝගියා වෙනුවෙන් ඉහළම සත්කාරය ලබාදීම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වගකීමක්, යුතුකමක් බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකික වකුගඩු රෝග නිවාරණයට, පර්යේෂණයට වකුගඩු රෝගී ජනතාව වෙනුවෙන් අනගිභවනීය මෙහෙවරක් සිදුකළ විද්‍යාජෝති මහාචාර්ය රිස්වි ශෙරීෆ් මහතා මෙහිදී විශේෂ ඇගයීමකටද ලක්විය. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය මගින් මෙහිදී වකුගඩු රෝගීන්ට වියළි ආහාර මලු‍ 225 ක් බෙදා දීම, රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාරය සඳහා වවුචර්පත් ප්‍රදානය, වකුගඩු රෝගීන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය, වකුගඩු රෝගීන්ට ප්‍රවාහන දීමනා ලබා දීම, සෞඛ්‍ය ප්‍රතිලාභ හිමිකම් ගෙවීම, වකුගඩු බද්ධ කළ අය ඇගයීම, වකුගඩු සංගමයේ සුපින්වත් මෙහෙවරයන්ට දායක වූ සුපින්වතුන් ඇගයීම, වකුගඩු පුවත්පතේ 30 වන කලාපය එළි දැක්වීම වැනි සත්කාරයන්ද මෙහිදී සිදුකරන ලදී. ශ්‍රී ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය ලෙස 1987 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම සංගමය වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා ප්‍රධාන අනුශාසක ධූරයට පත්වීමෙන් පසු 2012 වර්ෂයේදී සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය ලෙස පරිවර්ථනය වූ අතර මෙරට වකුගඩු රෝගීන්ට විශාල මෙහෙවරක් එම සංගමය මගින් සිදු කරනු ලබයි.

මෙම අවස්ථාවට ආචාර්ය රවින්ද්‍ර රන්දෙනිය, ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න, ෆර්නි රෝෂිනී, දයාන් විතාරණ, ප්‍රදීපා ධර්මදාස, චරිතා ප්‍රියදර්ශනී පීරිස් වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ, බණ්ඩාර ඇහැලියගොඩ හා සේන නන්දවීර යන මහත්ම මහත්මීන්ද විද්වතුන්, කලාකරුවන්, වකුගඩු රෝගී ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


advertistmentadvertistment