රෝග දුරස් කළ බෞද්ධ චාරිත‍්‍ර

271

කලකට පෙර ඇමෙරිකාවේ ජනාධිපතිව සිටි ට‍්‍රැමන් මහතා විශාල පිරිසකට අතට අතදීමෙන් රෝගාතුර විය. එවිට එහි උසස් වෛද්‍යවරයන් කීවේ ‘අතට අත දීමේ සිරිත අත්හරින්නට දැන් කාලය පැමිණ තිබේ’’ යනුයි.

 මෙකල සිංහල බෞද්ධයන්ගේ අමුත්තන්  පිළිගැනීම දෙයාකාර වී තිබේ. නියම සිංහල බෞද්ධ ක‍්‍රමය අතරට යුරෝපීයයන්ගේ පැමිණීමෙන් ඔවුන්ගේ පිළිගැනීම ක‍්‍රමය ද පුරුදුවීමෙනි. යුරෝපීය ක‍්‍රමය අනුගමනය කරන්නෝ තුති මතින් ඔවුනොවුන් සිප ගැනීමෙන් හා බහුල වශයෙන් අතට අත දීමෙන් පිළිගනිති. නියම සිංහල බෞද්ධයෝ තවමත් පුරාණ චාරිත‍්‍රානුකූලව ආයුබෝවන් කියා අත්දෙක එකතු කොට පපුව වෙතට ගැනීමෙන් පිළිගනිති.

රෝග දුරස් කළ බෞද්ධ චාරිත‍්‍ර

කවර රටෙක කවර කෙනකුගේ වුවද හොඳ සිරිත් පිළිගත යුතුය. නරක සිරිත් හල යුතුය. එහෙත්, තමන්ගේ වටිනා දේ පවා පැරණියැයි අත්හැරීමටත් අනුන්ගේ දේ පරීක්‍ෂා නොකොට නිකම්ම භාර

 ගැනීමවත් සුදුසු නැත. ඒ නිසා හැම දෙයක්ම හොඳට පරීක්‍ෂා කොට බලා පිළිගැනීම හා අත්හැරීම කළ යුතුය. එසේ නම් මේ පිළිගැනීම් ක‍්‍රම දෙකෙන් කවරක් වඩා සුදුසුදැයි සලකා බැලිය යුතුවේ.

 චාරිත‍්‍ර ආගම හා සම්බන්ධ බැවින් යම් චාරිත‍්‍රයක් ගැන සලකා බැලීමෙහිදී තමන් අදහන ආගම අනුවද බැලිය යුතුය. එසේම සනීපාරක්‍ෂාවට හා පිටතින් සිට බලන්නකුට ඇතිවන හැඟීම අනුවද බැලිය යුතුය.

 යුරෝපීය පිළිගැනීම් ක‍්‍රමයක් වන ඔවුනොවුන් සිප ගැනීම නම් බුද්ධාගමේ හැටියට කිසිසේත් හරියැයි කිව නොහේ. සිත කෙලෙසීමට ඉතා පහසු මාර්ගයක් වන බැවිනි. එසේම අතට අත දීමද එතරම් සුදුසු බවක් නොපෙනේ. එයිනුදු සිත් කෙලෙසීමට ඉඩ ඇති හෙයිනි. එබඳු පිළිගැනීම් ක‍්‍රම එකවරට මෑ පව්යයි නොකිය හැකි වෙතත් සිත කෙලෙසීම ආදියෙන් පව් සිදුවීමටත් පසුව භයානක විපත්ති වලට උපනිඃශ‍්‍රය වීමටත් ඉඩ තිබේ.

 ස්ත‍්‍රියකට පුරුෂයකුගේත් පුරුෂයකුට ස්ත‍්‍රියකගේත් ස්පර්ශය චිත්ත දූෂණයට අතිශයින්ම උපකාර වේ. එබඳු ස්පර්ශයෙන් හට ගත් සිත් කැළඹීම් සංසිඳුවා ගතනොහැකිව විපත්තියට පත් වූවන්ගේ සංඛ්‍යාවද අඩු නොවේ. ඉන්ද්‍රියයන් පිනවීම ජීවිතයේ පරමාර්ථය කොට ඇති යුරෝපීයයනට එය සුදුසු වූවත් කාමයන්ගෙන් නික්මීමේ පරමාර්ථයක් ඇති බෞද්ධයන්ට නම් එය සුදුසු නෙවේ.

 සනීපාරක්‍ෂාව අනුව සලකා බලන විටද සුදුසු බවක් කිව නොහැකිය. දෙදෙනාගෙන් කෙනකුට බෝවෙන රෝගයක් තිබුණොත් අතට අත දීමේදී ඇතිවන ස්පර්ෂයෙන් රෝග බීජ මාරුවී ලෙඩ නැති අයටද භයානක නින්දිත රෝග හටගන්නට ඉඩ තිබේ. එබඳු පිළිගැනීමකට පෙර ‘‘ඔබට බෝවෙන රෝගයක් තිබෙනවාදැ’’යි අසන සිරිතක් නැත. ඒ නිසා සනීපාරක්‍ෂාව අනුවද එය හොඳ නැතැයි කිව යුතුය.

 කලකට පෙර ඇමෙරිකාවේ ජනාධිපතිව සිටි ට‍්‍රැමන් මහතා විශාල පිරිසකට අතට අතදීමෙන් රෝගාතුර විය. එවිට එහි උසස් වෛද්‍යවරයන් කීවේ ‘අතට අත දීමේ සිරිත අත්හරින්නට දැන් කාලය පැමිණ තිබේ’’ යනුයි.

 එපමණකුත් නොව ඔවුනොවුන්ගේ අත් අල්ලා මිරිකා ටිකක් වැනීමෙන් බැහැර සිට බලාසිටින්නකුට අමුතු හැඟීමක්ද ඇතිවේ.

 එහෙත් නියම සිංහල බෞද්ධ ක‍්‍රමයට අත් දෙක එකතු කොට පපුව වෙතට ගෙන ‘‘ආයුබෝවන්’’ කියා පිළිගැනීම ගැන ආගමානුකූලව පමණක් නොව සනීපාරක්‍ෂාව අනුවද කිසිම වරදක් කිව නොහැකියි. එය බලාසිටින්නකුටද ඇති වන්නේ වෛරාග්‍ය සංසුන් අදහස්ය. මේ ක‍්‍රමයට රැජිනිය හෝ පිළිගැනීමේදී දෙකට තුනට නැමී හෝ පාමුල වැතිරී හෝ හීන දීන භාවයක් දක්වන්නට වුවමනා නොවේ. දහස් ගණනක් වුවද කාලය නාස්ති කිරීමක්වත් පීඩා වි`දීමක්වත් නැතිව එක වරට ඉතා ගෞරවයෙන් පිළිගත හැකිය.

 සිංහල බෞද්ධයනි, වටිනාකම නොදැනීමෙන් අපේ ඉතා වැදගත් සිරිත් අත්හැරී යුරෝපීය සිරිත් අනුගමනය කිරීම සම්පූර්ණයෙන් අත්හැරීමට දැන් කාලය පැමිණ තිබේ. එහෙයින් සිංහලයන් හෝ ආසියාතිකයන් හෝ පිළිගැනීමේදී අතට අත නොදෙන්නටත් අපේ ශිෂ්ටාචාරය අනුව ‘ආයුබෝවන්’ කියා පිළිගන්නටත් තරයේම ඉටා ගත යුතුය.

 මෙම ලිපිය බම්බලපිටිය වජිරාරාමයෙන් 1954 ප‍්‍රකාශයට පත් කළ ‘‘බෞද්ධ ළමයා’’ සගරාවේ පළවූවකි. එතරම් ඈත කාලයක මෙම ලිපියෙන් පෙන්වා දුන් කරුණුවල සර්වකාලීන වටිනාකම ඔබට වැටහේ. එවක එම පුද බිමේ විහාරාධිපතිව වැඩ විසුවේ අපවත්වී වදාළ අතිපූජනීය පැළෑනේ වජිරඥාණ මහ නාහිමිපාණන්ය. අති පූජ්‍ය මඩිහේ පඤාසීහ මහනාහිමියන් ඇතුළු එවකට මහ සංඝරත්නයද එම සගරාවට ධර්ම ශාස්ත‍්‍රීය ලිපි සම්පාදනය කර තිබේ.

 සම්පාදනය කළේ  කළ්‍යානී පී. නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment