රෝග සුව කරන මුවාවෙන් කෝටිපති නිවසකට සුද්දයක් දුන් යකැදුරු අල්ලයි

435

විශ්ව බලයෙන් රෝග සුව කරන මහා බලයක් ඇතැයි පවසමින් පුරා පැය හයකට ආසන්න කාලයක් නිවසේ විදුලිය විසන්ධි කර කෝටිපති ව්‍යාපාරික නිවැසියන් මුළාකර රුපියල් ලක්ෂ දහයකට ආසන්න රන් භාණ්ඩ ඇතුළු දේපල වංචා කළ යකැදුරෙකු පන්නිපිටිය ඇරැව්වලදී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

තලවතුගොඩ හෝකන්දර ප‍්‍රදේශයේ පුද්ගලයකු මිතුරෙකු මාර්ගයෙන් මෙම වංචාකාරී පුද්ගලයා හඳුනාගෙන ඇති අතර රෝගීව සිටින ව්‍යාපාරික පියාව සුවපත් කිරීමේ අරමුණින් පන්නිපිටිය ඇරැව්වල ප‍්‍රදේශයේ පවත්වාගෙන යන දේවාලය කරා මිතුරා හා මව සමග මීට මාස කීපයකට පෙර ගොස් තිබූ බව පොලිසිය කියයි.

එහිදී ශාන්තිකර්මය කිරීම සඳහා රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදලක් ඉල්ලා ඇති අතර ව්‍යාපාරික නිවැසියන් ඒ මොහොතේම රුපියල් 58,000 ක අත්තිකාරම් මුදලක් ලබාදී තිබූ බව පොලිසිය කියයි.

ඉකුත් මැයි මස විසි දෙවැනි දින ශාන්තිකර්මය කිරීම සඳහා සැකකාර යකැදුරා කාලි මෑණියන් ආරූඪ වන බව කියන ඔහුගේ නැගණිය ඇතුළු මව හා පියා ද සමග හෝකන්දර නිවසට ගොස් තිබූ අතර නිවසට ගොස් මද වේලාවක දී ව්‍යාපාරික පුතුට වතුර වීදුරුවක් බොන්නට සලස්වා තිබූ බව පොලිසිය කියයි.

මද වේලාවකින් ඔහුට සිහිය නැතිවී ඇති අතර වේවැලෙන් පහර දෙමින් තාත්තාට යකෙක් වැහිලා ඉන්නවා යැයි පවසමින් වරින් වර පැය භාගයකට ආසන්න කාලයක් පහරදී ඇති අතර, මද වේලාවකදී ව්‍යාපාරික පුතුට සිහිකල්පනාව ලැබී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සුදු පිරුවට ඇඳගත් සැකකාර යකැදුරා පන්දමක් දල්වා ගැනීමෙන් අනතුරුව දැන් නිවසේ විදුලිය විසන්ධි කරන ලෙසත් නිවැසියන්ට පවසා දෙමහල් නිවසේ පහළ මාලයේ කාමරයක් පාසා ගොස් අනතුරුව දෙමහල් නිවසේ උඩුමහලට ගොස් රෝගී පියා සිටින කාමරය වෙත ඇතුළු වී තිබූ බව පොලිසිය කියයි.

ඒ මොහොතේ පියා පහළ මහලේ පුටුවක වාඩි වී සිට ඇතැයි පොලිසිය කියයි. ව්‍යාජ ආරූඪයක් මවාගත් යකැදුරා ත‍්‍රිශූලයක් දකුණු අතට ගෙන දල්වන ලද පන්දම වම් අතට ගෙන දැන් මට කාමරයේ තිබෙන අල්මාරිය විවෘත කරන්න අවසර දෙනවද? යැයි ව්‍යාපාරික බිරිඳගෙන් ආරූඪයෙන් අසා ඇය එයට කැමැත්ත ලබා දීමෙන් පසු අල්මාරියේ තිබෙන සියලූම රන් ආභරණ රෝගී පියා නිදාගත් ඇඳ මත සුදු පිරුවටයක් දමා ඒ මත දමන ලෙසත් නිවැසියන්ට පවසා තිබූ බව පොලිසිය කියයි.

රෝගීව සිටි කෝටිපති ව්‍යාපාරිකයා අසාධ්‍යව ඉකුත් අගෝස්තු විසිතුන් වෙනි දින මියගොස් තිබූ අතර ඒ සමගම යකැදුරා සම්බන්ධයෙන් තිබූ විශ්වාසය පලූදු වූ ව්‍යාපාරික නිවැසියන් තලංගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකාර යකැදුරා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා පැවසීය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී තමන් ලබාගත් පවුම් 6 යේ මුදුව උණුකර දේවාලයේ වහලය සකස් කළ බවත්, ව්‍යාපාරික නිවසින් රැගෙන ගිය බව කියන කරාඹු යුගලය බව පවසා කුඩා කරාඹු යුගලයක් පොලිසියට ලබාදුන් බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

21 හැවිරිදි යකැදුරා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

තලංගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති එස්. කේ. සේනාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්ෂිත, පොලිස් සැරයන්වරුන් වන (48874) රුවන් (56173) ජයතිස්ස පොලිස් කොස්තාපල්වරුන් වන (91469* ප‍්‍රවීණ (84768* කුමාර (85207) ඔබේසේකර යන මහත්වරු පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ
 

advertistmentadvertistment