රෝයල් එකට දුන්න රනිල්ගේ ගෙදර ගින්න

702

● වටිනා පොත් එකතුවක්
● වටිනා සිතුවම් සියල්ල විනාශයි

පසුගිය 9 වැනිදා ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ජන අරගලය සිදුවිණි. විය යුතු දේ මෙන්ම නොවිය යුතු දේ ද එදින සිදු වූ බව අපේ හැඟීමය. එහෙත් ඉන් අරගලය අත්පත් කරගත් ජයග්‍රහණවල බර හෑල්ලු කිරීමට අප උත්සාහ ගන්නේ නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පස්වන පටුමගේ පිහිටි අංක 117 නිවස ඉකුත් දා අරගලකරුවන් යැයි කියා ගන්නා පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරීම අපට අනුමත කළ නොහැක්කේ ඒ නිසාය. ඔවුන් ඒ විනාශ කළේ නැවත ගොඩ නැගිය නොහැකි ඉතිහාසයකි. මේ වික්‍රමසිංහ පවුලට ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව නොවන්නේය. ඔහුගේ පියා දේශපාලනය කරන කාලයේදීද මෙලෙසම ඔහුගේ මහ ගෙදරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූවේය.

අගමැති රනිල්ට මේ නිවස තනා දෙන්නේ ඔහුගේ මෑණියන් වන නාලනී වික්‍රමසිංහ මහත්මිය විසිනි. ඇයට මෙම ඉඩම හිමිවන්නේ ඇගේ පියාගෙනි. නාලනී වික්‍රමසිංහගේ පියා දොන් රිචඩ් විජයවර්ධනය. එනම් ඩී. ආර්. විජයවර්ධනය. විජයවර්ධන පරපුර පැවැත එන්නේ තුඩුගල මද්දුමරාලගෙනි. ඔහු සීතාවක රාජසිංහ රජුගේ ප්‍රධාන සෙන්පතියෙකි. විජයවර්ධන නාමය උරුම වන්නේ ඔහු දක්ෂ යුදකාමියෙකු වූ බැවිනි.

ඔවුන් පසුව කොළඹ ඉඩම් හිමි වැවිලිකරුවෝ වූහ. කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි අක්කරයක පමණ භූමිය මිලදී ගන්නේ තුඩුගල ඩෙප් විජයවර්ධන විසිනි. වැවගේ සොෆියා ඩෙප් වීරසිංහ වූවේ ඩී. ආර් විජයවර්ධනගේ මෑණියන්ය. ඇය විසින් සේදවත්ත ප්‍රදේශයේ ඉඩමක් මිලදීගෙන වලව්වක් ඉදි කළේය. ඩී. ආර්. විජයවර්ධන ලේක්හවුස් ආයතනය ආරම්භ කරද්දී ඊට නම යේදීම කතාව නිර්මාණය වන්නේ ද වැවගේ යන වාසගම මූලික කරගනිමිනි. වැවගේ ලේක් හවුස් විය.

රෝයල් එකට දුන්න රනිල්ගේ ගෙදර ගින්න

පරපුරෙන් පරපුරට ආ පස්වන පටුමගේ ඉඩමෙන් පර්චස් 80 ක් ඩී. ආර්. විජයවර්ධන විසින් සිය වැඩිමල් දියණිය වූ නාලනී වික්‍රමසිංහට ලියා දෙන්නේ 1944 දී ය. ඩී. ආර්. විජයවර්ධන 1944 ඔක්තෝබර් මස 19 දා තම දියණියට මෙම පර්චස් 80 ක බිම් කැබැල්ල පවරන අවස්ථාවේ එහි තක්සේරු වටිනාකම වූවේ රුපියල් 60,000 කි.

සේදවත්ත වලව්වේ සිටි ඩී. ආර්. පසුව කොල්ලුපිටිය ශ්‍රී රම්‍යා නිවස මිලදී ගන්නේය. පෞද්ගලික වෙරළක් හිමි එකම ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඩී. ආර් ය. ඊට හේතුව ‘ශ්‍රී රම්‍යා’ නිවස සමඟ ඔහු වෙරළ තීරයත් මිලදී ගැනීම නිසාය. පසුව ‘ශ්‍රී රම්‍යා’ නිවස ඇමරිකනු මධ්‍යස්ථානය වෙත විකුණා කොළඹ 02 බේබෲක් පෙදෙසට පැමිණෙන්නේය.

ඩී. ආර්. විජයවර්ධන සිය දේපළ බෙදා දීමේදී වැඩිමහල් දියණියට පවරන්නේ කොල්ලුපිටිය 05 වන පටුමගේ පිහිටි ඉඩමය. එම නිවස ඩී. ආර්. විජයවර්ධන විසින් සිය දියණිය වෙනුවෙන් ඉදිකර දෙන ලද්දකි. විවාහයෙන් පසු එහි ප්‍රතිසංස්කරණ රැසක් කළේ මේ දෙපළ එකතුවීමෙන් පසුවය. ඇය විවාහ වන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහ සමඟය. ඔහුගේ පියා ලංකාවේ පළමු දිසාපතිවරයා වන සී. එල්. වික්‍රමසිංහය. ඩී. එස්. සේනානායක අගමැතිවරයා සමඟ එක්ව ගොවිජනපද ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඔහුය.

වික්‍රමසිංහ පරම්පරාව පැවැත එන්නේ විජයබාහු රාජපරම්පරාවේ සිටය. ඔවුන් වඩාත් ප්‍රසිද්ධ වන්නේ සීතාවක රාජසිංහ රජසමයේ සිටි වික්‍රමසිංහ සෙනවියා නිසාවෙනි. ඉතා දක්ෂ සටන්කාමියෙකු වූ වික්‍රමසිංහ සෙනවි පසුව රාජසිංහ රජු විසින් වසදී මරා දමන්නේ ඔහුට විරුද්ධව පිරිසක් රජුට ගතු කීම නිසාවෙනි.

එම පරම්පාරාවෙන් පැමිණි වික්‍රමසිංහ පරපුර දේශපාලනයට සම්බන්ධ වෙන්නේ සී. එල්. වික්‍රමසිංහ දිසාපතිවරයා හරහාය. සී. එල්. වික්‍රමසිංහගේ පුතු වන එස්මන්ඩ් වික්‍රමසිංහ විවාහ වන්නේ ඩී. ආර්. විජයවර්ධනගේ වැඩිමහලු දියණිය වන නාලනී විජයවර්ධන සමගය.

විවාහයෙන් පසු ඔවුන් පදිංචියට යන්නේ තිඹිරිගස්යාය කස්සප පාරේ පිහිටි ඔවුන්ගේ නිවස වෙතය. පසුව ඔවුන් නාලනීට සිය පියාගෙන් 1936 වර්ෂයේදී ලැබුණු ඉඩමේ නිවසක් තැනීමට සැලසුම් කළේ විවාහ වී ටික කාලයකට පසුවය. ඔවුන් එය බාර දුන්නේ එඩ්වඩ් රීඩ් ඇන්ඩ් බෙග් (Edward Reid and Begg) ගොඩනැගිලි නිර්මාණ සමාගම වෙතය. ඒ වන විටත් ජෙෆ්රි බාවා එහි ආධුනිකයෙකු ලෙස සේවය කරමින් සිටියේය.

රෝයල් එකට දුන්න රනිල්ගේ ගෙදර ගින්න

ශාන් වික්‍රමසිංහ, රනිල් වික්‍රමසිංහ උපත ලබන්නේ කස්සප පාරේ නිවසේදී ය. නිරාජ් වික්‍රමසිංහ, ක්ෂනිකා වික්‍රමසිංහ හා චන්න වික්‍රමසිංහ උපත ලබන්නේ එස්මන්ඩ් හා නලනී අලුතින් සෑදු පස්වන පටුමගේ නිවසේ දී ය. දරුවන් වැඩිමහලු වෙද්දී නාලනී හා එස්මන්ඩ් දෙපල ඔවුන්ට දේපළ පවරා දීමට කටයුතු කළේ 1970 දශකයේය. ඒ 1972 ඔක්තෝබර් මස 22 දා ය. ශාන් වික්‍රමසිංහ කොළඹ පදිංචියට අකමැති වූවෙන් ඔහුට රත්මලාන ප්‍රදේශයේ පිහිටි ඔවුන්ට අයත් ඉඩමක් පවරා දුන්නේය.

නිරාජ්ට හා රනිල්ට පර්චස් 20 බැගින් වූ කොටස් දෙකක් බෙදා දුන්නේය. ඩී. ආර්. විජයවර්ධන පවුල සතුව තිබූ ලේක්හවුස් ආයතනය මැතිනිය විසින් පවරා ගත්තේ මේ කාලයේදී ය. පසුව ජේ. ආර්. ජයවර්ධන බලයට පැමිණි පසු ලේක්හවුස් ආයතනය නැවත විජයවර්ධන පවුල වෙත පවරණු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළත් එය ඉටු වූවේ නැත. නමුත් නාලනී – එස්මන්ඩ් දෙපල තමන්ගේ උරුමය ලෙහෙසියෙන් අතහැරීමට සූදානම් නොවූහ.

ඔවුන් දෙපළගේ සටනේ ප්‍රතිඵලය වූවේ රජය විසින් තක්සේරු කරන ලද වන්දි මුදලක් හා මහාභාරකරු වෙත පැවරූ කොටසින් මුදලක් ගෙවීමට රජය එකඟ වීමය. නාලනී වික්‍රමසිංහ අම්මා ඉඩම පැවරුවද රනිල් පුතා වෙනුවෙන් නිවසක් ඉදිවූවේ නැත. එහි පැවැතියේ රුක් ගොමුවකි. 70 – 77 කාලයේ ආහාර සීමා කළ යුගයක් උදා වූ අතර රනිල්ගේ කොටසේ අල, බතල, මඤ්ඤෝක්කා හා එළවළු වගා කරන වගා කොටුවක් ලෙස පවත්වාගෙන ගියේය. ඊට වතුර ලබා ගැනීම වෙනුවෙන් පොකුණක් ද එහි ඉදි කිරීමට පියවර ගෙන තිබුණි.

1980 දශකයේ මුල් භාගයේදී නිවස ඉදිකිරීම් කටයුතු ආරම්භ වූවේ නාලනී වික්‍රමසිංහට රජයෙන් ලැබුණු වන්දි මුදල යොදවාය. එහි ඉදිකිරීම් කටයුතු පැවරුණේ ලෝරන්ස් තුඩාවේ සමාගම වෙතය. ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියා වූවේ රංජිත් සමරසිංහය. ඉදිකිරීම් අවසානයේ ඔහු එම නිවසට පදිංචියට ගියේ මාපිය උරුමයෙන් ලද පෞරාණික ගෘහ භාණ්ඩ ද රැගෙනය.

එහිදී හෙලේනා විජයවර්ධන ළමාතැනියගෙන් ලැබුණු පියානෝවක් ද තිබුණි. පරම්පරාවෙන් ලැබුණු වසර 200 ක් පමණ පැරණි ඇඳක්ද තිබුණි. ඒ තුඩුගල විජයවර්ධන පරපුරෙන් හා වික්‍රමසිංහ පරපුරෙන් ලැබුණු උරුමයන්ය. ඔහුගේ නිවසේ තිබූ තවත් වසර 100 ක් පමණ පැරණි කළුවර ඇඳි පුටු දෙකක් ද තිබුණි. ඉන් එක් පුටුවක් ඓතිහාසික වටිනාකමක් උරුමකරගත් එකක් වූවේ රාජ්‍ය නායකයන් රැසක් එහි අසුන්ගෙන තිබීම නිසාවෙනි.

ඊ. ඩබ්ලිව්. ජයවර්ධන, ඩී. බී. ජයතිලක, ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන ප්‍රේමදාස, ඩී. බී විජේතුංග වැනි රාජ්‍ය නායකයන් අසුන්ගෙන තිබුණි. ඊට අමතරව එන්. එම්. පෙරේරා, සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නායකයන් ද එහි අසුන්ගත් බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කීවේය. එම ඓතිහාසික පුටු කට්ටලය ඔහුට ලැබී තිබුණේ ඩී. ආර්. විජයවර්ධන සීයාගෙනි.

එම පුටුවේ අත් වාරුව අබලන්ව තිබූ බැවින් අලුත් කලුවර අත් වැටක් ඊට යොදමු යැයි එය අලුත්වැඩියාවට පැමිණි වඩු බාස් කියා තිබුණි.

එහෙත් අලුත්වැඩියාවට අමතර යමක් එකතු කිරීමෙන් එහි පෞරාණිකත්වය නැති වෙන බව කියමින් අලුත්වැඩියාව පමණක් කරගත් බව එහි සේවකයෙකු කීවේය.
සිය පුස්තකාලයේ පොත් 2500 ක්\පමණ තිබූ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ නිවසේ තිබූ පොත්පත් ගැන අප කළ විමසීමේදී සඳහන් කළේය. ඔහු තවදුරටත් මෙසේ ද කීය.
“නීතිය හා සමාජය පිළිබඳ පොත් ගණනාවක් තිබුණා. ඒ වගේ පරණ පොත් පත් හුඟක් තිබුණා. අලුත් ඒවා තියෙනවා. සමහර ඒවයේ එම පොත ලියූ අයගේ අත්සන සහිත සටහනක් පැවැතියා. රූස්වෙල්ට් ජනාධිපතිතුමාගේ පොත් තුනේම එයාලා අත්සන් කරලා තිබුණා. කී සින්ගර් ජනාධිපතිතුමා අත්සන් කර දුන් පොත් තියෙනවා. 1902 සිට වැදගත් තොරතුරුවල විස්තර ඇතුළත් කරන ලද සී. ඩී 200 ක් පමණ තිබුණා.

මියුසික් සී. ඩී හා ඩී. වී. ඩී. ගණනාවක් තිබුණා. 1912 සිට අද දක්වා එක එක විදිහේ ගීත හා සංගීතය පටිගත කරන ලද වසර 100 ක් පමණ ඉපැරණි සංගීතය ඇතුළත් සී. ඩී. ගණනාවක් තිබුණා. සිංහල, හින්දි, බටහිර සංගීත තැටි මේ අතර විය. පැරණි වීඩියෝ පට ද තිබුණා.

1977 දේශපාලනයට පැමිණි කාලයේ සිට මැතිවරණය වෙනුවෙන් ලබාගත් ඡායාරූප ඇතුළත් සී. ඩී. පට ද තිබුණා. නිවසේ පහළ කොටසේ බුදු පිළිම 15 ක් පමණ තිබුණා. ඉහළ මාලයේ බුද්ධ ප්‍රතිමා 20 ක් පමණ තිබුණා. ඒ සියල්ල දැන් විනාශයි. ත්‍රිපිටකය, ධම්ම පදය සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පොත් තිබුණා. වැදගත් තොරතුරු ඇතුළත් ලිපි ගොනු ගණනාවක් තිබුණා. පරිශීලනය සඳහා ගෙනාපු ලිපි ගොනුත් තිබුණා. ඉතිහාසය ගැන තොරතුරු ඇතුළත් ලිපි ගොනුත් ගණනාවක් තිබුණා. ඒ ඔක්කොම දැන් විනාශයි.

ඡායාරූප වගේම පින්තූර ගණනාවක් තිබුණා. පස්වග මහනුන් නිරූපණය කෙරෙන රෙද්දෙන් වියපු ඉපැරණි සංරක්ෂිත පින්තූරයක් තිබුණා. ගෘහ භාණ්ඩත් අලුතෙන් ගත්ත ඒවා තිබුණේ ස්වල්පයයි. අනෙක් සියලු දේ මට පරම්පරාවෙන් ලැබුණු දේවල්. ඒ වගේම තවත් ඓතිහාසික පියනෝවක් ද තිබුණා. එය 1900 දී පමණ මගේ ආච්චිගේ මෑධෑයන් විසින් මිලදී ගත් එකක්. ඒ වගේම තුඩුගල පරම්පරාවෙන් ලැබුණු වසර 200 ක් ඉපැරණි ඇඳක් තිබුණා. මේවා කෞතුකාගාරයකට පවරන්න තිබුණ භාණ්ඩ. තිබුණ පොත්වලින් කොටසක් රාජකීය විද්‍යාලයට දෙන්න මායි මෛත්‍රීයි කතා කරගෙන හිටියා. ඕලන්ද කාලේ පොත් තිබුණා. පෝල් ඊ පීරිස්ගේ පොත් 50 ක් 60 ක් පමණ තිබුණා. අපි කතාවෙලා තිබුණේ ඒවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට දෙන්න. තවත් පොත් ටිකක් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න සැලසුම් කරලා තිබුණා.

මට තියෙන එකම කනගාටුව අනාගත පරම්පරාවට උරුම වෙන්න තිබුණ වටිනා ඓතිහාසික පොත්පත් විනාශ වෙච්ච එක ගැනයි. 1932 දී හිට්ලර් පොත් පුච්චලා තමයි ගමන ආරම්භ කළේ. මෙවරත් වුණේ එවැනි දෙයක්.” අගමැතිවරයා කීවේ කම්පා වූ නමුත් උපේක්ෂවෙනි. 2020 මහමැතිවරණය පරාජයත් සමඟ ඔහු පොතක් ලිවීමට පටන් ගත්තේය. ‘අග්නිදිග ආසියාවේ දේශපාලන හැසිරීම’ එම පොතේ අන්තර්ගත විෂයය විය. දැන් එහි අත්පිටපත පවා විනාශ වී ගොසිනි. යුගයක් සනිටුහන් කිරීමට අවශ්‍යය. සියලු දේපළ විනාශය. මිල මුදල් හම්බකරගත හැකිවුවත් ඔහු එකතුකරගත් දේ නැවත ලබා ගැනීමට නොහැකි බව අගමැතිවරයා කීවේපෙර උපේක්ෂා සහගතබව මදකුදු වෙනසක් නැතිවය.

advertistmentadvertistment
advertistmentadvertistment