ඉන්දියාවේ හමුදාව ලංකාවට ඇවිත් කරපු මොකක් ද මේ යුද අභ්‍යාසය?
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෙරට සිටින පුහුණුවලත් විනය ගරුකම ශ්‍රම බළකාය යි. එය රටට දැවැන්ත ශක්තියකි. රටේ ඕනෑම හදිසි අවශ්‍යතාවයක දී ඉදිරියට එන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දෙවරක් සිතන්නේ නැත. හදිසි ආපදා තත්ත්වයේ දී හෝ වෙනත් ඕනෑම අවස්ථාවක දී මෙන්ම කොරෝනා වෛරසයට එරෙහි වැඩසටහන්වලදී, එන්නත්කරණයේදී යුද්ධ හමුදාව පෙරට එන්නේ මනා පුහුණුව නිසාය. ඒ සියලු කාර්යන්වල දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය පුහුණුවේ විශිෂ්ටත්වය සෑම අවස්ථාවක දීම ඔප්පු කර පෙන්වා ඇත. එහි හොඳම උදාහරණය කොවිඩ් වෛරසය මෙරට පැතිර යෑම වැළැක්වීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයි.
විශේෂයෙන්ම සිය ප්‍රාථමික කාර්ය වන ජාතිය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යුද්ධයක් නොමැති අවස්ථාවකදී වුවද ජාතික ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් යාවත්කාලීනව පුහුණුවක් ලැබිය යුතුව ඇත. එම පුහුණුව භූමියේ සංග්‍රාමික කාර්යන්වලින් ඔබ්බට ගොස් සයිබර් ආරක්ෂණ කටයුතු දක්වා මේ වනවිට පුළුල් වී ඇත.
මේ වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දේශීය මෙන්ම විදේශීය පුහුණුවීම් ද රැසක් සංවිධානය කරනු ලබයි. හර්මතාන් යුද අභ්‍යාසය එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා මෙරටින් පිටත්ව යන භට පිරිස් වෙනුවෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂී පුහුණු අභ්‍යාසයකි.
මිත්‍ර රටවල් රැසක සහභාගීත්වයෙන් පාබල, විශේෂ බළකා සහ කොමාන්ඩෝ භට පිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරන දියකාවා යුද අභ්‍යාසය මෙරට මේ වනවිට ක්‍රියාත්මක කරන සුවිශේෂීම මෙන්ම විශාලතම යුද්ධ අභ්‍යාසය වේ. පසුගියවර පැවැති දියකාවා යුද අභ්‍යාසයට ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින සහ ඕමානය යන රටවල සෙබළුන් සහභාගී වූහ. මෙහි සුවිශේෂීම කාරණය වන්නේ යුද ගුවන් සහ නාවික යන ත්‍රිවිධ හමුදාවන් මෙම අභ්‍යාසයට එක්වීමයි.
මීට අමතරව පකිස්තානු යුද්ධ හමුදා භට පිරිස් සහභාගීත්වයෙන් Shake Hands යුද අභ්‍යාසය ද ක්‍රියාත්මකය. දෙරට අතර ද්වීපාර්ශ්වික හා මිත්‍ර සබඳතා වර්ධනය කරමින් පවත්වන මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය දෙරටේ ම හමුදාවන්ට ලබාදෙන යුදමය දැනුම අතිවිශාලය.
එමෙන්ම කලාපීය බලවත් රාජ්‍යයක් වන ඉදියානු යුද්ධ හමුදා භට පිරිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත් වුණ 10 වන මිත්‍ර ශක්ති යුද පුහුණු අභ්‍යාසය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ 59 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 10 වන මිත්‍ර ශක්ති යුද පුහුණු අභ්‍යාස අධ්යක්ෂ මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගමගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත් විණ.
2012 වර්ෂයේ සිට පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය මෙවර පැවැත්වුණේ දස වන වතාවටය. ‘මිත්‍ර ශක්ති’ යුද පුහුණු අභ්‍යාසයට සහභාගී වීම සඳහා කර්නල් රවීන්ද්‍ර අහලවගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දියානු භට කණ්ඩායම පසුගිය අගෝස්තු මස 12 වැනි දින දිවයිනට පැමිණියහ. මෙම අභ්‍යාසය ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් සමග මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී පැවැත්විණ. පුරා සති දෙකක කාලයක් පැවැත්වුණ අභ්‍යාසය සඳහා ඉන්දීය යුද්ධ හමුදා භටයන් 106දෙනකු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 120ක භටපිරිසක් සහභාගී වූහ.
මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අරමුණ වනුයේ යුද උපක්‍රම පිළිබඳව දෙරට අතර ඇති දැනුම හුවමාරු කර ගැනීමයි. මෙවර මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා ඉන්දීය යුද්ධ හමුදාවේ රාජ්පුට් රෙජිමේන්තුවේ භට පිරිස් සහභාගී වූහ. මෙවර අඛණ්ඩව දසවන වරට පැවැත්වුණ මෙම යුද අභ්‍යාසයේ නවවන අදියර ඉන්දියාවේ පූනේ අවුන්ඩ් ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරේ දී 2023 වර්ෂයේ දී පැවැත්විණ. ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 53 පාබල සේනාංකයේ භට පිරිස් සමගින් ඉන්දීය හමුදාවේ ජැට් සහ මරතා පාබල රෙජිමේන්තු භට පිරිස් සහභාගී වූහ.
මෙවර පැවැත්වුණ මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නගරබඳ සටන් පුහුණු ගම්මානය ආශ්‍රිතව පැවැත් වූ අතර එය නැරඹීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
යුද අභ්‍යාසයක් තුළින් යුද්ධ හමුදාවකට ලැබෙන දැනුම අතිමහත්ය. විශේෂයෙන්ම කලාපීය බලවත් රාජ්‍යයන්ගේ යුද්ධ හමුදාවන් සමග සිදුකරන යුද්ධ අභ්‍යාසයන් තුළින් ඕනෑම යුද්ධ හමුදාවකට සිය දැනුම යාවත්කාලීන කර ගැනීමට හැකියාව ලැබේ. යුද්ධ හමුදාව මේ සියලුම ආකාරයේ පුහුණුවන් තුළින් බලාපොරොත්තු වන්නේ ජාතියේ ආරක්ෂකයාගේ භූමිකාව සිය උපරිමයෙන්ම ඉටුකිරීමටයි. ඉන් රටට ලැබෙන්නේ සුළුපටු සේවයක් නොවේ. මන්ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතියේ ආරක්ෂකයන් වශයෙන් රටට කිසිවකුටත් නොදෙවෙනි සේවයක් ඉටුකරන නිසාය.
දිලංක ගුණතිලක