ලංකාවට කැබිනට් ඇමතිවරු 15ක් හොඳටම ඇතිඅපට වඩා ලොකු රටවල් දුවන්නෙත් අමාත්‍යාංශ හය හතකින්

155

වෙරිටේ රිසර්ච් කියන්න කලින් මේ ගැන විද්වතුන් වසර ගානක්ම කිව්වා

“පොකුරු අමාත්‍යාංශ” ක්‍රමය රටට ගැළපෙයි!

ඇමැතිකම් වැඩිවෙනකොට නොපනත්කම් වැඩි වෙයි!

වෙරිටේ රිසර්ච් ආයතනය මෑතකදී මෙරටේ රිසර්ච් ආයතනය මගින් කරන ලද විද්‍යාත්මක ගවේෂණයකදී ශ්‍රී ලංකාවට අමාත්‍යාංශ 15 ක් ප්‍රමාණවත් බව ධවල පත්‍රිකාවක් මගින් පෙන්වාදී ඇත. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයේදී මූලිකවම තිබිය යුතු පරිපාලනමය හා කළමනාකරණමය ඒකාග්‍රතාවය හා ඵලදායිතාවය අවම මීම සඳහා පවතින අමාත්‍ය මණ්ඩල සංයුතිය හේතු වන බව ආයතනය පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩල සංයුතිය සැකසීමේදී, එහි අනාර්කිත තාවයට බලපාන ප්‍රධාන හේතු 2 ක් ඔවුන් ගෙන හැර දක්වයි. ඉන් එක් කරුණක් වන්නේ බොහෝ සමාන විෂය කේන්ද්‍රයන් පවා බෙදා වෙන්කර තැබීමයි. දෙවන කාරණය වන්නේ බොහෝදුරට නොගැළපෙන විෂය ක්‍ෂේත්‍රයන් අමාත්‍යාංශවලට එකතු කිරීම මත ඇතිවන අවුල් සහගත තත්ත්වයයි.

● අවුලට හේතු

ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශ වෙන් කිරීම බොහෝදුරට විද්‍යාත්මක පදනම මත සකස් කරන බවට මැතිවරණවලදී පවා දෙනු ලබන පොරොන්දුවකි. මෙම පොරොන්දු මත කිසියම් දුරකට විද්‍යාත්මක ක්‍රමයකට අමාත්‍යාංශ විෂයන් බෙදීම සඳහා විද්වත් කමිටු ආදිය ද පත්කරනු ලබයි. රාජ්‍ය සේවයේ ඇතුළු පරිපාලනමය දැනුම සහිත නිලධාරීන් ද මේ සඳහා සහභාගි වේ. කෙසේ වුව ද මැතිවරණයකින් දිනූ පසු පත්කරපු ලබන්නේ අවුල් සහගත අමාත්‍ය මණ්ඩලයකි. එකට තිබිය යුතු බොහෝ විෂයන් වෙන් කිරීම හෝ ප්‍රමාණාත්මකව නොගැලපෙන විෂයන් බෙදා වෙන් කිරීම බොහෝදුරට දක්නට ලැබේ. විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයන් සකස් කරන බවට පොරොන්දු දී හාස්‍යජනක අමාත්‍ය මණ්ඩල නිර්මාණය කර ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රායෝගිකව දැකීමට හැකි අත්දැකීමයි.

මෙය බොහෝදුරට සිදුවනු ලබන්නේ විවිධ දේශපාලන පකෂ එකඟතාවයෙන් සකස්කරනු ලබන රජයන් යටතේ බිහිකරනු ලබන අමාත්‍ය මණ්ඩල සංයුතිය මගනි. ඒ ඒ කුඩා පක්ෂ විසින් ඉල්ලනු ලබන විෂය ක්‍ෂේත්‍රයන් එක්කොට දේශපාලන පක්ෂය හෝ අදාළ ඇමැතිවරයා සතුටු කිරීමට විෂයන් ඒකරාශි කර අමාත්‍යාංශ ගොඩනඟනු ලබයි. බොහෝදුරට රජය තුළම සිටින බලවත් අමාත්‍යවරුන් ඔවුන් විසින් ඉල්ලන විෂය ක්‍ෂේත්‍රයන් ඒකරාශි කොට අමාත්‍යාංශ ගොඩනගපු අවස්ථා ද දක්නට ලැබේ. යහපාලන රජයේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග එබදු අමාත්‍යාංශයකි. රාජ්‍ය පරිපාලන හා වනජීවී අමාත්‍යාංශය ලෙස ද එක්තරා අවස්ථාවක අමාත්‍යාංශ හඳුනාගැනීම සිදුකර තිබිණි.

යම් යම් විෂය ක්‍ෂේත්‍රවල පවතින ධාරිතාවය, රැකියා ලබාදීමේ වැඩි ඉඩකඩ මෙන්ම ආයතන මාර්ගවලින් මුදල් ඉපැයීම සඳහා පවතින ඉඩකඩ මත ද අමාත්‍යාංශ හඳුනා ගනී. දේශපාලන පක්ෂවලට වැඩි වාසි සහගත වන පරිදි රැකියා දීම හෝ පක්ෂ අරමුදල් තරකර ගැනීමද සමහරවිට හේතුවක් වේ. ස්වදේශ කටයුතු, සෞඛ්‍යය, අධ්‍යාපන ආදී අමාත්‍යාංශවලට වැඩිපුර සුළු සේවකයන් ඇතුළත් කිරීම සඳහා පවතින ඉඩකඩ, ප්‍රසම්පාදන කටයුතු ආදිය බහුල වීම ආදිය මත පවතින ආර්ථික ගනුදෙනු පිළිබඳව ද සැලකිල්ලක් දක්වන අමාත්‍ය තනතුරු අපේක්ෂිත බොහෝ අය තම නායකයා හරහා අදාළ අමාත්‍යාංශ ගැලපීම හෝ නොගැලපීම මත අල්ලා ගැනීමට උත්සාහ කරයි.

● සංවර්ධනයට බාධා?

අමාත්‍යාංශ විෂයයන් නොගැලපීම මත බොහෝදුරට සිදුවන්නේ රාජ්‍ය වියදම ඉහළ යෑමයි. පරිපාලනමය වශයෙන් නව ගොඩනැඟිලි ඉදිකිරීමට හෝ අලුතින් කුලියට ගැනීම සඳහා යන වියදම බොහෝදුරට අති විශාලය. විෂයන් නොගැලපීම වරින්වර වෙනස් කිරීම මත පරිපාලන වියදම් කිහිප ආකාරයකින් ඉහළ යයි. නිලධාරීන්ගේ වෙනස්වීම්, එක් නිලධාරියකු වෙනුවට නිලධාරීන් ගණනාවක් යොදවා ගැනීම,

ගොඩනැඟිලි යාන වාහන ආදිය සඳහා යන අතිරේක වියදම්, කාර්යාල පරිපාලනය, කාර්යාල උපකරණ. ලිපි ද්‍රව්‍ය නැවත නැවත ලබා ගැනීමට යන වියදම ද වරින්වර සිදුකරන අමාත්‍යාංශ වෙනස්කම්වලදී ජනතාවට පැටවෙන වැය බරක් වේ.

මේ මගින් සිදුවන කළමනාකරණ බාධාවන් ද සැලකිය යුතු වේ. විෂයන් නොගැලපීම මත සම්බන්ධීකරණයේ ගැටලු, පරිපාලනයේ අධීක්ෂණයේ මෙන්ම තොරතුරු භාවිතය, විමර්ශනය, සමාලෝචනය ආදී කටයුතු සඳහා ද නොගැළපීම් මතුවීම මත වැය පාර්ශ්වය ඉහළ යෑම මෙන්ම අකාර්යක්ෂමතාවය හා නාස්තිය ඉහළ යෑම ද සිදු වේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන විෂයට සමාන්තරව ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන ආදී විෂයන් ද බොහෝදුරට ඒකාබද්ධව කටයුතු කිරීම වඩා ඵලදායි වේ. මේ සඳහා බොහෝ දුරට එක් අමාත්‍යවරයෙක් හා රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් පත් කළ හැක. ඉහළ නිලධාරීන් ලෙස එක් ලේකම්වරයකු යටතේ අතිරේක ලේකම්වරු කිහිප දෙනෙක් යටතේ ඇති විෂයන් ඒකාබද්ධව පරිපාලනය කිරීම කාර්යක්ෂමතාවය අතින් මෙන්ම වියදම් ඵලදායිතාවය අතින් ද වඩා යෝග්‍ය වේ. රාජ්‍ය පරිපාලන විෂය යටතේ පවතින බොහෝ මානව සම්පත් නියෝජනය කරනු ලබන ඒකාබද්ධ හා දීප ව්‍යාප්ත සේවාවන්වල නියුතු නිලධාරීන් වැඩි ප්‍රමාණයක් ස්වදේශ කටයුතු විෂය යටතේ සේවය කරයි. දීර්ඝ කාලයක් ස්වදේශ කටයුතු විෂය පාලනය වූයේ රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ස්වදේශ කටයුතු අතිරේක ලේකම්වරයකුගේ අධීක්ෂණය යටතේය. යහපාලන රජය යටතේ ස්වදේශ කටයුතු විෂය වෙනම අමාත්‍යාංශයක් කිරීම මත අධික වියදමකින් නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම, එක් අතිරේක ලේකම්වරයකු යටතේ සිදුවූ කාර්යය තවත් ලේකම්වරයකු හා අතිරේක ලේකම්වරු කිහිප දෙනෙක් යටතේ සිදුකිරීම එබඳු උදාහරණයකි. වියදම, කාලය, කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය ආදී කරුණු යටතේ කිසිදු විග්‍රහයක් අදාළ අමාත්‍යාංශ වෙනස් කිරීම්වලදී සලකා නොබැලිනි. එහිදී බොහෝදුරට දේශපාලනිකව රැකියා ලබාදීමේ ඉඩකඩ, ගොඩනැඟිලි ඉදිකිරීම් ආදී ප්‍රසම්පාදන කටයුතු අවභාවිතය මගින් අයථා ලාභ ලබාගැනීමේ අභිප්‍රායයන් ද ඇතුළත්ව පවතී.

● පොකුරු අමාත්‍යාංශ ක්‍රමය
(Cluster ministery)

සමරූපී විෂය කේන්ද්‍ර ඒකාබද්ධ කොට පොකුරු අමාත්‍යාංශ ක්‍රමය හඳුන්වා දෙන්නේ නම් වෙරිටේ ආයතනය පෙන්වාදී ඇති ක්‍රමවේදය වඩා ඵලදායිව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇත. සැබැවින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අමාත්‍යාංශ 30 ක් සකස් කිරීමේ ප්‍රතිපාදන ද සලකා එය තවත් අවම කරන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ආර්ථික හා පරිපාලන ගැටලුවලට සහනයක් වනු ඇත. පරිපාලනයට අදාළ සියලුම විෂයන් එකතු කොට ‘Governance’ – පරිපාලන පොකුරු අමාත්‍යාංශය සකස් කළ හැක. ඉඩම්, වාරිමාර්ග, කෘෂිකර්මය ආදී විෂය ක්‍ෂේත්‍රයන් එක්කොට එබඳු පර්ෂද අමාත්‍යාංශයන් හඳුනාගත හැක. නිවාස, නාගරික සංවර්ධන, යටිතල පහසුකම් ආදී විෂයන් එක්කොට එබඳු පර්ෂද අමාත්‍යාංශයන් හඳුනාගත හැක. වනජීවී, වන සම්පත්, පරිසර ආදී විෂයන් එක් කොට පරිසර පර්ෂද අමාත්‍යාංයක් බිහි කළ හැක.

පර්ෂද අමාත්‍යාංශ ක්‍රමය යටතේ වෙරිටේ ආයතනය පෙන්වාදී ඇති පරිදි අමාත්‍යාංශ ගණන බොහෝදුරට 15 දක්වා අවම කිරීමේ හැකියාව පිළිබඳ රජයේ අවධානය යොමුවීම කාලෝචිත වේ.

● Mini cabinet

(පර්ෂද අමාත්‍ය මණ්ඩල ක්‍රමය)

දකුණු කොරියාව සාර්ථක පර්ෂද අමාත්‍යාංශ ක්‍රමයක් තම පරිපාලනය සඳහා යොදාගෙන ඇත. සිංගප්පූරුව වැනි බොහෝ දියුණු රටවල පවතින අමාත්‍ය මණ්ඩල සංයුතිය ද ඉතා විද්‍යාත්මක වේ. පර්ෂද අමාත්‍යාංශ විසින් ඵසබස ක්‍්ඉසබැඑ හෙවත් පර්ෂද අමාත්‍ය මණ්ඩලයන් හඳුනා ගත හැක. මෙහිදී අදාළ පර්ෂදයට සිටින්නේ එක් කැබිනට් අමාත්‍යවරයෙකි. අනෙකුත් විෂයන් සඳහා විෂය භාර රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරු පත් කළ හැක. උදාහරණයක් ලෙස රාජ්‍ය පරිපාලන පර්ෂද අමාත්‍යාංශය යටතේ, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන, භාෂා හා සමාජ ඒකග්‍රතා ආදී විෂයන් සඳහා නියෝජ්‍ය හෝ විෂය භාර අමාත්‍යවරු කිහිප දෙනෙක් හඳුනාගත හැක. එම පර්ෂදයේ කැබිනට් අමාත්‍යවරයා අදාළ විෂය පිළිබඳ පරිණත හෝ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු විය යුතුය. අනෙකුත් විෂය භාර අමාත්‍යවරු ද එක් විෂයක් පිළිබඳ කිසියම් අත්දැකීම් හෝ දැනුම සහිත අය විය යුතුය. එම කණ්ඩායම කුඩා අමාත්‍ය මණ්ඩලයක් ලෙස ඒකාබද්ධව තම පර්ෂදයේ කටයුතු ක්‍රියාත්මක කිරීම පහසු මෙන්ම ඵලදායි ප්‍රවේශයකි. ප්‍රධාන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බොහෝ අමාත්‍ය මණ්ඩල සන්දේශ ඉතා හොඳින් අධ්‍යයනය කිරීමට හා ගැලපීම පිළිබඳ මූලික සංවාදයන් හා තීරණ ගැනීම මෙම ක්‍රමය යටතේ පහසුවනු ඇත. අදාළ පර්ෂදයට අදාළ ප්‍රතිපත්ති කළමනාකරණය, ප්‍රගති සමාලෝචනය පරිපාලනය ආදී බොහෝ කටයුතු මේ මගින් වඩා කාර්යක්ෂම කර ගැනීමේ හැකියාව පවතී.

● කළමනාකරණ පහසුව

ලංකාවට කැබිනට් ඇමතිවරු 15ක් හොඳටම ඇතිඅපට වඩා ලොකු රටවල් දුවන්නෙත් අමාත්‍යාංශ හය හතකින්

අදාළ විෂය ක්‍ෂේත්‍රයන් එක් ස්ථානවල හෝ වෙන වෙනම අමාත්‍යවරු යටතේ පැවතීම මත අවුල් වූ කළමනාකරණය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ගති ලක්ෂණයක් වී ඇත. එක් තැනකින් කර ගත හැකි බොහෝ කටයුතු මේ මගින් දේශපාලනමය ලෙස අවහිර වී ඇත. අදාළ විෂයට අදාළ එක් ලේකම්වරයකු යටතේ අතිරේක ලේකම්වරු ඒකාබද්ධව ක්‍රියා කිරීම මත පරිපාලනය හා කළමනාකරණ මෙන්ම තීරණ ගැනීම් ක්‍රියාවලිය ද පහසු කරනු ඇත.

එබඳු සමාන විෂය ක්‍ෂේත්‍රයන් යටතේ සකස් කෙරුණු අමාත්‍ය මණ්ඩල ක්‍රමයක් මගින් සංවර්ධන ක්‍රියාදාමය වඩා ශක්තිමත් හා නියමානුකූල පත්කර ගැනීමට ඉඩකඩ පවතී.

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩල ප්‍රමාණය විශාල වීම තුළ ගුණාත්මකභාවය පිරිහී ඇත්තේ බොහෝ දුරට නොගැළපීම මත වේ. එම තත්ත්වය යටතේ ප්‍රමාණය අවම කිරීම තුළ වඩා යහපත් ගුණාත්මක ප්‍රවේශයක් වෙත යොමුවීමේ ඉඩකඩ පවතී.

● ප්‍රතිඵලදායක හා ඉලක්ක ගත සැලසුම්කරණය

ශ්‍රී ලංකාවේ විවිධ මාර්ගවලින් අදාළ අමාත්‍යාංශ වෙත ලංකාවේ මූල්‍ය සම්පත් බොහෝදුරට පරිපාලන වියදම සඳහා වැය වේ. අමාත්‍යාංශ හෝ ආයතන ප්‍රමාණය වැඩි වුවත් ඒවා මගින් ඉටුවන සේවාවන්වල ප්‍රතිඵල සලකා බැලීමක් සිදු නොවේ. ලබාදී ඇති මූල්‍ය ප්‍රතිපාදන වියදම් කිරීමේ ප්‍රතිශය මත ප්‍රගතිය මැනීමේ අවිචාරවත් ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ අත්දැකීමට ඇත.

සහයෝගයට වඩා ආයතන අතර විරසක භාවයක් පවතී. විෂය නොගැළපීම මත නිලධාරීන් අතර ද විරසකභාවයන් ගොඩනැඟී ඇත. බොහෝ අමාත්‍යාංශවල හෝ ආයතනවල සංවර්ධන ඉලක්ක හෝ නිර්නායක නොපවතී. සමහරවිට ආයතනික හා විෂය ඒකාබද්ධ නොවීම තුළ ඒවා ගොඩනැඟීම් හැකියාව ද අවහිර වී ඇත. උදාහරණ ලෙස ඉඩම් විෂය හා කෘෂිකාර්මික විෂය වෙන්ව පැවතීම තුළ කෘෂිකාර්මික නිෂ්පාදනයට අදාළ නිර්නායක කළමනාකරණ කිරීම අපහසුවකි. සෑම අමාත්‍යාංශකටම ඉලක්ක සහගත නිර්නායක පවතින්නේ නම් ඒවා ඉටුකර ගැනීමට පර්ෂද අමාත්‍යාංශ ක්‍රමය පහසුවකි. විෂයයන් ඒකාබද්ධ වීම තුළ තීරණ ගැනීම පහසුවීම මත අදාළ ඉලක්ක වෙත ළඟා වීම සඳහා අදාළ වගකිව යුතු නිලධාරීන්ගේ වගවීම ශක්තිමත් කළ හැකිවනු ඇත. අදාළ පර්ෂද අමාත්‍යාංශ ලේකම්වරයා යටතේ ලබාදිය හැකි සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීම සඳහා අවශ්‍ය උපාය මාර්ග ශක්තිමත්ව ක්‍රියා කිරීමට මෙම ඒකාබද්ධතාවය අත්‍යවශ්‍ය ප්‍රතිශතයකි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ පසු විපරම් හා ඇගයීම් ප්‍රතිශතයන් ඉතා දුර්වල තත්ත්වයේ හෝ එබඳු ප්‍රවේශයන් නොමැති තරම්ය. කෙසේ වුව ද එබඳු ප්‍රතිශතයන් රාජ්‍ය පරිපාලනය සඳහා අවශ්‍ය වන්නේය. එවැනි ප්‍රතිශතයන් අවුල් සහගත හෝ නොගැළපෙන පරිපාලනයක් තුළ ගොඩනැඟීම අපහසු කරුණකි. දේශපාලකයා හා රාජ්‍ය නිලධාරියා ඒකාබද්ධව සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීමට පරිපාලනයේ පවතින නොගැළපීම් සඳහා විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය කාරණයකි. එසේ නොවන්නේ නම් කතාව දෝලාවෙන්, ගමන පයින් සංවර්ධනය තවත් ඉදිරියට යනු ඇත.

● බීරි අලින්ට වීනා වාදනය

ශ්‍රී ලංකාවේ දේශපාලකයාට හා ආණ්ඩුවලට විද්‍යාත්මකව වියදම් නොතේරීම කනගාටුවට කරුණකි. ඔවුන් බොහෝ දෙනෙක් නිදහසින් පසු ක්‍රියාකරන්නේ “දේශපාලනය, දේශපාලන සඳහාය” යන මතවාදය හා භාවිතය ඔස්සේය. දේශපාලනය හෝ දේශය පාලනය එම දේශය සංවර්ධනය කිරීම සඳහාය යන්න ඔවුන්ට නොවැටහේ. දේශපාලකයාගේ ප්‍රමුඛ අරමුණු දෙක වන්නේ ඊළඟ වතාවේ බලයට පත්වීම හා බලය ඇති කාලයේ හැකි පමණ මුදලක් උපයා ගැනීමයි. ඒ නිසා මෙබඳු ලිපි හෝ වෙරිටේ රිසර්ච් ආයතනයේ පෙන්වාදීම් ඔවුන්ගේ භාවිතාවෙන් බැහැර වේ. බලයට ඒමට පෙර විද්වතුන් සමග කටයුතු කරන දේශපාලනඥයා බලයට පැමිණි පසු විද්වතා පැත්තකට කිරීම හා එවැනි විසඳුම් සඳහා අවධානය යොමු නොකිරීම ශ්‍රී ලංකාවේ අභාග්‍යයේ පදනමයි. නිසි අමාත්‍යාංශයක් ඇතිව හෝ නැතිව ඊළඟ වතාවේ බලය ලබා ගැනීමේ හා බලය ඇති කාලයේ ධනය ලබා ගැනීම අරමුණ සමග විද්‍යාත්මක විසඳුම් හා පෙන්වාදීම් නිෂ්ඵල ව්‍යායාමයක් වනු ඇත.

ජිනසිරි දඩල්ලගේ

advertistmentadvertistment
advertistmentadvertistment