කුඩු ජාවාරම නතර කරන එක ලේසි නෑ
වගකිව යුතු ආයතනවලත් ජාවාරමට උදවු කරන අය ඉන්නවා
ඇබ්බැහියත් මානසික රෝගයක්
සමාජ විමර්ශන
ශ‍්‍රී ලංකාව තුළ හෙරොයින් නමැති අන්තරායකර මත්ද්‍රව්‍යය (කුඩු) ව්‍යාප්ත වන්නට පටන් ගෙන දැන් වසර හතලිහකට වඩා වැඩිය. ”70 දශකය ආරම්භයේ ඉතා සුළු වශයෙන් හිපි පන්නයේ විදේශිකයන් සහ ඒ ආශ‍්‍රිතයන් අතරත් රැකියා සඳහා නැව් නැග දේශ දේශාන්තරවල කරක් ගසා නැවත මව්බිම බලා ආ වෙළෙඳ නාවිකයන් අතරත් පමණක් පැවැති මේ හෙරොයින් භාවිතය ස්ථිර ලෙස අප රට තුළ ස්ථාපිත වන්නට වූයේ 1978 දී ජනපති ජේ. ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථික සංකල්පයෙන් පසුව බවට විවාදයක් නැත. 1978 සිට 2021 දක්වා දැනට වසර වසර 43 ක් ගතව ඇතත් එම ව්‍යසනයේ ශීඝ‍්‍ර වර්ධනයක් මිස අඩුවක් නම් කිසි කලක දකින්නට නොලැබුණි.
අප රටට හෙරොයින් පැමිණීමට පෙර වැඩිපුරම පැවැතියේ කංසා ශාකය ආශ‍්‍රිත නිශ්පාදන වන ගංජා, ගංජා මල් සහ ගංජා ඇසුරෙන් නිපදවන හෂීස් නමැති මත්ද්‍රව්‍යයි. එමෙන්ම පොපි ගසේ ගෙඩිය සූරා තුවාල කොට නිපදවන අබිං නමැති විෂ මත්ද්‍රව්‍යය ද කොළඹ, ගාල්ල, මාතර, ති‍්‍රකුණාමලය, මඩකලපුව, යාපනය, හලාවත, මීගමුව වැනි මුහුදුබඩ නගරවල සුළු වශයෙන් දකින්නට ලැබුණි. විශේෂයෙන්ම කොළඹ පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, මරියකඬේ, අලූත්කඬේ, කොච්චිකඬේ, ආදුරුප්පු වීදිය, කොටහේන වැනි තදාසන්න ප‍්‍රදේශ වල ජීවත්වුණු නොහොත් ගැවසුනු වරාය කම්කරුවන්, රේල් පීලි අලූත්වැඩියා කරන්නන්, පිටකොටුවේ මුට්ට කරගහන නාට්ටාමිවරුන්, නගරයේ අයාලේ සැරිසරන පාදඩයන් වැනි අඩු ආදායම් ලාභී ”පහත් පන්තියේ” යයි ලේබල් වුණු සමහර පිරිස් අතර මෙම අබිං භාවිතය පැවතුනි.
අද එයට වඩා තත්ත්වය බෙහෙවින් වෙනස් ය.
ගංජා අබිං හෂීස් හෙරොයින්වලට අමතරව කොකේන්, හෂීස්, අයිස් (මෙත්ඇම්පිටමින් නොහොත් ක‍්‍රිස්ටල් මෙත්) එල් එස් ඞී, ක‍්‍රැක්, ස්පීඞ්, මැන්ඩි හෙවත් ගැමා, කැක්ටස්, මැජික් මෂ්රූම්ස් වැනි විවිධ මත්ද්‍රව්‍යයන් අප රට ආක‍්‍රමණය කර ඇත. මේ අතරින් බහුතරයක් කෘත‍්‍රිමව නිපදවන අති විනාශකාරී මනස විකෘති කරන රසායනික මත්ද්‍රව්‍යයි. ඒවායේ ඇති සරණතාවය හෙවත් ඇබ්බැහිකාරි ගතිය ඉතා ඉහළ මට්ටමක පවතී.
මත් ඇබ්බැහිය යනු කල්පවතින නැවත නැවත යොමුවන සුව කිරීමට ඉතා අපහසු මොලයාශ‍්‍රීත ආබාධයක් වශයෙන් නිර්වචනය කළ හැක. (Addiction is a long lasting relapsing incurable chronic brain disease) එමෙන්ම වරක් ඇබ්බැහිවූවකු සැමදා ඇබ්බැහිවුවකු බවට ජාත්‍යන්තර මතයක් පවතී. (Once an Addict, Always an Addict) එහි අර්ථය සරලව ගත්තොත් ඉන් කියවෙන්නේ මතට ඇබ්බැහිවූවකු කිසිදා ඉන් නිදහස් නොවන බවයි.
සමහරුන් ඉහත නිර්වචනයන් නිර්දය ලෙස නොහොත් අලූයම ළුෑ කෙළ පිඩක් මෙන් ඉවත දමමින් ප‍්‍රතික්ෂේප කරන අතර තවත් අය මෙය ඉත සිතින්ම සත්‍ය බවට පිළිගනී. කෙසේ වෙතත් එකී ජාත්‍යන්තර විශාරදයන් අන්දුන් කරමින් සම්පූර්ණ ලෙස සියලූ මත්ද්‍රව්‍යවලින් නිදහස් වුණු අය අද ලොව පුරා සිය දහස් ගණනින් නිදහසේ ජීවත් වෙති.
මත්ද්‍රව්‍යයක් යනු …. ” කුුඩා හෝ ප‍්‍රමාණයක් ශරීරගත වූ විට මොලයේ සහ ශරීරයේ කිසියම් වෙනස්වීමක් ඇති කරන කෘතිම රසායනයක් හෝ ස්වභාවික සංඝටකයක්” වශයෙන් නිර්වචනය වෙයි.
කංසා, අබිං, හෙරොයින්, හෂීස්, කොකේන්, අයිස්, මෙත් ආදී එකී නොකී නම්වලින් ඇමතුවද මේ සියලූ මත්ද්‍රව්‍ය එකට ගොණු කොට ප‍්‍රධාන කාණ්ඩ පහකට බෙදා වෙන් කළ හැක. ඒ අවපීඩන උත්තේජක, මාදක, මනෝභ‍්‍රාන්තික සහ වෙනත් මත්ද්‍රව්‍ය වශයෙනි.
බොහෝ අය පිළිගන්නට අකමැති වුවද නීත්‍යානුකූලව බදු අය කර රාජ්‍ය අනුමැතිය ඇතිව අලෙවි කරන සිගරට්, බීඩි, සුරුට්ටු වැනි දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදනත් රා අරක්කු බීර විස්කි බ‍්‍රැන්ඩි වැනි මද්‍යසාරත් සෘජුවම මනසට බලපාන හානිදායක මත්ද්‍රව්‍යයන් වෙයි. දුම්කොළ ආශ‍්‍රිත නිෂ්පාදන නිසා මධ්‍ය ස්නායු පද්ධතිය උත්තේජන තත්ත්වයට පත්වෙන අතර මද්‍යසාර නිසා මධ්‍ය ස්නායු පද්ධතිය අවපීඩන තත්ත්වයට පත්වෙයි. විවිධ අන්දමට ශරීරගතවන මෙම සංඝටකයන්වල එක් උගුරකට, කුඩා දුම් පොදකට එක් වරකට මොළයේ ඇති ස්නායු මිලියන ගාණක් විනාශ කර දමන්නට හැකියාවක් ඇත.
මෙම සියලූ කරුණු කාරණා දැන දැනත් අදට ද අපේ තරුණ පරම්පරාව දිනපතා සිය ගණනින් මෙම මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹෙන්නේ කුප්පි ලාම්පුවේ චිමිනියට ඇදී පිලිස්සී විනාශ වෙන පළඟැටියන් මෙනි.
අද අලූත් පරම්පරාව මෙසේ දැන දැනම මත් භාවිතයට යොමු වුණ ද මත්ද්‍රව්‍ය යනු කුමක්ද ඉන් වන හානි මොනවාද යන්න ගැන මෙලෝ හසරක් නොදැන ඒ මොනවාදැයි බලන්නට ඇති වූ කුකුස හෝ කුතුහලය නිසාත් තම සමකාලීන මිතුරන්ගේ පෙළඹවීම සහ අසන්නට ලැබුණු මිථ්‍යා මත විශ්වාස නිසාත් හෙරොයින් මතට යොමු වුන පිරිසක්ද සිටී. ඒ මෙයට වසර හතලිහකට හතලිස් පහකට පෙර අනුන් කරන්නන් වාලේ කරන්නට ගොස් මතට ඇබ්බැහිවී අදටත් ඉන් මිදෙන්නට බැරිව වේදනා විඳින ජීවිතයේ සැඳෑ සමයේ වෙසෙන චමින්ද පන්තියේ මත්ලෝලීන්ය.
විවිධ කායික මානසික සහ සමාජීය ආබාධවලට ගොදුරුව ජීවිතයේ පැතිකඩ කීපයකින්ම වැටී දුකෙන් කල් ගෙවන මොවුන්ගේ කටුක අත්දැකීම් සහ සියැසින් අසා දැක ඇති දේ ගැන අප සජීවි විමර්ශනයක යෙදුනු අතර අද ඉන් බිඳක් පාඨක ඔබ හමුවේ තබන්නට කැමැත්තෙමි.
”මගේ නම පියරත්න වුණාට වැඩිදෙනෙක් දන්නෙ සීමන් පියා කීවමයි.”
ඔහු තම කටහඬ අවදි කළේ එසේය. සීමන් පියා 1970 ගණන්වලදී දකුණු පළාතේ ගමක සිට කොළඹ එන්නේ රස්සාවක් හොයා ගෙනයි එවිට ඔහු හිරිමල් තරුණයෙකි.
”මං කොළඹ කොටුවට කෝච්චියෙන් බැහැල එළියට ඇවිත් හතරවටේ බැලූවා. මාව නිකං කරකවල අතෑරියා වගේ වුණා. දන්න අඳුනන කවුරුත් නෑ. අමුතුම පරිසරයක්.. මං ඔහේ ඉබාගාතේ ඉස්ටේසම ඉස්සරහ තිබුණ මල්වත්ත පාර දිගේ ඇතුළට ඇවිදගෙන ගියා. මං දැනගෙන හිටියෙ නෑ ඒක නතර වෙන්නෙ වරාය ගාවින් කියල. වරාය ගේට්ටුව ගාවදි තමයි මට අලිය බීලිං අයියා මාට්ටු වුණෙ.”
50 සිට 80 දක්වා දක්වා කොළඹ පාතාල ලෝකයේ අඳුරු ඉතිහාසය ගැන දන්නා ඕනෑම අයෙකු මේ අලියා බිලිං නමැත්තාව ද හොඳින් දනී. වරායෙන් එළියට එන විදේශීය වෙළෙඳ නාවුකයන්ට ගණිකාවන් සපයන, නගරයට එන පාදඩයන්ට ගංජා අබිං අලෙවි කරන, ගණිකාවන් නපුංසකයන් සොයා රාත‍්‍රියේ අඳුරු විදීවලට එන සල්ලාලයන් පසෙකට ඇදගෙන ගොස් සුද්ද කරන නොහොත් ඔවුනට පොල්ල තියා මතක හිටින පාඩම් උගන්වන, ඉපැරණි ගෆූර් බිල්ඩිමේ බිම් මහලේ, වරාය ඉදිරියේ හම්බන්වැල්ලේ, මල්වත්ත පාරේ, රෙක්ලමේෂන් පාරේ නිතර දිවා ? සැරිසරණ මේ අලියා බීලිං කවුරුත් දන්නා පරිදි දැඩි ලෙස අබිංවලට ලොල් වූ පාතාලයේ සොල්දාදුවෙකි.
”මට කරන්න වෙන දෙයක් තිබුණෙ නෑ මහත්තයො මං එදා රෑ බිලිං අයිය එක්ක එයාගේ කොම්පඤ්ඤ වීදියේ ලෑලි කාමරයට ගියා. එදා ඉඳන් මගේ ගුරා එයා. මට ගංජ ඔතන්න, වාසි ගහන්න, (ගැට කපන්න) සුද්දන්ට මොත්තෙ තියන්න, සල්ලාලයන් සුද්ද කරන්න හොරෙන් වරායට රිංගල නැව්වලට බහින්න, ඒවායේ කැබින්වලට රිංගල පාර දෙන්න… ඔය ඔක්කොම ඉගැන්නුවෙ අලිය බිලිං. ඒ කාලෙ මං තමයි බිලිංගෙ හොඳම ගෝලය.”
මගේ ජීවිතේ වෙනස් වුණේ මං වරායට ආපු ඉන්දියන් නැවක නැගල හොරෙන් බොම්බෙට ගිහින් එතනින් කරච්චියට ඇදල ග‍්‍රීක් නැවකට නැග්ගට පස්සෙයි.
මං ඇතිවෙන්න සල්ලි හම්බ කළා, රට රටවල කෙල්ලො ගෑනු ගණිකාවො ආස්සරේ කළා. හොඳට කෑවා බීව විනෝද වුණා. ගෙදරට සල්ලි එව්වා. රටවල් තිස් ගාණකට විතර සේල් කළා මේ ඇෙඟ් කොටපු පච්ච ඔක්කොම ඒ ඒ රටවල් සිහි වෙන්න කොටපුව තමයි.
කෙසේ වෙතත් ඔහු කියන පරිදි අවසානයේ ඔහුට පකිස්ථාන් නාවුකයෙකු විසින් හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය අඳුන්වා දී ඇත.
”පක්ක මට කිව්වෙ මේව හොඳ බේතක්, සෙක්ස් කරන්න කියාපු බඩුව, දවසට ටිකක් ගත්තත් එන්න එන්නම තිරිහන් වෙනව කියලයි. මං රැවටුණා මහත්තයෝ මං විතරක් නෙවෙයි එදා මාත් එක්ක හිටපු කොල්ලො සැට් එකම රැවටුනා. හෙරොයින්වල භයානකකම තියා ඒවා ගැන කිසිම දෙයක් දැන ගෙන නොසිටි අපි මෝඩයො වගේ ඒවා දිගටම ගන්න ගත්තා. අපිව දවසින් දවස විනාස වුණා.”
නිවාඩුවට ලංකාවට එන පියාට යළි නැවට නගින්නට හිත නොදෙන්නේ ඔහු තදින්ම හෙරොයින්වලට ඇබ්බැහි ව සිටි නිසාය. එනිසා ඔහු කරන්නේ වරාය ඉදිරිපිට කරක් ගසමින් තම ගුරා වන බීලිං මෙන්ම සුද්දන් අල්ලමින් ඔවුන්ගෙන් හෙරොයින් ලබා ගනිමින් අවර දිවියක් ගත කිරීමයි. අවසානයේ ඔහු වාසි ගහන්නට හෙවත් ගැටකපන්නටත් පුරුදුව එම ජීවිකාව දිගටම කරගෙන යන්නට විය. සීමන් පියරත්න වාසි පියා වන්නේ මේ හෙයිනි.
”හැත්තෑව අග අසූව මුල ඉඳල මං මේ කාලකන්නි බීම බොනව මහත්තයෝ මාත් එක්ක මේව බොන්න පුරුදු වෙච්ච අය අදටත් තව සිය ගාණක් ඉන්නව උනුත් අපා දුක් විඳිනව. තව සිය දහස් ගාණක් මේ ජරා බීම නිසා ලෙඩ වෙලා පොලිසිවලින් ගුටිකාලා මැරයන්ගෙන් පිහි ඇණුම් කාලා වෙඩි වැදිල මැරිල ගිහිං. ඇත්තටම අපි මේවා බිව්වෙ විපාක නොදැන.”
පියරත්න ඔහු සමග ඒ කාලයේ හෙරොයින් පානය කළ අයගේ නම් ලැයිස්තුවක් කියාගෙන කියාගෙන ගියේය. ඒ අතර කොච්චිකඬේ නවා, ඇන්ටන්, කොලොන්තේ, මරදානේ සංගේ, ගේ‍්‍රඞ් අයිවන්, කුරේ, ආරි, දෙමටගාඩ වලංකඬේ මහින්ද, පොඩි ආරි, බොරැල්ලෙ සින්නමනී, ශාලිමාර් නන්දෙ වැනි නම් කීපයක් පමණක් මට මතකය. පියරත්නගෙන් ලද තොරතුරු මත අප තාමත් නගරයේ වෙසෙන වසර හතලිහකට එහා කාලයක් කුඩු උරණ හෙරොයින් ඇබ්බැහිකයන් කීප දෙනෙකු සොයා ගියෙමු.
”මං මේකට ඇබ්බැහි වුණේ 1980 දි. ඒ යාළුවන් බොනව දැකලයි. එදා ඉඳල මං තාම බොනව කවදාවත් නවත්තල නෑ මට කවුරුත් නවත්තන්න කියලත් නෑ උපදෙස් දීලත් නෑ. කාත් කවුරුවත් නැති මං තව ඕන්නං අවුරුද්දක් දෙකක් ජීවත් වෙයි. මට මේක නවත්තන්න බයයි මට දුක් විඳින්න බෑ හිතුනොත් වහ ටිකක් කාල මැරිල යනවා.
එසේ කියන කිරුලපන ඩගී ඇවිදින මළමිනියක් වැනිය. ඔහු පසුගිය දසක හතරක කාලයක් තුළ හත් අට වතාවක් හිරේ ලැග ඇත. ඒ එකම අවස්ථාවකදීවත් ඔහු මත්කුඩු ඉරීම නවත්වා නැත. ඩගී කියන පරිදි එලියට වඩා ලේසියෙන් ඇතුලේ හෙරොයින් ලබා ගැනීම පහසුය.
කොම්පඤ්ඤ වීදියේ නසීර් අගනුවරට ආසන්නයේ පිහිටි අගමැතිවරුන් පවා බිහි කළ සුපිරි පන්තියට අයත් පාසලක උසස් පෙළ දක්වා උගත් අයෙකි. දක්ෂ රගර් ක‍්‍රීඩකයෙකුව සිටි ඔහු මුලින්ම හෙරොයින් පානය කර ඇත්තේ පාසල් බිග් මැච් එකකදීය.
මත්ද්‍රව්‍ය ලෝකය ගැන ඔහු අතැඹුලක් සේ දනී. වචනයේ පරිසමාප්තියෙන්ම ඔහු ඇවිදින පාතාල ඉතිහාස පොතකි. ලංකාවට හෙරොයින් එන්නේ කෙසේද ඒවා ගෙන්වන්නේ කවුද, ආරක්ෂාව සපයන්නේ කවුද, පැකට් කරන්නේ සහ බෙදා හරින්නේ කවුද යන්න ඔහු නම් ගම් සාක්ෂි ඇතිව ගෙන හැර පායි.
ලංකාව තුළ ඔහු නොගිය හිරගෙයක් නැත. නොගිය පුනරුත්ථාපන සහ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් නැත. නොගත් වෛද්‍ය ප‍්‍රතිකාරයක් හෝ නොකළ වෙනත් ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක් නැත. නමුත් ඒ කිසිවකින් ඔහුට කිසිම සහනයක්ද ලැබී නැත.
”අර ප‍්‍රභාකරන් කිව්ව වගේ මාත් මේ කුඩු යුද්දෙ කරන්න ආපු අගමැතිවරු ජනාධිපතිවරු හත් අට දෙනෙක් දැකල තියෙනව, ආරක්ෂක ඇමතිල ආරක්ෂක ලේකම්ල පොලිස්පතිල නියෝජ්‍ය පොලිස්පතිල නාකොටික් නිලධාරීන් සිය ගාණක් දැකල තියෙනව. හරි උවමනාව තියෙන අය කීයෙන් කී දෙනාද ආවේ වැඩි දෙනෙක් කළේ බොරුව සහ නමට ලකුණු දාගන්න එක.
පුනරුත්ථාපන කඳවුරුත් එහෙමයි. මං ඉස්සෙල්ලම ගියේ නිට්ටඹුවේ නවදිගන්තෙට ඒක එතකොට කළේ නීතිඥ මැඩම් කෙනෙක්. ඒ 1987 විතර. ඊට පස්සේ මං මේක නවත්තගන්න ෆාදර්ල පාස්ටර්ල හාමුදුරුවරු ලෙබ්බෙලා සාමිල කී දෙනෙක් පස්සෙ නම් ගියාද ආණ්ඩුවෙන් කරන සෙන්ටර් ප‍්‍රයිවෙට් සෙන්ටර් කීයක මං හිටියද.. මං ඒවට දොස් කියනව නෙවේ.. ඒත් ඔය තැන් ගොඩක් අපිට කළේ බොරුව. සමහරු අපිව විකුණං කෑව. සමහරු අපි නිසා උපහාර සම්මාන පදවි නාම ගරු බුහුමන් ලබා ගත්තා. අපේ මාර්ගෙන් රට සවාරි ගියා. ඩිප්ලෝමා උපාධි ගත්තා. රස්සාවේ ප‍්‍රමෝෂන් අර ගත්තා. ඒත් මත්ලෝලීන්ටවත් උන්ගෙ ගෙවල්වල අයටවත් කරපු මඟුලක් නෑ.
මං හිතන්නෙ සමහර සෙන්ටර් වල මත්ලෝලීන්ට වඩා දැන් කවුන්සලිං කරන නෝනල මහත්තුරු ඉන්නවා. ඒ අය කරන්නේ අපෙන් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලවල ගිහිං උපාධි ගන්න එකයි, ඩිප්ලෝමා පාස් වෙන එකයි, ආණ්ඩුවෙ සල්ලිවලින් රට රටවලට ගිහින් සැප ගන්න එකයි විතරයි.
නසීර් කතා කරන්නේ මුළු සමාජයම රාජ්‍ය තන්ත‍්‍රයම සහ පුනරුත්ථාපන ක‍්‍රියාවලියම සහ නීතිය ක‍්‍රියාත්මක කරන්නන් ගැන තරහකින් සහ කලකිරීමකින් බව මට හැෙඟ්. මා එය අනුමත නොකළ ද ඔහු කියන ඒවායේ යම් සත්‍යතාවයක් හා ගත යුතු දෙයක්ද ඇති බවක් මට දැනේ.
”අපේ නායකයන්ට පාලකයන්ට මේ හෙරොයින් ව්‍යාපාරේ දවස් තුනෙන් නවත්තන්න පුළුවන් බොස්… උන්ට උවමනාවක් නෑ.
එදා ඉඳන් අද දක්වාම වසර හතලිහකට එහා කාලයක් හෙරොයින් උරණ ගාල්ලේ කමලසිරි, හික්කඩුවේ සෑම්, දෙයියන්නෙවෙල ජගා, දෙමටගොඩ නිලා, බොරැල්ලේ නාදන් සහ රෙක්සි වැනි අය සමගද අප කතා කළ අතර ඔවුන් බහුතරයක් දෙනා බණින්නේ පවතින සමාජ ක‍්‍රමයටත් රටේ පාලකයන්ටත් නීතිය ක‍්‍රියාත්මක කරන්නන්ටත්ය. එය ඔවුන්ගේ පෞරුෂයේ ප‍්‍රශ්නයක් බව කිව යුතුය. ඔවුන් තාමත් තම ඇබ්බැහිකම්වල සිටිමින් අන්ත අසරණ ජීවිත ගත කරන්නේ ඒ නිසා බව කෙතෙක් පැහැදිලි කළ ද ඔවුන්ට නොතේරේ.
”අපි තාම මේ කරත්තේ නැගල හිටියට අපිත් එක්ක එකට ගහපු එකට හිරේ හිටපු එක චාටරේ කාපු අය සිය ගානක් ඒ ඔක්කොම ජරා වැඩ නවත්තල ලස්සනට දැන් සමාජ ගත වෙලා කසාද බැඳල මහත්තුරු වගේ ඉන්නව සර් අන්න ඒ අය ගැනත් ලියන්නකො පුළුවන්නං.”
මට එහෙම කිව්වෙ නාරාහේන්පිට ජෙරී නමැති බර්ගර් ජාතික මත්ලෝලියායි. ඔහු ද කලකට පෙර සීමන් කෙනෙක් ලෙස නැව්වල වැඩ කර ඇති අතර අද මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව අසල නොයෙක් ජල්තර ජල්බරි දමමින් හෙරොයින් පැකට් එකක් ගහන්නට කාගෙන් හරි ගාණක් කඩා ගන්නා සොර දෙටුවෙකි.
ජෙරී කියූ නිසා නොව පලදායී වනු ඇතැයි සිතූ නිසා අප දශක ගණන් කුඩු ගසා අද මතින් නිදහස් වූ අයව ද සොයා ගියෙමු. මේ එසේ මතින් නිදහස් වූ ෂන්මුගනාදන් අයියාගේ අදහසයි. ඔහු අද පරිසර හිතකාමි කෘෂි ගොවිපළක් හිමි යමක් කමක් ඇති ශාන්තුවරයෙක් වැනි නිශ්චල නිවුනු මිනිසෙකි.
”මාත් ඉස්සෙල්ලම හෙරොයින් බොන්න ගත්තේ එකදාස් නවසිය හැත්තෑ නවයේ. ඒ කාලේ අපි නහයට අහන්නෙ නැති මදාවි තරුණයො. නොදැන ඒ වැරදි වැඩ කළාට පස්සේ තේරුණා මේව බොරු පුහු වැඩ කියල. 1991 දි හික්කඩුවෙදි මට රාජා විජේකෝන් කියල සහෝදරයෙක් හමු වුණා. ඔහු එදා වීදියේ අයට කළ දේශනාවක් මං අහන් හිටිය. ඒකෙන් පස්සේ මට හිතුන වෙනස් වෙන්න. මං වෙනස් වුණා. අද මටම කියල පොඩි ගොවිපළක් තියෙනවා ඒකේ වැඩ කරන අයගෙන් වැඩි දෙනෙක් මත්කුඩු ගහල නිදහස් වෙච්ච අය. මට කිසිම රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයකින් ආධාර උපකාර කරල නෑ. මං ඉල්ලලත් නෑ. අපි මහන්සියෙන් වැඩ කරල මේ තැනට ආවේ.”
ඔහුට ඇති ආත්ම ශක්තිය සහ ඒ පෞරුෂය හැමෝටම නැත.
අද අප රටේ විවිධ මාදිලියේ රැකියාවන් කරන අය සිටිති. ඒ අතර වෛද්‍යවරුන්, ගුරුවරුන් ඉංජිනේරුවන්, කළමනාකරුවන් වැනි අය ලක්ෂ ගණනින් ගණනය කළ හැක. ලිපිකරුවන් රියදුරන් ව්‍යාපාරිකයන් වැනි වෘත්තිකයන්ද අප රටේ සිය දහස් ගණනකි.
එහෙත් මත් නිවාරණ සහ ප‍්‍රතිකාර ක්ෂේත‍්‍රයට අවතීර්ණව සිටින්නේ ඉතා සීමිත ප‍්‍රමාණයකි. එයින් මත් ප‍්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතුවල නියැලී සිටින ප‍්‍රමාණය ඉතා කුඩාය. අතලොස්සකි. ඒ අය අතර බෞද්ධ භික්ෂුන්, කතෝලික පියවරුන් ක‍්‍රිස්තියානි සහෝදරයන් කීප දෙනෙකු සිටියද අන් සැම දෙනාම පාහේ කලකට පෙර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට ඉන් නිදහස් වූ අයයි. ඔවුන්ගේ ක‍්‍රමවේදයේ හෝ මධ්‍යස්ථාන පරිශ‍්‍රයේ විවිධ අඩුපාඩු හෝ දුර්වලතා තිබෙන්නට පුළුවන. ඔවුන් සර්ව සම්පූර්ණ සුපර්මෑන්ස්ලා නොවන්නට පුළුවන. නමුත් මතින් නිදහස් වූ පසු වෙන කරන්නට බොහෝ දේ ඇතත් ඒවා පසෙක ලා තම වර්ගයා වෙනුවෙන් යමක් කරන්නට ඉදිරිපත් වූ මෙවැනි මානව හිතවාදීන් ගැන ජනපතිතුමා, අගමැතිතුමා, රජය සහ අදාළ බලධාරීන් මෙයට වඩා ගැඹුරින් සහ අවධානයෙන් සොයා බැලිය යුතු බව මගේ අදහසයි.
”අපිත් බලන් ඉන්නව පත්වෙලා එන ආණ්ඩු, නව පොලිස්පතිලා නාකොටික් ඩිරෙක්ටර්ලා කවද්ද මේ හෙරොයින් නාඩගම රටෙන් තුරන් කරල දාන්නේ කියල. අපි අපේ ජීවිත හදා ගත්තට අපිට බෑනේ මහත්තයො රට හදන්න අනික අපිට බලයකුත් නෑනේ.
මහත්තයො මට දෙන්නකො විස්සක විතර හොඳ ආයුධ සන්නද්ධ ටීම් එකකකුයි නීත්‍යානුකූල බලතලයි. මං මාසෙන් මේ කුඩු මාෆියාවයි පාතාලෙයි සුද්ද කරල පෙන්නන්නං හැබැයි සදාකාලිකව නෙමේ අඩුගාණේ අවුරුදු දහයකට මං රට නිදහස් කරල දෙන්නං.”
එහෙම කියන බොරැල්ලේ ඇන්ටන් ද දැනට වසර විස්සකට අධික කාලයක් මතින් මිදී නිදහස්ව සිටින පරණ තරු පහේ කුඞ්ඩෙකි. අද ඔහුට මත් ජාවාරමුන් ඇලජික්ය. ඔහු සෘජුව පුනරුත්ථාපන කටයුතුවල නොයෙදුනත් මතින් මිදීමට කැමති අවශ්‍යතාවයක් ඇති මත්ලෝලීන්ව දිවයිනේ ඇති පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කරමින් නිහඬ සේවයක් ඉටු කරයි. ඔහුගේ ඒකායන පැතුම මතින් නිදහස් රටක් නිර්මාණය වනු දැකීමයි. ඔහු අදහන ආයුධ සන්නද්ධ ටීම් එකේ සංකල්පය කෙසේ වෙතත් ඔහු තුළ ඇති ආකල්පය අප අගය කළ යුතුය.
මෙහිදී මා මතු කරන තවත් කරුණක් වන්නේ රටක් මතින් නිදහස් කර ගැනීම පාලකයන්ට විද්‍යාර්ථීන්ට සහ නීතිය ක‍්‍රියාත්මක කරවන්නන්ට පමණක් හැකි කටයුත්තක් නොවන බවයි. ඒ සඳහා මතින් නිදහස් වූවන්ගේ දැනුම අත්දැකීම් සහ සහයෝගය ද එක් කර ගතහොත් කාර්යය වඩාත් සාර්ථක වනු ඇත.
අපේ රටේ මත්ද්‍රව්‍ය නිවාරණ සහ ප‍්‍රතිකාර ක්ෂේත‍්‍රයේ මහගෙදර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයයි. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති එමගින් රට තුළ ඇති බලපත‍්‍ර සහිත සහ නාමෝද්දිෂ්ට (නම් කරන ලද) පෞද්ගලික ප‍්‍රතිකාර මධ්‍යස්ථාන නියාමනය කරනු ලබයි. රට තුළ කෙරෙන පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉතා ඉහළ ප‍්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම හෝ වළපල්ලට ඇද දැමීමේ හැකියාව ඇත්තේ මේ උත්තරීතර මණ්ඩලයට බව මගේ හැඟීමයි.
මේ මණ්ඩලය පාලනය වන්නේ පවතින රජයේ අමාත්‍යාංශ ලේකම් විසින් පත්කර එවන සභාපතිවරයෙක් අතිනි. 1984 ආරම්භයේ පටන් මේ දක්වා එයට සභාපතිවරුන් 13 දෙනෙකු පත්කර එවා ඇති බව අප නිරීක්ෂණය කර ඇත්තෙමු. ඉන් බහුතරයක් සභාපතිවරුන් සහ අධ්‍යක්ෂකවරුන් සමග අප සුහදව සමිීපව කටයුතු කර ඇත.
කාලයක් තිස්සේ එහි රැඳී සිටින, කාටවත් එනම් සක්කරයාගේ පුතා වයිමාටවත් අල්ලන්ට බැරි සූත්තර කාරයන් සහ සූත්තරකාරියන් කීප දෙනෙකු ගැනද අපට කරුණු වාර්තා වී ඇත.
ආරක්ෂක ලේකම්තුමා විසින් මෑතකදී පත්කර එවන ලද විශේෂඥ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල නව සභාපතිතුමිය සහ පරිපාලනය සහ කළමනාකරණ අංශයේ ප‍්‍රවීණයකු වන නව විධායක අධ්‍යක්ෂකතුමා ගැන යම් විශ්වාසයක් පැහැදීමක් දැනටමත් මෙම ක්ෂේත‍්‍රයේ අයට ඇති වී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කරන්නට කැමති අතර මණ්ඩලයේ ඇති සම්පත් සහ සේවා මණ්ඩලයත්, විද්වතුන්ගේ සහයත් විශේෂයෙන්ම අත්දැකීම් බහුල මත් ප‍්‍රතිකාර මාෆියාව ගැන අතැඹුලක්සේ දන්නා මතින් නිදහස් වූවන්ගේ සහයද ලබා ගෙන ඔවුන් දෙපල විසින් මත් නිවාරණ සහ ප‍්‍රතිකාර ක්ෂේත‍්‍රයට මහඟු සේවයක් ඉටු කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු.
මිත‍්‍ර ශ‍්‍රී කරුණානායක