ලංකාවේ ඉතිහාසකරණ සම්ප‍්‍රදායේ මුදුන් මල්කඩ මහාවංසය ද?

456

ශ‍්‍රී ලාංකීය ඉතිහාස සම්ප‍්‍රදායේ විශේෂිත සිදුවීම් ලියැවෙන මූලික ග‍්‍රන්ථය වශයෙන් උක්ත මහාවංසය හඳුන්වා දිය හැකිය. විශේෂයෙන්ම පෞඪ අඛණ්ඩ ඉතිහාසයක උරුමකරුවන් වූ ශ‍්‍රී ලාංකීයන් වන අප එම ඉතිහාසය ලියා තැබෙන මහාවංසය පරිහරණය කිරීමේදී ඉතාමත් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමද නුවණට හුරු වේ. ඒ අනුව ශ‍්‍රී ලාංකීය වංසකතා සම්ප‍්‍රදායේ මූලසුන හොබවන මහාවංසය පිළිබඳව අනාගත ලේඛකයෙකුටද අදහස් දැක්වීමට ඉඩහසර ලබාදෙමින් විමර්ශනයක් සිදු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

ඓතිහාසික සංසිද්ධි වාර්තා කර තැබීම ශ‍්‍රී ලාංකීයන්ට පමණක් ආවේණික වූ දෙයක් නොවේ. විශේෂයෙන්ම ලෝකයේ බොහෝ රටවල් සිය ඓතිහාසික කාරණා වාර්තා කිරීමට නොයෙක් ක‍්‍රමවේදයන් අනුගමනය කර තිබෙන බව ලෝක ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. එහිදී ලාංකිකයෝ ද ලෝකයේ අන් කිසිදු රටකට නොදෙවෙනි ආකාරයෙන් ඓතිහාසික සංසිද්ධි වාර්තාකරණයෙහි නියුක්ත විය. ඒ අනුව ලාංකීයන් සිය ඓතිහාසික කරුණු වාර්තාකරණයේදී යොදාගත් ප‍්‍රමුඛතම ග‍්‍රන්ථ සම්ප‍්‍රදාය වනුයේ වංසකතා වේ. ඒ අනුව ‘වංස’ යනු කුලය, පරම්පරාව යන අදහස ගෙන දෙයි. ඒ අනුව ඉතිහාසගත තොරතුරු ආශ‍්‍රය කරගෙන පරම්පරාව ගැන අධ්‍යයනය කිරීම වංසකථාවන්ගෙන් අපේක්‍ෂා කෙරේ. ඉතිහාසය පිළිබඳ තොරතුරු සටහන් කරන වංසකතාකරුවාගේ ස්වභාවය වනුයේ වඩාත් සුවිශේෂී වූ රසවත් ප‍්‍රවෘත්තීන් ඉදිරිපත් කිරීම වේ. එසේ ඉතිහාස තොරතුරු ඉදිරිපත් කිරීමේ දී තත් වූ පරිද්දෙන් සටහන් කිරීම මෙන් ම තමාට අභිමත වූ ප‍්‍රවෘත්තිය වඩාත් උචිත භාෂා ව්‍යවහාරයෙන් රසවත් ලෙස දැක්වීම වංසකතා කරුවන්ට ආවේණික වූ දෙයක් නිසා එය සාහිත්‍යාංගයක් වශයෙන් ප‍්‍රකට විය. එය ලෝකයේ බොහෝ රටවල් වලට මෙන්ම ශ‍්‍රී ලංකාවටද ආවේණික ලක්ෂණයක් වේ. ඒ අනුව විශ්ව සාහිත්‍යයේ එක් අදියරයක් වංසකතා සාහිත්‍යයට හිමිවන බව පෙන්වා දිය හැකිය.

ඒ අනුව ශ‍්‍රී ලංකාවේද එලෙස ආරම්භ වූ වංසකතා සාහිත්‍යය වර්තමානය වන විට ලාංකීය සමාජය විසින් ද තදින් වෙලාගෙන ඇති බව දක්නට ලැබේ. දැනට විද්‍යමාන සාධක අනුව, දීපවංසයෙන් ඇරැඹෙන ලාංකීය වංසකතා සම්ප‍්‍රදාය මහාවංසය, දීපවංශය, දාඨාවංශය, චූලවංශය, අරියවංශය, බෝධිවංශය, ථූපවංශය, හත්ථවනගල්ල විහාරවංශ, චේතියවංශය සහ උත්තර විහාරවංශය ආදී වශයෙන් විවිධාකාර ඓතිහාසික කාරණා ඔස්සේ රචනා වී තිබේ. එම වංශකතාවලින් ඓතිහාසික වැදගත් කෘතියක් වශයෙන් මහාවංශයට වැදගත් ස්ථානයක් හිමිවෙයි. ඒ අනුව ක‍්‍රි. ව. 5 වැනි සියවසේ දී පමණ පාලී බසින් රචනා වන්නට ඇතැයි සැලැකෙන දීපවංසය ලාංකීය වංසකතා සම්ප‍්‍රදායේ ආරම්භය සනිටුහන් කරනු ලබන බව උක්ත කරුණු තුළින් සනාථ වේ. එහෙත් ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් සාකච්ඡුා කරන විට විශේෂ වැදැගත්කමක් අත් කර දෙන ග‍්‍රන්ථය ලෙස සැලකෙනුයේ ක‍්‍රි.ව. 6 වැනි සියවසේ දී පමණ රචනා කරන්නට යෙදුණු මහාවංසය වේ. වංසකතා සාහිත්‍යය ඉතිහාසය තුළ මහාවංසයට හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයකි. ඉහතින් සඳහන් කරන්නට යෙදුණ බොහෝ වංසකථාවලට මූලාශ‍්‍රය වී තිබෙන්නේ මහාවංසයයි. දීපවංසය මහාවංසයට පෙර රචනා වූවක් නිසා මෙම කෘති දෙක අතර පමණක් තරගකාරීත්වයක් දැකිය හැකිය. දීපවංසයේ මෙන්ම මහාවංසයේද අන්තර්ගත වී ඇත්තේ ලක්දිව රාජ පරම්පරාව පිළිබඳව විස්තරයකි. එහෙත් දීපවංසය මහසෙන් රජුගේ කාලය තෙක් රාජ පරම්පරාව පමණක් සඳහන් කරමින් අවසන් කොට තිබේ. නමුත් මහාවංසය වර්තමානය දක්වාම තොරතුරු ඇතුළත් කෘතියක් ලෙස පෙන්වා දිය හැකිය. මහාවංසයේ පළමු කොටස මහසෙන් රජුගේ රාජ්‍යයෙන් අවසන් වන අතර ඉන්පසු මහාවංසයේ දෙවෙනි කොටස චූලවංසය නමින් හඳුන්වා ඇත. එහෙත් ග‍්‍රන්ථයේ කිසිදු තැනක චූලවංසය යැයි සඳහන් නොවේ. පළමු කොටසේ මෙන්ම දෙවෙනි කොටසේ ද සෑම පරිච්ෙඡ්දයක් අවසානයේ ම ‘‘ඉති සුජනප්පසාද සංවේගාය කතෙ මහාවංසෙ’’ යනුවෙන් සඳහන් වී තිබීමෙන් පෙනී යන්නේ චූලවංසය ද මහාවංසය යනුවෙන් ම හඳුන්වා ඇති බවය. ඒ අනුව මෙම වර්ගීකරණය එතරම් සාධාරණ වූවක් යැයි හැඳින්විය නොහැකිය.

ඓතිහාසික සිද්ධි, ස්ථාන හා පුද්ගලයන් පිළිබඳ කරුණු ගවේෂණය කරන්නෙකුට වඩා වැදගත් වන කෘතියක් ලෙස මහාවංසය පෙන්වා දිය හැකිය. මහාවංසය කලින් කලට රචනා වූයේ එක් එක් කර්තෘවරුන් අතිනි. මුල් කොටස එනම් මහසෙන් රජු දක්වා කොටස මහානාම හිමියන් විසින් ද, දඹදෙණි පරාක‍්‍රමබාහු දක්වා රාජ්‍ය පරම්පරා අන්තර්ගත කොටස දාඨාවංසය රචනා කළ ධර්මකීර්ති හිමියන් විසින් ද, ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු දක්වා කොටස මල්වතු මහාවිහාරයේ මහානායකව වැඩසිටි තිබ්බටුවාවේ ශී‍්‍ර බුද්ධරක්ඛිත හිමියන් විසින් ද, යටත් විජිත යුගයේ තොරතුරු හික්කඩුවේ ශී‍්‍ර සුමංගල හිමියන් හා බටුවන්තුඩාවේ පඩිතුමා යන දෙදෙන විසින් ද, 1935 සිට යගිරල පඤ්ඤානන්ද හිමියන් විසින් ද රචිතය. වර්තමානයේ ද විද්වත් මඩුල්ලක් විසින් මහාවංසය රචනා කරමින් පවතී. කෙසේ නමුදු එලෙස කලින් කලට විවිධ රචකයන් අතින් මහාවංශයේ එක් එක් පරිච්ජේදයන් රචනා වීම තුළ යම් ආකාරයකට මහාවංශයේ විස්වාසනීයත්වය සම්බන්ධව යමෙකුට ගැටලූවක් වුව ඇති වීමේ හැකියාව පවතී. මන්ද, එක් එක් රචකයන් විසින් උක්ත පරිච්ජේද රචනයේදී යම් යම් කාරණා සම්බන්ධයෙන් පක්ෂග‍්‍රාහී වී ඇතිද යන කාරණාව නිසාවෙනි. මෙකී සෑම කතුවරයෙක්ම මෙහි අන්තර්ගත කරුණු පිළිබඳ නිරවද්‍යතාව තහවුරු කිරීමට හැකි සෑම උත්සහයක්ම ගෙන ඇති බව සඳහන් කළ යුතු වේ.

විශේෂයෙන්ම මහාවංසය රචනා කිරීමට මූලාශ‍්‍රය වූ ග‍්‍රන්ථය වන්නේ අට්ඨකථා මහාවංසයයි. එහි ඇති සදොස් තැන් නිදොස් කරමින් පුනරුක්ත දෝෂ ඉවත් කොට මෙය රචනා කළ බව සඳහන් කරයි. ලක්දිව රාජාවලියේ සිටි ප‍්‍රකට රජවරුන් පිළිබඳව අභිමානයෙන් යුක්තව වර්ණනා කිරීම මහාවංස කතුවරයාගේ ලක්‍ෂණයක් වී තිබේ. උදාහරණ ලෙස දුටුගැමුණු, වළගම්බා, මහා පරාක‍්‍රමබාහු, ගෝඨාභය, මහසෙන්, දඹදෙණි විජයබාහු වැනි අය පිළිබඳ වර්ණනා කර ඇති ආකාරය පෙන්වා දිය හැකිය. දීපවංසයේ එවැනි වර්ණනා අඩුවෙන් දක්නට ලැබෙන නිසා මහාවංසය හා දීපවංසය අතර තුලනය කිරීමේදී මහාවංසය ප‍්‍රමුඛස්ථානයක් ගන්නා බව කිව හැකිය. දීපවංසය හා මහාවංසය යන දෙකේම අභිප‍්‍රාය වී ඇත්තේ ක‍්‍රි.පූ. 5 වන ශතවර්ෂයේ සිට කි‍්‍ර.ව. 4 වන සියවස තෙක් ඉතිහාසය වර්ණනා කිරීම වුවත්, දීපවංසයට වඩා මහාවංසයේ විෂය වස්තුව අතිශයින් සවිස්තර, ව්‍යවස්ථිත හා කාව්‍යමය අගයකින් යුක්ත වේ. කෙසේ නමුත් මහාවංසයේ මුල් කොටස හෙවත් මහානාම තෙරුන් විසින් රචනා කළ පරිච්ජේදය වූ මහසෙන් රජු දක්වා වූ කොටසට ටීකාවක් ද ලියැවී තිබීම සුවිශේෂී කාරණාවක් ලෙසින් සැලකිය හැක. එය මහානාම තෙරුන් විසින්ම ලියන ලදැයි ගයිගර් ආදී පඬිවරුන්ගේ මතය වුවත් එය එසේ පිළිගත නොහැකි බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් විසින් ප‍්‍රකාශ කර තිබේ. උන් වහන්සේ වැඩි දුරටත් ප‍්‍රකාශ කරනුයේ මහාවංශය කළ ඒ මහානාම තෙරුන්ම ආශ‍්‍රය කොට විසූ තෙරනමක් විසින් මෙය ලියන ලදැයි පිළිගත හැකි බව වේ. මහාවංසය විෂයෙහි කළ මේ ටීකාව හඳුන්වා ඇත්තේ වංසත්ථප්පකාසිනී යන නමිනි.

මහානාම හිමියන් ක‍්‍රිස්තු වර්ෂ 6 වැනි සියවසේ විසූ හෙයින් මහාවංස ටීකාවේ කර්තෘ 7 වැනි හෝ 8 වැනි සියවසට අයත් ලෙස සැලැකිය හැකි බව මහාචාර්ය ගුණපාල මලලසේකරයන් ප‍්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් මහාවංසයේ එන ඇතැම් සංසිද්ධි වඩාත් පැහැදිලිව අවබෝධ කර ගැනීම පිණිස වංසත්ථප්පකාසිනී හෙවත් මහාවංස ටීකාවෙන් සුවිශේෂී දායකත්වයක් ලැබී තිබීම අගය කළ යුතු වේ. කෙසේ නමුත් දීපවංසය හා මහාවංසය තුළ අන්තර්ගත මූලික තොරතුරු වන බුද්ධවංසය, බුද්ධ චරිතය, සංගායනා වාර්තා, විජයාගමනය, ආදි තොරතුරුවල වෙනස්කමක් නොමැතිව ඉදිරිපත් කෙරේ. මේ සඳහා පරිච්ෙඡ්ද හයක් පමණ යොදාගෙන ඇත. ඉන්පසු පරිච්ෙඡ්ද පහක් වෙන් වී ඇත්තේ විජයගේ පටන් රාජවංස පරම්පරාව විස්තර කිරීමට වේ. එකොළොස් වන පරිච්ෙඡ්දයේ සිට විසිවෙනි පරිච්ෙඡ්දය දක්වා දේවානම්පියතිස්ස රජුගේ අභිෂේකය හා ලක්දිවට බුදුදහම රැගෙන ඒම, ධර්මාශෝක රජුගේ ධර්මදූත ව්‍යාපාරය, මිහිඳු හිමියන් ලක්දිව දී කළ මෙහෙවර, මහාවිහාර නිර්මාණය, බෝධි ආගමනය, තෙරුන්ගේ පිරිනිවීම ආදී තොරතුරු මහත් අභිමානයෙන් යුක්තව ඉදිරිපත් කරයි. මෙහිදී දීපවංසයේ එන වර්ණනාවට වඩා විස්තරයක් මහාවංසයේ සඳහන් වීමෙන් පෙනී යන්නේ මහාවංසය දීපවංසයට වඩා ඉදිරියෙන් සිටින බවය. විසිවෙනි පරිච්ෙඡ්දය වෙන් වී ඇත්තේ දේවානම්පියතිස්ස රජුගේ පටන් දුටුගැමුණු රජු දක්වා මෙරට පාලනය කළ රජවරුන් පස් දෙනකු පිළිබඳ වර්ණනා කිරීමට වේ. විසිදෙවෙනි පරිච්ෙඡ්දයේ සිට තිස් දෙවෙනි පරිච්ෙඡ්දය දක්වා එන කොටස ඉතා වැදගත් වේ.

විශේෂයෙන්ම දමිළ පාලනයට ලක්දිව නතු වීමෙන් පසු ඇති වූ නොයෙක් අවුල් වියවුල් තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා අමිල මෙහෙවරක් කළ දුටුගැමුණු රජුගේ වර්ණනාව මීට ඇතුළත් වේ. දීපවංස කතුවරයා ගාථා 13 කින් වර්ණනා කරන මෙම පුවත සඳහා මහාවංස කතුවරයා පරිච්ෙඡ්ද 11 ක් ම යොදාගෙන තිබීමෙන් ඉස්මතු වන කාරණය පැහැදිලි වේ. එනම් දුටුගැමුණු චරිතය ලක් ඉතිහාසයේ වැදගත් චරිතයක් බව පෙන්වා දීමට උත්සාහ කිරීමය. දුටුගැමුණු කුමරුගේ කුඩා කාලයේ තිබුණු වීර චරිතය වර්තමානයේ පවා කුඩා දරුවන් තුළ අධිෂ්ඨානයක් ඇති කරන බව කිව යුතුය. දීපවංස කතුවරයා මෙම සිද්ධිය හිතාමතා ඉවත් කළේ ද නැතහොත් දුටුගැමුණු චරිතය කෙරෙහි ඔහුගේ කැමැත්තක් නොතිබුණේද යන්න පැහැදිලි නැත. කෙසේ නමුත් මුල් යුගයේ පටන් රචනා වූ වංසකථා සාහිත්‍යයේ කෘති දෙස බැලීමෙන් පෙනී යන්නේ බුදුසිරිත හා බුදුදහම අගය කළ ආචාර්යවරුන් විසින් විවිධාකාරයේ කෘති රචනා කර ඇති බවය. එසේම මේ සඳහා යොමු වූ රජදරුවන් සිදු කළ උදාරතර මෙහෙයන් හා නිර්මාණයන් ඇගයීමක් වශයෙන් ඒවා සටහන් කර තබන්නට වංසකතා කරුවන් උත්සාහ ගෙන ඇත. එසේම ශුද්ධ වූ වස්තූන් කෙරෙහි තම සිත පහදවා ඒ සඳහා පුද පූජා පැවැත්වීමට ජන හද යොමු කරවීම ද තවත් අරමුණක් වී තිබේ. වංසකතා සාහිත්‍යයේ ප‍්‍රමුඛස්ථානයක් හිමි මහාවංසයේ අරමුණ වී ඇත්තේ ඒ ඒ කාලවලදී ඇති වූ ආගමික, දේශපාලනික, ආර්ථික, සාමාජික හා සංස්කෘතික දියුණුව පිළිබඳ සාකච්ඡුා කිරීම වේ.

එසේ වුවත් සෑම පරිච්ෙඡ්දයකම අවසානයේ එන ‘‘හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස’’ යනුවෙන් සඳහන් වී තිබීමෙන් මෙහි අරමුණ කුමක්දැයි පැහැදිලි වේ. සෑම වංසකථාවකම දක්නට ලැබෙන මෙකී පහන් සංවේගය තුළින් වංසකථාකරු පාඨකයාගේ මනස ඒ කෙරෙහි යොමු කරන්නට සමත් වී ඇතැයි කිව හැකිය. එසේම විවිධ වංසකථා බිහි වී ඇතත් ඒ සියල්ල අතරින් මහාවංසය ප‍්‍රමුඛස්ථානයෙහි ලා සැලකිය හැක්කේ මෙය අනෙකුත් වංසකථාවලට මූලාශ‍්‍රය වී ඇති නිසාය. එසේම ඇතැම් වංසකතාවන්හි අන්තර්ගත කරුණු වංසකතාවෙන් වංසකතාවට සමානකමක් දැක්වුවත් පූජාර්හ වස්තු හෝ පුද්ගලයන් හෝ වේවා වර්ණනා කිරීම සාහිත්‍යයික වටිනාකමකින් යුක්තව සිදුකර ඇති බව කිවයුතු වේ.

ඒ අනුව විශේෂයෙන්ම ලාංකිකයන් ලෙස අප ලංකාවේ ඉතිහාසය සම්බන්ධ සුවිශිෂ්ට ඓතිහාසික ග‍්‍රන්ථයක් වශයෙන් උක්ත මහාවංසය පැවැතීම සම්බන්ධයෙන් ආඩම්බර විය යුතුය. ලංකා ඉතිහාසයේ ඇති ඇතැම් අපැහැදිලි තැන් අවබෝධ කර ගැනීමෙහිලා මහාවංසය මඟින් දක්වා ඇති දායකත්වය සුළුපටු නොවන බවද අමතක නොකළ යුතුය. එසේම මහාවංසය වැනි වංශකතාවන්හි අන්තර්ගත කරුණු පරිශීලනය කිරීමේදී මනා ශික්ෂණයකින් යුතුව කළ යුතු බවද අවධාරණය කිරීම කළ යුතුය. මන්ද වංසකතා සාහිත්‍යය හුදෙක් අතිශයෝක්ති සහගතව රචනා කිරීමට ඉඩ ඇති බැවිනුත්, බොහෝ ග‍්‍රන්ථ බහු කතෘක වශයෙන් රචනා වීමත් නිසාවෙන් යම් යම් කාරණා සම්බන්ධයෙන් උක්ත කතුවරුන් පක්ෂග‍්‍රාහී වීමට ඉඩ ප‍්‍රස්ථාව ඇති බැවිණි. කෙසේ නමුත් ක‍්‍රි.ව. 6 වැනි සියවසේ දී පමණ මහාවංසය රචනා වුවත්, එය රචනා වීමටත් සියවස් ගණනාවකට පෙර සිදුවූ සිදුවීම් පිළිබඳ පවා මහාවංසයේ අන්තර්ගත වී තිබීම තුළින් උක්ත ගැටලූව නැවත නැවතත් ඇති විය හැකිය. එබැවින් එවැනි කාරණා අධ්‍යයනය කිරීම මනා ශික්ෂණයක් මත පිහිටා තර්කානුකූල බුද්ධියකින් කළ යුතු වේ.

ඒ අනුව අවසාන වශයෙන් ශ‍්‍රී ලාංකීය වංසකතා සම්ප‍්‍රදායේ අද්වීතීය ග‍්‍රන්ථයක් වශයෙන් උක්ත මහාවංසය අර්ථකථනය කළ හැකිය. එසේම මහාවංසය යනු ශ‍්‍රී ලාංකිකයන්ට හුදෙක් වංශකතාවක් පමණක්ම නොව ඓතිහාසික වශයෙන් වැදගත් වන මූලාශ‍්‍රයක්ද බැවින් එයට අනවශ්‍ය වැදගත්කමක් මෙන්ම අනවශ්‍ය නොවැදගත්කමක්ද ලබා නොදී උක්ත කරුණු මනා ශික්ෂණයක් මත පිහිටා අධ්‍යයනය කිරීම නුවණට හුරු බව ද සිහිපත් කරමි.

(සංවාදයට විවෘතයි)

ඩබ්. එම්. ප‍්‍රසන්න ජයන්ත කුමාර,
පුරාවිද්‍යා (විශේෂ), සිවුවන වසර,
පුරාවිද්‍යා අධ්‍යයනාංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment