ආණ්ඩුවට එරෙහිව තවදුරටත් වර්ධනය වෙමින් පවතින ජනතා විරෝධය සම්බන්ධයෙන් අපූරු පැහැදිළි කිරීමක් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය අප්‍රේල් 26 දින කළේය. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට අගමැති මහින්ද රාජපක්ෂ සහ පළාත් සභා මන්ත්‍රී සංසදය සමඟ අරලියගහ මන්දිරයේ පැවති හමුවකින් පසුව නිකුත් කළ වර්තමාන අර්බුදය පිටුපස සිටින කණ්ඩායම හෙළිදරව් කර තිබිණි. ඒ අනුව රජයට එරෙහිව කුඩා කණ්ඩායමක් ක්‍රියාත්මක කර ඇති විරෝධතාවයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීමෙන් සමාජ මාධ්‍ය සහ ප්‍රධාන පෙළේ මාධ්‍ය අර්බුදය වර්ධනය කර ඇත. ආණ්ඩුවට එරෙහි විරෝධතාව තුළ අන්තවාදී බලවේග, දෙමළ ඩයස්පෝරාව (ද්‍රවිඩ ඩයස්පෝරාවට ශ්‍රී ලංකාව තුළ මුදල් ආයෝජනය කිරීමට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ද්‍රවිඩ ජාතික සන්ධානය පසුගියදා සකච්ඡා කළ බව අමතකවී ඇති බව පෙනේ) සහ රට අරාජික කිරීමට විදේශ බලවේග ඇති බව හෙළිදරව් කෙරිණි. ශ්‍රී ලංකාවට වෙනත් කිසිදු බුද්ධි අංශයක් අවශ්‍ය නැත. රටට උහුලාගත නොහැකි ඩොලර් ණය ප්‍රමාණයක් ගැනීමට ශ්‍රී ලංකා රජය පෙළඹවූයේ අන්තවාදී බලවේග, දෙමළ ඩයස්පෝරාව සහ විදේශීය බලවේග බවට පොහොට්ටු රජය ප්‍රකාශ කළත් පුදුම විය යුතු නැත. ජනාධිපති මාධ්‍ය ඒකකය පැඟිරිවත්ත පාරේ සිද්ධියෙන් පැය 24 ක් යෑමට පෙර අන්තවාදීන් එම ප්‍රහාරය එල්ල කළ චෝදනාව ජනතාව පිළිකුලෙන් බැහැර කළ බව අවධාරණය කළ යුතුය. පසුගිය සතියේ අගමැති මාධ්‍ය ඒකකය නිකුත් කළ ප්‍රකාශ නිවේදන අංක 767 (අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු නැතැයි පළාත් සභා මන්ත්‍රී සංසදය ඒකමතිකව තීන්දු කරයි), අංක 768 (අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පවතින පෝළිම් වහා නැති කළ යුතුයි, අංක 769 (රට අරාජික වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – අග්‍රාමාත්‍ය, අංක 770 (අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු නැතැයි ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව තීන්දු කරති සහ අංක 771 (ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියල මට විශ්වාසයි – අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ආණ්ඩුවේ අස්ථාවරභාවයයි.
පෙරමුණු කිහිපයක සටන් ඇවිලෙමින් පවතී. දේශපාලන අස්ථාවරත්වය සහ අවිශ්වාසය ශ්‍රී ලංකාව අකර්මණ්‍ය කර ඇත. ජාතික ආර්ථිකය කඩාවැටී ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.
සමස්තයක් ලෙස මහජන නියෝජිතයන් කරන සෑම ප්‍රකාශයක්ම තවදුරටත් අස්ථාවරත්වය වර්ධනය කරන බවද අවධාරණය කළ යුතුය. වර්තමාන ආර්ථික -දේශපාලන සහ සමාජීය අර්බූදය විසඳීමට රජයට, පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ ඉන් පිටත විපක්ෂයට ශක්තියක් තවදුරටත් නැත. ජනතාව වටහා ගත යුතු සත්‍ය එයයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ පැඟිරිවත්ත පාරේ මාර්තු 31 පුපුරා ගිය ජනතා විරෝධය මාසයක් තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ ප්‍රබල අර්බුදකට ලක් කර ඇත. රට මුහුණ දෙන අභියෝගය ජය ගැනීමේ ශක්තිය රජයට හෝ විපක්ෂයට නැත. රජය සහ විපක්ෂය කුමන ආකාරයට ඒකාබද්ධ වුවත් රට තුළ විසඳුමක් නැත. තිත්ත ඇත්ත එයයි. කෙටියෙන් කිවහොත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම විදේශීය බලවතුන් අතට පත්වී හමාරය.
විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් සමඟ ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ කොළඹ සිටින නියෝජිතවරයා පවසා තිබුණේ මානුෂීය ආධාර ලබා දීමට සූදානම් බවයි. ජනතාවට අවශ්‍ය බෙහෙත් ගැනීමට ජාත්‍යන්තරය මැදිහත් වී ඇති අවස්ථාවක මානුෂීය ආධාර ලබා දීමට රතු කුරුස සංවිධානය ඉදිරිපත් වීම පිළිබඳව පුදුම විය යුතු නැත. මහජන නියෝජිතයන් ලැජ්ජා විය යුතුය.
ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගැනීමට වර්තමාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම ඉන්දියාව සහ චීනය අතර විරසකයකට මෙන්ම චීන – ශ්‍රී ලංකා මිතුදම පළුදුවීමටද හේතු වූ බව පැහැදිලිය. තත්ත්වය ඉතාමත් බරපතළය. ඉන්දියාවට සහ චීනයට යටවී ඇති ශ්‍රී ලංකාවට නවදිල්ලිය හෝ බිජිං නායකත්වය කිසිසේත් අමනාප කරගත නොහැක. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම චීනයේ බලවත් නොසතුටට හේතු විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ පැවති තීරණාත්මක සාකච්ඡාවේදී ඉන්දියාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම චීනයට ඉහිලුම් නැත. ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය සම්බන්ධයෙන් විශේෂ තත්ත්වයක් අවශ්‍ය නොවන බවත් සියලු පාර්ශ්ව එකම ආකාරයෙන් සැලකිය යුතු බවත් ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැවසීම චීනයට අර්බුදකාරී තත්ත්වයකි. මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තරයේ උදව් බලාපොරොත්තු වන වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකානු බළල් අතක් බව සිහියේ තබා ගත යුතුය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව අවබෝධ කර ගත යුතු සත්‍ය වර්තමාන අර්බුදයට නැතහොත් අභියෝගයට විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට පිළිතුරු නොමැති බවයි.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන බල කණු තුනම දුර්වල වී ඇත. තීන්දු තීරණ ගත්තත් ඒවා ක්‍රියාත්මක කිරීමේ මූල්‍යමය ශක්තිය නැත. බොරු ෂෝක් හමාරය. සමස්තයක් ලෙස දේශපාලන න්‍යායන්ට අනුගතව කටයුතු කළ සියලුම මාධ්‍යද වර්තමාන ආර්ථික – දේශපාලන සහ සමාජීය කඩාවැටීමට වගකිව යුතුය. ප්‍රථිපලය පැහැදිලිය. නිදහසින් පසුව ශ්‍රී ලංකාව මේ අකාරයෙන් අසරණභාවයට පත්වූ අවස්ථාවක් නැත.
පෙරමුණු කිහිපයක සටන් – පැඟිරිවත්ත පාරේ මාර්තු 31 සිදුවූ ‘ජනතා පිපිරීම’ සහ අප්‍රේල් 28 වැඩවර්ජනය අතරතුර සමස්ත දේශපාලනය උඩු යටිකුරු කළ සිදුවීම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත් වියයුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් මතුවූ ප්‍රබල ඉල්ලීමයි.
එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ 145 වූ මහජන නියෝජිතයන්ගේ කණ්ඩායමෙන් තුනෙන් එකක් අගමැතිවරයා ඉවත්විය යුතු බවට ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම නැතහොත් වර්තමාන දේශපාලන අර්බුදය විසඳීමට අගමැතිවරයා බලවත් බාධාවක් බව පැවසීම අස්ථාවරත්වය අවධාරණය කරයි. නමුත් දේශපාලන අර්බුදය විසඳීමෙන් පමණක් ආර්ථික සහ සමාජීය අභියෝග ජයගත නොහැකි බව අමුතුවෙන් කිවයුතු නැත.
කවුරු කීවත් නොකීවත් අගමැතිවරයා තවදුරටත් ප්‍රශ්නයේ කොටසක් මිසක් පිළිතුරක් නොවේ. දේශපාලන උප්පරවැට්ටි වලින් පමණක් අර්බුදය කිසිසේත් විසඳිය නොහැකි බව රජය සහ විපක්ෂය වටහා ගත යුතුය. නමුත් දෙපාර්ශ්වයම වර්තමාන තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගෙන නැත. සාම්ප්‍රදායික ක්‍රියාමාර්ගවලින් පමණක් අර්බුදය විසඳීමට නොහැකි තත්ත්වය ආණ්ඩු පක්ෂය, ආණ්ඩුවෙන් වෙන්වූ කණ්ඩායම සහ විපක්ෂය තවමත් තේරුම් ගෙන නැත. දේශපාලන – ආර්ථික සහ සමාජීය අර්බුදය මාසයක් තුළ පරාජය කළ නොහැකි මහා රකුසෙකු බවට පත්වූයේ රජයට එල්ලවූ දේශපාලන අභියෝගයේ දිග පළල නිසියාකාරයෙන් තේරුම් ගැනීමට අවශ්‍යතාවයක් නොතිබූ නිසාය.
මාර්තු 31 දින පැඟිරිවත්තේ පාරේ පුපුරා ගිය ජනතා බෝම්බය, අප්‍රේල් 03 රට පුරා පැවැත්වූ විරෝධතාවයක් බවට පත්වී අප්‍රේල් 09 දින ‘ගෝ ගෝඨා හෝම්’ ව්‍යාපාරය ලෙස ගාලු මුවදොර අත්පත් කර ගැනීම ඓතිහාසික දේශපාලන සිදුවීමකි. වර්තමාන රජය ක්‍රියාකළ ඉතාමත් අදූරදර්ශී, උද්දච්ඡ සහ මුරණ්ඩු ක්‍රියාකලාපය හේතුවෙන් ඇතිවූ සමාජීය කැළඹීම ‘ගෝ ගෝඨා හෝම්’ ව්‍යාපාරය බවට පත්කළ බලවේගය සාම්ප්‍රදායික දේශපාලනය /පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය කකුල් දෙකෙන් උස්සා පොළොවේ ගසා ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක මෙහෙයුම පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ දේශපාලන පක්ෂයක හෝ ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයෙන් ආරම්භ වූවානම් එම ක්‍රියාදාමය පැය 24 පවත්වාගෙන යෑමට ඔවුන්ට ශක්තියක් නැත. ඔවුන්ට ජනතා ආකර්ෂණයක්ද නැත. ජනතාවට ආණ්ඩුව මෙන්ම විපක්ෂය සම්බන්ධයෙන්ද විශ්වාසයක් නැත. තිත්ත ඇත්ත එයයි.
ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය භුමියේ තත්ත්වය තවමත් නිසිලෙස වටහා ගෙන නොමැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර ඇතිකර ගන්නා පුළුල් එකඟතාවයකින් ‘ගෝඨා ගෝ ගම’ හෝ අගමැතිවරයාගේ නිළ නිවාසය වන අරලියගහ මන්දිරය ඉදිරිපිට අප්‍රේල් 26 දින ආරම්භ කරන ලද ‘මහින්ද ගෝ ගම’ මෙහෙයුම අවසන් කළ හැකිද? නොයෙකුත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති නායකත්වය දෙන වැඩ වර්ජන රැල්ලකට මුහුණ දිය හැකිද. කවුරු බලයේ සහ විපක්ෂයේ සිටියත් වටහා ගත යුතු සත්‍ය රජයට එරෙහිව ක්‍රියාත්ම මෙහෙයුමේ සාර්ථකත්වය ඊට ලැබුණු මීට පෙර කිසිදු තත්ත්වයක් සමඟ සංසන්ධනය කළ නොහැකි පුළුල් ජනතා සහභාගිත්වයයි. ආණ්ඩුව මෙන්ම විපක්ෂයද මෙම තත්ත්වය අවබෝධ කර ගත යුතුය.
මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටින සමාජවාදී පෙරටුගාමී පක්ෂය මෙන්ම අනෙකුත් කණ්ඩායම්ද භූමියේ තත්ත්වය සැබෑ ලෙසම අවබෝධ කරගත යුතුය. අසාර්ථක රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හංවඩු ගැසීමට ද්‍රවිඩ ත්‍රස්තවාදයට එරෙහිව අප රට සටන් කළ කාලයේ යම් බටහිර බලවේග සහ ඔවුන්ගේ අතකොළු උත්සහා කළ බව රහසක් නොවේ. එම දුෂ්ට අරමුණු ඉටු කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. නමුත් වසර 30 පමණ කාලය තුළ, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී (2005 – 2014) ආණ්ඩුව ලබාගත් දේශීය සහ විදේශය ණය කන්දට ශ්‍රී ලංකාව යටවී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමගම ඇතිවූ කොවිඩ් ව්‍යසනය ණය බෝම්බය පුපුරා යෑම වසර කිහිපයකින් ඉක්මන් විය. ඒ ආදායම් මාර්ග නැතිවී යෑම නිසාය. ඇත්ත වශයෙන්ම කොවිඩ් ප්‍රහාරයට ශ්‍රී ලංකාව ලක්වීමට පෙර විදේශ ණය අර්බුදය නිර්මාණය වී තිබිණි. ජනාධිපතිවරණය පවත්වන අවස්ථාවේදී මහා බැංකු අධිපති ලෙස කටයුතු කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි තමන් දැරූ තනතුරින් ඉවත් වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට ජාතික ආර්ථිකය මුහුණ දී ඇති සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළේය.
පොහොටුවේ නායකත්වය එතුමාගේ උපදෙස් ඉවත දැම්මේය. ගෝඨාභය රාජපක්ෂට 2019 නොවැම්බර් මාසයේ ලැබුණු ලක්ෂ 69 ජනවරම සහ පොහොට්ටු පක්ෂයට 2020 අගෝස්තු ලැබුණු තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තුවේ බලය අනුවණ දේශපාලන නායකත්වයට සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනාට අවියක් විය. කිසිදු අවවාදයක්, අනතුරු ඇඟවීමක් සැලකිල්ලට ගත්තේ නැත. යහපාලන ආණ්ඩුවද මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ කාලයේ ජාත්‍යන්තරයෙන් ගත් ණය පියවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත් බවද ආචාර්ය කුමාරස්වාමි ඉහළම නායකත්වයට අවධාරණය කළේය. එම අවවාදයෙන් කිසිදු පලක් නොවීය. ආචාර්ය කුමාරස්වාමි තනතුරින් ඉවත් විය. මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් (දෙසැම්බර් 2019 – සැප්තැම්බර් 2021) සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ අජිත් නිවාඩ් කබ්රාල් (සැප්තැම්බර් 2021 – මාර්තු 2020) කළ හරිය ජනතාව දනී. අත්‍යවශ්‍ය සියලුම ආහාර පාන, භාණ්ඩ සහ සේවා ජනතාවට උහුලාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇත්තේ මුදල් මණ්ඩලය කැබිනට් මණ්ඩලය නොමඟ යැවූ නිසාද ?
නැතහොත් පස් දෙනකුගෙන් සමන්විත මුදල් මණ්ඩලය දුන් උපදෙස් කැබිනට් මණ්ඩලය නොසලකා හැරිය නිසාද? නැතහොත් මෙම හේතු දෙක නිසාද? මුදල් මණ්ඩලය සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත වේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට උපදෙස් දීමට එමෙන්ම ජනතාවට වගකිව යුතු සහ වගවිය යුතු මූල්‍ය මණ්ඩලයේ එවකට සිටි සාමාජිකයන් හඳුනා ගනිමු. ඒ මහා බැංකු අධිපතිවරයා (මහාචාර්ය ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්), මුදල් ලේකම් (එස්. ආර්. ආටිගල), ආචාර්ය රානි ජයමහ, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ සමන්ත කුමාරසිංහයි. මූල්‍ය මණ්ඩලයේ වගකීම සහ වගවීම සාමුහික විය යුතුය.
පොහොට්ටු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක පාර්ලිමේන්තුවේ මූල්‍ය කොමිටිය මූල්‍ය මණ්ඩලයේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළේය. ඒ වර්තමාන මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් කරුණු විමසීමට පාර්ලිමේන්තුවට කැඳවීම නොසලකා හැරිය බවට චෝදනා කරමිනි. ශ්‍රී ලංකාව මුහුණ දෙන සමස්ත අර්බුදය සම්බන්ධයෙන් විමසීමේදී මූල්‍ය මණ්ඩලය කටයුතු කළ ආකාරය අවධානයට ලක් කළ යුතුමය. මූල්‍ය මණ්ඩලය ආර්ථික අර්බුදය විසඳීමට ඇති ප්‍රධානම විසඳුම ලෙස මුදල් අච්චු ගැසීම ලෙස තීරණය කළ බව පැහැදිලිය. ගෝඨාභය රාජපක්ෂ රජයේ පළමු මුදල් ඇමැති අගමැති මහින්ද රාජපක්ෂ සහ එම තනතුරට 2021 ජුලි මසදී පත්වූ බැසිල් රාජපක්ෂ මුදල් අච්චු ගැසීම කර්මාන්තයක් ලෙස කළ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.
මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් පැවති සියලු වාර්තා අලුත් කළේය. උද්ධමනය නහුතෙටම නැග්ගේය. තීන්දු තීරණ ගන්නා පොහොට්ටු කණ්ඩායම ආර්ථිකය විදුලි වේගයෙන් විනාශ කළේය. අවසානයේ රුපියල 2022 මාර්තු මාසයේ මුල හදිසියේම අවප්‍රමාණය කරන විට ආර්ථිකය හතර ගාතෙන් වැටී අවසානය. ආණ්ඩුවේ හිතුවක්කාර, වගකීම් විරහිත ක්‍රියාදාමය දේශපාලන සුනාමියක් නිර්මාණය කළ බව වටහා ගැනීමටවත් පොහොට්ටු රජයට වුවමනාවක් නැත. රජය පලවාහැරිය යුතු බවට අති බහුතරය තීරණය කළේ ජනාධිපතිවරයාගේ පැඟිරිවත්ත පාරේ පිහිටි නිවාසය ඉදිරිපිට මාර්තු 31 දින විරෝධතාවයට පෙරය. කුරුණෑගල බුවනෙකබා රාජ මණ්ඩපය විනාශ කර (2020 ජුලි) ආරම්භ කළ පොහොට්ටුවේ පිරිහීම ආලවිලුන්දාව රම්සා තෙත් බිම විනාශ කිරීම (2020 සැප්තැම්බර්) සමඟම වේගවත් විය. ‘යහපාලනය’ ඇතුළුව ඊට පෙර පැවති සෑම ආණ්ඩුවක් සේම ‘සෞභාග්‍යයේ දැක්ම ද’ වැරදිකරුවන් ආරක්ෂා කිරීම ඉහළින්ම කළේය.
එවකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතියට අභියෝග කළේ කුරුණෑගල සිද්ධියට වගකිවයුතු ප්‍රධාන සැකකරුගේ මයිලකටවත් අත තැබීමට තමන් ඉඩ නොදෙන බවයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ කාර්යාලය හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරාදැමීමේ චෝදනාවට වැරදිකරු වූ ආර්. දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව ඉල්ලා ආණ්ඩු පක්ෂ කණ්ඩායමෙන් අත්සන් ගත්තේය. (2020 ඔක්තෝබර්) පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයන් එම පෙත්සමට දායක විය. ගෝඨාභය රාජපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීම ඉටු කළේය (2021 ජුනි). ජනාධිපති සමාව ලැබූ හිටපු මහජන නියෝජිත කලක් ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ ආර්. දුමින්ද සිල්වාට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය පිරිනැමිණි. යහපාලන ජනාධිපති වූ මෛත්‍රිපාල සිරිසේන අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 19 ක සිර දඬුවමක් ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දුන්නේය. ඒ 2019 මැයි මාසයේදීය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඥානසාර හිමියන්ව ‘එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස පත් කළේය. ඒ 2021 ඔක්තෝබර් මාසයේදීය. පොහොට්ටු රජය තමන් විසින්ම නොයෙකුත් අර්බුද නිර්මාණය කරමින්, ඉතාම හදිසියෙන් විසඳිය යුතු ආර්ථික ප්‍රශ්නය පසෙකින් තැබුවේය. අභියෝගය විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙනුවට මාධ්‍ය සංදර්ශන පවත්වමින් විදේශ මුදල් අර්බුදය වර්ධනය වීමට ඉඩ හැරියේය. මහා බැංකු අධිපතිවරුන් දෙදෙනාම සහ එවකට ජනාධිපති ලේකම් වූ ආචාර්ය පී. බී. ජයසුන්දර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව දිගින් දිගටම අවධාරණය කළ බව රහසක් නොවේ. මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් පල කළේ නැත. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයට 2021 ජුලි මාසයේදී පත්වූ පසුවත් තත්ත්වයේ වෙනසක් නොවීය. විදේශ මුදල් අර්බුදය තවදුරටත් වර්ධනය වීමට ඉඩ හැරියේය. නව අර්බුදයක් නිර්මාණය කළේය. ඒ 2021 ජුලි මාසයේදී කඩිමුඩියේ ගත් තීරණයක් මත 2021 සැප්තැම්බර් 17, 2021 මධ්‍යම රාත්‍රියේ යුගදනවි බලාගාරයේ ආණ්ඩුව සතු කොටස් 40% ඇමෙරිකානු ඉතාමත් ආන්දෝලනාත්මක ආකාරයට විකුණා දැමීමෙනි.
එදා ජනාධිපතිවරයාද එම තීන්දුව සමඟ සිටිය බව අමතක නොකරන්න. යුගදනවි ගිවිසුම ආරක්ෂා කිරීමට පැවති මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායකගේ ප්‍රධානත්වයෙනි.
කිසිදු පසු විපරමක් කිරීමට පොහොට්ටු බලවතුන්ට සහ ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් නොවීය. අවසන් ප්‍රතිඵලය 50 කට ආසන්න පොහොට්ටු මන්ත්‍රීවරු ගණනක් අගමැතිවරයා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලයට එරෙහි වීම නොවේද?
‘ගෝ ගෝඨා හෝම්’ ජනතා ව්‍යාපාරය සමස්ත දේශපාලන ක්‍රමයටම, විශේෂයෙන්ම ආණ්ඩුවට එල්ල කරන අභියෝගය පිළිබඳව විමසා බැලිය යුත්තේ පොහොට්ටු පක්ෂය දෙකඩ වීම පිළිබඳව ද අවධානය යොමු කිරීමෙනි.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ