නායක්කර්වරු කවදාවත් රට පාවලා දුන්නේ නැහැ
ජෝන් ඩොයිලි තමයි ජාතිවාදය ලංකාවට හඳුන්වලා දුන්නේ
නායක්කර් පරපුර 192 වතාවක් රජුට වාර්ෂික දානය දුන්නා
අරුන් සෙල්වරාජ් රජකු නොවේ. එහෙත් අදටත් අරුන් මහනුවර ගුරුදෙණියේ ජීවත් වන්නේ රාජ්‍ය සම්භවයක් සහිත පරපුරක් ලෙසය. නිවැරදිව කිවහොත් අරුන් සෙල්වරාජ් සිංහලේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගේ නායක්කර් පරම්පරාවේ පුරුකකි.
“බලගොල්ල, තෙල්දෙණිය, සිරිමල්වත්ත, කෙන්ගල්ල, තෙළඹින්න, ගුරුදෙණිය මේ හැම තැනකම නායක්කර් පරපුරේ ඥාති පිරිස් ජීවත් වෙනවා. නායක්කර් රජ පරපුරේ උරුමක්කාරයෝ සෙංකඩගල පුරවරයේ පැතිරිලා හිටියත් ඒ අයගෙන් බහුතරයකටම දෙමළ කතා කරන්නවත් බැහැ. මොකද ඉංග්‍රීසින් රජුගේ පරපුර හොයන්න ගත්ත මොහොතේ ඉඳන් නායක්කර් පරපුර ජීවත් උනේ හැංගිලා නැත්නම් වෙස්වලාගෙන. පවුල් අතරේ කතාබහ ඇති උනෙත් සිංහල භාෂාවෙන් පමණයි. ඒ නිසාම දෙමළ කතා කරන්න උරුවක් ඇති වුණේම නැහැ.”
මේ ආකාරයට කතාබහ ඇරඹුයේ අරුන් සෙල්වරාජ්. අරුන් ජීවත් වන්නේ මහනුවර ගුරුදෙනියේ. ඔහු අපට මුණ ගැහෙන්නේ මහනුවර නාථ දේවාලයේ දී. ජනවාරි 31 වැනිදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිහිපත් කරමින් පැවැත්වුණු පුණ්‍යෝත්සවයේදී.
“මේ පින්කම අද පැවැත්වුණේ එකසිය අනූ දෙවැනි වතාවට. එදා ශ්‍රී වික්‍රම රාජසිංහ එහෙමත් නැත්නම් කන්නසාමි නායක්කර් වෙල්ලෝරේදී මිය ගිය දවසේ පටන් වාර්ෂිකව මේ පින්කම පවුලේ අය විසින් නාථ දේවාලයේදී පවත්වා තිබෙනවා. මේ පින්කම පරම්පරාවෙන් අපට උරුම වී තිබෙන පින්කමක්. අපේ උරුමය වෙනුවෙන් අපි නොකඩවා පින්කම නාථ දේවාලයේදී දිගින් දිගටම පවත්වනවා.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 192 වැනි පුණ්‍යොත්සවය
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජ කරන සමයේ දවසේ වැඩ ආරම්භ කිරීමට පෙර දළදා සමිඳුන් වැඳ පුදා රටට දැයට සෙත් පතන්නට පුරුදුව තිබෙන බව අපි අහලා තියෙනවා. ඉන් පසුව ඔහු නාථ හාමුදුරුවන්ටවත් පිළිවෙත්කොට පූජෝපහාර පවත්වා ආශිර්වාද ලබාගෙන තිබෙන බවත් අසා තිබෙනවා. රාජ්‍යත්වය හිමි වූ අවස්ථාවේ ඔහු කන්නසාමි නායක්කර් නමින් ප්‍රකටවයි සිටියේ. ඒ නමයි ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙස වෙනස් කරමින් නාථ දෙවොලේ රජගල මත නම් ප්‍රසිද්ධ කොට ඔටුන්න පළඳවා රජකම ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඊට කෘතෝපකාරයක් ලෙස ගෞරවය භක්තිය පුද කරමින් නාථ දෙවොලට පින්කම් කිරීමට එතුමන් පුරුදුව තිබුණා. අපි ඔහුගේ පරපුරේ පුරුක් ලෙස අදටත් ඒ ගෞරවය රැකගෙන රජු වෙනුවෙන් ඉදිරියටම පින්කම සිදුකරගෙන යනු ලබනවා…”
නායක්කර් පරපුර ලංකාවට සේන්දු වන්නේ ඉන්දියාවෙනි. නායක්කර් නම් වූ ගෞරව නාමය ඔවුනට හිමි වන්නේ කපුබලීජා ගෝත්‍රයේ තෙලිගු සම්භවයක් ඇති විජය නගර මදුරෙයි නායකවරුන්ගේ රාජකීය පරපුරෙනි. සුබ්‍රම්මානායක්කර් වන මවට සහ වෙන්කඩ පෙරුමාල් පියාට දාව පුදුකෝට්ටේ පූලම්පිට්ටි නගරයේදී උපන් කන්නසාමි නායක්කාර් හෙවත් ශ්‍රී ලංකාවේ කන්ද උඩරට අවසන් රාජපුත්‍රයාගේ පරපුර අදටත් ජීවමානව වෙසෙන බව දක්වන්නට හොඳම සාක්ෂිය අරුන් සෙල්වරාජ් පැහැදිලි කර දෙන පරම්පරා විස්තරයයි. එය තහවුරු කරන්නට ඔහු වෙසෙන නිවසත් ඔහුගේ පවුලේ සෙසු අය වෙසෙන ස්ථානත් නිදසුන් ලෙස දැක්විය හැකිය.
වෙන්කඩ රංගම්මාල් යනු කන්නසාමි නායක්කර්ගේ අගමෙහෙසියය. ඇයගේ නාමයෙහි වෙන්කඩ නාමය හිමිව ඇත්තේ තිරුපති කෝවිලෙහි දෙවියන් හඳුන්වන නාමයට සමාන කොටගෙනය. ඒ සියල්ලන්ගෙන්ම ගම්‍ය වන්නේ පරපුරෙහි ඇති උසස් වංශවත්භාවය බව අරුන් පෙන්වා දෙන්නේය. එම පරපුරෙහි වගතුග ඔහුගේ වචනයෙන් අපට දැක්වූයේ මෙසේය.
“මම අරුන් සෙල්වරාජ්. මගේ අම්මා ක්‍රිෂ්ණවේලි. තාත්තා 1938 උපන් මනෝහරන් සෙල්වරාජ්. අම්මා උපන්න 1948 දී. ඇයගේ අම්මා ඒ කියන්නේ මගේ අත්තම්මා 1917 දි උපන් තංගම්මාල්. තංගම්මාල් අත්තම්මාගේ ස්වාමිපුරුෂයා රාමායියා පිල්ලේයි. ඔහු රාම ස්වාමී නායක්කර් ලෙසත් හැඳින්වුවා. ඔහු උපන්නේ 1910 දී.
තංගම්මා අත්තම්මාගේ අම්මා මගේ මුත්තම්මා ලෙච්චමී අම්මාල් සීනිවාසනායක්කාර්. ඇය උපන්නේ 1902 දී. ඒ කාලේ තමයි ශ්‍රී ලංකාවට ජාතික හැඳුනුම්පතක් නිර්මාණය වෙලා තියෙන්නේ. හැඳුනුම්පත පළමු අදියරේදී හඳුන්වා දෙන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හැඳුනුම්පත සකස් කරලා තියෙනවා. දෙවෙනි අදියරේ හැඳුනුම්පත සකස් කරන විට ලෙච්චමිඅම්මාල් මුත්තම්මගේ හැඳුනුම්පත සකස් කරලා තියෙනවා. අදටත් ඒක අපි ළඟ තියෙනවා.
මුත්තම්මගේ ස්වාමියා 1887 උපන් වේලායුදම්. වේලායුද මුත්තා මියගියා කියලා අපේ ගෙදර පින්කම් තියෙනවා පුංචි කාලේ මට මතකයි. මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවම ඉන්නේ ලෙච්චමී මුත්තම්මත් එක්ක. දැන් අපි ජීවත් වෙන ගුරුදෙණියේ ගෙදර තමයි ඇයත් හිටියේ. ලෙච්චමී මුත්තම්මගේ තාත්තා සිරිනිවාස නායක්කර්. හරියට බැලුවොත් මට වෙන්නේ නත්තා. ඔහුගේ බිරිඳ සාවිත්‍රිඅම්මාල්.
නත්තගෙ තාත්තා නාරායන ස්වාමිනායක්කර්. ඔහු මට නෑකමින් පනත්තා. ඔහුගේ බිරිඳ බංගාරුත්තම්මාල්. මේ දෙන්නගෙ දුව තමයි සුබ්‍රම්මානායක්කර් ඒ කියන්නේ කන්නසාමි නායක්කර්ගේ මව.
සුබ්‍රම්මානායක්කර් මට වෙන්නේ කිත්තම්මා. ඔහුගේ ස්වාමියා වෙන්කඩ පෙරුමාල් ඒ කියන්නේ මට වෙන්නේ කිත්තා. රාජසිංහ රජතුමාගේ පියා. අපි දැන් භාවිතා කරන විදිහට කිව්වොත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මට වෙන්නේ කිත්තගේ පුතා…”
අත්තා මුත්තා නත්තා පනත්තා කිත්තා යන පරම්පරා නෑ සනුහරේ නායක්කර් වංශිකයින්ගේ වාසස්ථාන ඉඩකඩම් ඒ කිසිවකින් සනාථ කරනවාට වඩා ඔවුනොවුන්ගේ දේහ ලක්ෂණ හැඩ හුරුකම් මත සනාථ කිරීම ඉතා පහසුය.
“දැන් ලංකාවේ ජීවත්වෙන නෑදෑයින් අතරේ කන්නසාමි නායක්කර් මුහුණුවර තිබෙන අය ඉන්නවා. නෑදෑ වෙන දියණියක් වෙන්කඩ රංගම්මාගේ හැඩහුරුකම් ඒ විදිහටම තියෙන බව පෙන්නුම් කරනවා. අපි පුංචි කාලේ ලෙච්චමි මුත්තම්මා නිතරම කියනවා මේ මුණුබුරු මිණිපිරියො රජ කාලේ ඉඳන් එන පරපුරක පුරුක් කියල. ඇත්තෙන්ම සමහරු අදටත් හුඟක් උස මහත ගණ රැවුල කොණ්ඩේ තියෙන අය.
මුත්තම්මා මියගියේ 1985 වගේ කාලෙ. රජතුමා ගුන්නෑපානේ විවේක ගන්න ගිය නිවසක් තිබිලා තියෙනවා. රාජමලී කියල තමයි එතන හඳුන්වලා තියෙන්නේ. කෙන්ගල්ල පැත්තේ. දැන් ඒ නම බිඳිලා රාසමලේ කියලා ප්‍රකටයි.
රජතුමා බලගොල්ල, පිලවල, තෙලඹින්න, කෙන්ගල්ල, තෙල්දෙණිය, සිරිමල්වත්ත මේ හැම තැනම අම්බලම් හදලා තියෙනවා. ඒ වගේ නටබුන් නම් අදටත් දකින්න තියෙනවා.
රජකාලෙ තිබුණ ගෙවල් බොහොමයක් අද දකින්නට නොලැබෙන්නේ ඉංග්‍රීසින්ට බයේ ඒවා විනාශ කරලා හොයාගන්න බැරි තැන්වල පවුලේ උදවිය ජීවත් වුණ නිසයි.
ගුරුදෙණියෙ මාරියම්මාන් කෝවිල බුද්දර් නායක්කර් හදපු එකක්. එයත් අපේ පවුලේ කෙනෙක් තමයි. 1930දි විතර රාමයියාපිල්ලෙ ගල් දෙකක් තියලා ඒකට වැඳුම් පිදුම් කරලා තියෙනවා. ක්‍රම ක්‍රමයෙන් ඒක දියුණු වෙලා තමයි මාරිඅම්මාන් කෝවිල ඉදිවෙලා තියෙන්නේ.
මට මතකයි ලෙච්චමි මුත්තම්මා කියනවා වේලායුදම් සීයා කෑම කාපු හැටි.., එක බත් කටකට එක වෑංජනයයිලු කෑවෙ. කිරි හොද්දක් මැල්ලුම් වර්ග හතරක් පහක් අනිවාර්යෙන් තියෙන්න ඕනෙලු. ඒ විතරක් නෙමෙයි රාමසාමී නායක්කර් සීයා කෑම කෑවෙත් වෑංජන ගොඩාක් එක්ක. මට මතකයි සීයා කාල ඉවර වෙනකන් තංගම්මාල් ආච්චි පැත්තක හිටගෙන ඉන්නවා. සීයා අන්තිමට මී කිරිත් එක්ක බත් කනවා මට මතකයි.
ඒවා පරම්පරාවෙන් ආපු ගති විදිහට තමයි මුත්තම්මා පුංචි කාලේ අපිට කියලා දුන්නෙ…”
අරුන් සෙල්වරාජ්ගේ කතාබහ අතරේ මතු වුණ ප්‍රබල කාරණයක් වූයේ රජතුමාගේ භාෂා පරිවර්තකයින්ගේ තොරතුරුය. ඉංග්‍රීසි භාෂාව දෙමළට පරිවර්තනය කර රජුට කරුණු වටහා දී ඇත්තේ ඔවුන්ය. එය සනාථ කිරීම සඳහා ඔහු සතුව භාෂා පරිවර්තකයන්ගේ උප්පැන්න සහතික පවා තිබිණි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ එක් භාෂා පරිවර්තකයෙක් වූයේ තම්බි මුදලි චෙට්ටියාර්ය. තම්බි මුදලි චෙට්ටියාර් යනු ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ මුත්තාය. අනෙක් භාෂා පරිවර්තකයා රාජ කුමාරන් කදිරවේලු ය. ඔහු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මුත්තාය. වඩුග සම්භවයෙන් දකුණු ඉන්දීය ජාතිකයන් ලෙස මෙහි පැමිණි ඔවුහු රජුට පක්ෂපාතිව කටයුතු කර ඇත්තාහුය.
අරුන් සෙල්වරාජ් වරින් වර කතාබහ අතරතුර කියා සිටියේ අද අප දන්නා ඉතිහාසයේ ඇතැම් වගතුග නිවැරදි නොවන බවය. (ඇහැළේපොළ කුමාරිහාමි, රාජ්‍ය අමාත්‍යවරු පිළිබඳ වූ ඇතැම් කතා බහ සාක්ෂි සහිතව ඉදිරියේදී කතා කරන්නට ‘ඉරිදා දිවයින’ අපි අපේක්ෂා කරමු).
“ඉතිහාසයේ මොනවා ලියවිලා තිබුණත් රජතුමා රට පාවා දුන්නේ නැහැ. ලෝකේ හැම රාජධානියක්ම පාහේ ඉංග්‍රීසීන් විසින් අත්පත් කරගත්තා. නමුත් 1803 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා උඩරටදි කළේ ගරිල්ලා සටනක්. ඒ නිසා තමයි කන්ද උඩරට සටනින් අත්පත් කරගන්නට නොහැකි වුණේ.
ජෝන් ඩොයිලි උපක්‍රමශීලී ලෙස එකිනෙකා අතර භේද භින්න ඇති කරමින් රජතුමා දුර්වල කරන්න උත්සාහ ගත්ත බව අපි අමතක කළ යුතු නැහැ. කෙටියෙන්ම කිව්වොත් ජාන්ඩයිලි කරේ දා ජීවත්වෙන සාමාන්‍ය මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් කළ එක. ඔහු කළේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කළ එකයි. ඒ හරහා මිනිසුන් රජු පිළිබඳ ව පිළිකුල් ස්වභාවයක් ඇතිකර ගත්තා. නිවැරදි පුද්ගලයා වැරදි පුද්ගලයකු ලෙසත් වැරදි පුද්ගලයන් නිවැරදි පුද්ගලයන් ලෙසත් සමාජගත කිරීම තමයි ඔහු කළේ. තවත් විදිහකට කිව්වොත් ජාතිවාදය ලංකාව තුළ ඇතිකිරීම ආරම්භ කළේ ජෝන් ඩොයිලි. ඔහු තමයි දමිළ ජාතිකයන් “පරදෙමළා” ලෙස හැඳින්වූයේ. අන්තිම රාජධානිය කන්ද උඩරට ඓතිහාසික මහනුවර කියලා උදම් අනන කාටවත් බැරි වුණා මේ කාරණා මතු කරලා ඒ වගේ වැරදි නිවැරදි බව සමාජගත කරන්න.
අද අපිට කනගාටුදායකම සිද්ධිය අදටත් ජෝන් ඩොයිලි, බුදුන් වහන්සේගේ මුදුන්මල්කඩවන් දළදා සමිඳුන් වැඩ සිටින දළදා මැඳුරට ඉහළින් භූමියේ භූගතව සැතපෙනවා.
මිනිසුන් අතර දෙවියන් වහන්සේ ලෙස සලකපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අවසන් වරට ඉල්ලා තිබුණේ ඔහුගේ මරණින් පස්සේ බුදුදහමේ ක්‍රියා පිළිවෙත් අනුව පාංශුකූලය දී අවසන් කටයුතු සිදු කරන ලෙස. නමුත් එය එසේ සිදුකොට තිබුණේ නැහැ. මෑත කාලීනව සිරිධම්ම හාමුදුරුවෝ ඉන්දියාවට ගිය වෙලාවක ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සුසාන භූමියට ගොස් පාංශුකූලය දී වත් පිළිවෙත් සිදුකොට තිබුණා. නායක්කර් පවුලක් විදිහට අපි උන්වහන්සේට අපේ ගෞරව ප්‍රණාමය පුදකර සිටිනවා…”
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එදා සෙංකඩගල පුරවරයේදී බුදුදහමට දැඩි ඇල්මක් දැක්වූ බවට සාක්ෂි එමටය. කෘෂිකර්මාන්තය ද නඟා සිටුවමින් ජනතාව ස්වයං පෝෂිතව තැබීමටත් කැප වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙහෙර විහාර ඉදිකරමින් බුද්ධාගම රට තුළ ප්‍රචලිත කිරීමට දැරූ වෙහෙස සනාථ කරන්නට කරුණු බොහෝය. එපමණක් ද නොව එදා ඇසළ පෙරහැර මංගල්ලයේදී එතුමන් දළදා සමිඳුන්ට ගෞරව ප්‍රණාම දැක්වූ අන්දම ද අපූරුය.
“එදා රජතුමා පෙරහැර බලලා තියෙන්නේ පත්තිරිප්පුව මත ඉඳලා නෙවෙයි. පෙරහැර කරඬුව වඩම්මවන විට කරඬුවට පහළ තැනක සිට පෙරහැර නැරඹිය යුතුයි කියන හැඟීම ඔහුට තිබිලා තියෙනවා. ඒ වෙනුවෙන් පෙරහැර නැරඹීමට පත්තිරිප්පුවක හැඩය ඇති තාවකාලික ස්ථානයක් මහමළුවේ නිර්මාණය කොට එතැන් සිට පෙරහැර බැලූ බවට තොරතුරු තිබෙනවා. එතුමන් පිළිබඳ පවුල තුළ ඇති ඓතිහාසික තොරතුරු මත බෞද්ධාගමට තිබූ ලැදියාව, දෙවියන්ට බඹුන්ට තිබූ භක්තිය මෙපමණයි කියලා කියන්න බැරි තරම්…”
ඉතිහාසය අනාගතයේ ශක්තිය ලෙස භාවිත කරමින් රටේ උන්නතිය උදෙසා වර්තමානයේදී කටයුතු කරන්නට ඕනෑම නායකයෙකුට හැකියාව ඇත. අවසන් රාජධානියේ ප්‍රෞඪත්වය නැවත සිහිපත් කරනු වස් අරුන් සෙල්වරාජ් කළ ප්‍රකාශයක් උපුටා ගමි.
“අපේ විශ්වාසයක් තියෙනවා රජතුමා මියගියත් තාමත් අපි අතර ඉන්නවා වගට. එතුමන් සිහිපත් කර පවත්වන පින්කම් ආසන්න වන විට ඊට අවැසි සාක්ෂි අපිට ලැබෙනවා. මෙවරත් නාථ දේවාලයේ පින්කම තිස්එක් වෙනි දින පැවැත්වෙන බවට නාථ දේවාලයට ගොස් සිහිකරන්නට අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අපි පින්කම දා යන විට දෙවොලේ සිටි කපු මහතා අපට කියා සිටියා ‘අද පින්කම තියෙනවා කියලා මතක් කරන්න ඊයේ උස මහත්තැන් කෙනෙක් ආවා නේද?” කියා. එය අපව පුදුමයට පත් කරන ප්‍රකාශයක් වූවා පමණක් නොව උස මහත දේහධාරී පුද්ගලයකු අපි සමග වෙසෙන බවට කළ ඉඟියක් ද විය.
සමන්ති වීරසේකර