ගුණාත්මක ඵලදායි ගුරුවරයකු තුළ දරුවන් ඉලක්ක කරා ගෙන යෑමේ දී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ විෂයානු බද්ධ කරුණු කාරණා හැරෙන්නට සිසුන් ප්‍රබෝධමත් කළ හැකි ක්‍රියාකාරකම් මෙන්ම රටට දැයට සහ පරිසරයට ආදරේ කරන මිනිසුන් පිරිසක් බිහි කිරීම සඳහා වූ වගකීම් ගොන්නක් නිතැතින්ම පැවරී ඇත්තේය.

වර්තමානය තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන ගුරු භූමිකාව හා ගුරු සංගම්වල ඇතැම් ක්‍රියාකාරකම් ගුරුවරයාට ඇති ගෞරවය සහ පෞරුෂය සමාජයෙන් ගිලීහී යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවට සමාජීය කතාබහට ලක්වූ කරුණු කාරණයක් වන්නේය.

වර්තමානය වනවිට ආර්ථික ප්‍රශ්න සහ සමාජයේ ගැටලු හේතුවෙන් තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලීම් දිනාගැනීමට නේක විද ගුරු සංගම් ඉදිරිපත්ව සිටින අතර මේවා දේශපාලන කර පෙවීම් හේතුවෙන් තීව්‍ර වී ඇති බව සමාජ මතයයි. නමුත් තම අයිතිවාසිකම්වලින් ඔබ්බට ගොස් පරිසරයට ආදරය කරන රටට දැයට ගුණදායී වැඩදායී මිනිසුන් බිහිකිරීම උදෙසා දැවැන්ත මෙහෙවරක් ඉටු කළ සදා වන්දනීය ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් අදටත් මෙම සමාජය තුළ ඇත්තේය.

හතු පිපෙන්නා සේ පිපෙන ගුරු සංගම් අතර මීට දශක තුන හතරකට පෙර බිහිවූ සැබෑ පරමාදර්ශී ගුරු සංගමයක් වන ලංකාවේ පළමු පරිසර ගුරු සංගමය නිර්මාණය කළ අපූරු ගුරුවරයකු පිළිබඳව අපට අහම්බයකින් අසන්නට ලැබුණි.

ඔහු නමින් දයාරත්න දළවැල්ලේය. 1949 වසරේ කළුතර සේරුපිට නම් කළු ගං නදිය අසබඩ සුන්දර ගම්මානයක උපත ලබා ඇති ඔහු සැබැවින්ම පරිසරයට ආදරය කරන චරිතයක් බව ඔහු ජීවත්වන වටපිටාව දෙස බැලූ කල අපට වැටහුණි. මේ වනවිට 75 වන වියේ පසුවන ඔහුගේ සමාජ ක්‍රියාකාරකම් හේතුවෙන් තව මත් කාර්යබහුල දිවි පෙවෙතක් ගත කරයි. ඔහුගේ ආදර්ශමත් දිවි පෙවෙත පිළිබඳ බහුල වැඩ රාජකාරි මධ්‍යයේ ලැබුණු සුළුකාල වේලාවකදී අප ඉදිරියේ දිග හැරියේ ඉතා සතුටිනි.

ලෝකය ගැන දකින්න ජීවිතය ගැන ඉගෙන ගන්න පරිසරය හොඳ තෝතැන්නක්. මට කුඩා කාලේ ඉඳන්ම ඒ අත්දැකීම හොඳට ලැබුණා. ගොඩක් මම මේ පරිසර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙන්න මට මගේ ගම්පියසෙන් ලැබුණු ඒ සුන්දර වටපිටාව උපකාරී වුණා කියලා තමයි මට හිතෙන්නේ.

මම ප්‍රාථමික අධ්‍යාපනය හදාරන්නේ බොලොස්සගම ප්‍රාථමික විද්‍යාලයෙන්. ද්විතීක අධ්‍යාපනය හදාරන්නේ කළුතර විද්‍යාලයෙන්.

මම හිතන්නේ පාසල් අවධියෙන් දරුවකුට ලැබෙන පන්නරය තමයි මේ ලෝකේ වෙනස් කරන වෙනස් විධියට හිතන මිනිසුන් බිහිකරන්නේ ගුරු භූමිකාව ඉතා වැදගත් වෙනවා. මගේ ජීවිත ගොඩනැඟුවේ පාසලේ ගුරුවරු කියලයි මට හිතෙන්නේ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කියමන අපිට ගුරුවරු කියල දුන්නා ගුරුවරුන්ගේ මඟ පෙන්වීමෙන් තමයි මම කළුතර මහජන පුස්තකාලෙට බැඳෙන්නෙ. මගේ වයස අවුරුදු දාහතරක් පහළොවක් වෙනකොට මහ විශාල පොත් ගොන්නක් මම කියවලා ඉවරයි. මානව විද්‍යාව, මාක්ස්වාදය වගේ විෂයන් පවා මම පොතපත නිසා හදාරන්න පටන් ගත්තා. ඒ වෙනකොට මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සියලුම පොත් වගේ මම කියවලා ඉවරයි. ඒවායෙන් මගේ ඉගෙනීමේ රුචිය තව වැඩි කළා. මම ලේඛකයන් සමග ලිපිවලින් පවා ගනුදෙනු කළා. ඇතැම් ලිපිවලට ඒ ලේඛකයන්ගේ අත්අකුරුකුවලින්ම මට පිළිතුර ලිපි ලැබෙනවා. එතකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. මාව තව තවත් ධෛර්යමත් කළා.

ලංකාවේ පළමු පරිසර ගුරු සංගමය හැදූ දළවැල්ලේ ගුරුතුමා

මම මගේ පාසල් දිවිය අවසන් කරලා ගුරු සේවයට බැඳෙන්නේ 1971 දී. ඒ කාලේ සහතික නොලත් ගුරුවරු කියලා පිරිසක් බඳවා ගත්තා. මමත් ඒ ගොඩට අයිති වුණා. මට මුලින්ම පත්වීම ලැබෙන්නේ මතුගම අගලවත්ත ගිරිකොළ කනිෂ්ඨ විද්‍යාලයට. ඒ කාලේ මාසෙ වැටුප රුපියල් 220ක් වගේ. ඒකෙ මම මාස හයක විතර කාලයක් තමයි ඉගැන්නුවේ. මට ගණිතය පිළිබඳව ගුරු පුහුණුව ලබාගන්න මහරගම ගුරු විද්‍යාලයට ඇතුළත් වෙන්න වුණා.

ඒකෙ වසර දෙකක වගේ කාලයකේ තමයි මම හිටියේ. ඒ කාලේ නිවාඩු දවසට මම කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල පොත් සාප්පුවල වගේම පැරැණි පොත්පත් තියාගෙන ඉන්න වීදිවෙළෙඳුන් ඉන්න ප්‍රදේශවල කරක් ගහනවා. ඔය ඇවිදින අතරේ දවසක් මම ශ්‍රී ලංකා පක්ෂි මාර්ගෝපදේශකයා නමැති පොතක් රුපියල් පහකට මිලදී ගත්තා මට තාම මතකයි. ඒකෙන් තමයි මාව පස්සෙ කාලෙක ලංකාවට ආවේණික කුරුල්ලන් පිළිබඳව හදාරන්නට ලියන්නට පෙළඹෙව්වේ.

වසර දෙකක පුහුණුව අවසන් කරලා මට පළමු පත්වීම ලැබෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය පහළගම මහා විද්‍යාලයට. තරමක් අසීරු රාජකාරියක් පහසුකම් නෑ. හරිහමන් නවතින්න තැනක් නෑ. පාරවල්වල රෑ වෙනකොට අලි. එක බස් එකයි වැඩ කරන්නේ. ඒක මඟහැරුණොත් හැතැප්ම හය හතක් පයින් තමය.ි පාර දෙපැත්තම මහා ඝන කැලෑව. රෑ වෙනකොට එහා මෙහා පේන්නේ නැති තරම් කරුවලය.ි සත්තුන්ගේ ඇඟ හිරිවැටෙන භයංකර සද්ද. ඒ පාරේ මම පයින් අනන්තවත් ගිහිල්ලා තියෙනවා. දවසක් කරුවලේ පයින් යනකොට අනිත් පැත්තෙන් ආපු මනුස්සයෙක් මගේ ඇඟේ හැපුණා. එක පාරට මම හිතුවෙ සතෙක් කියලා. හොඳටම බය වුණා. ඒ තරම් කෑලි කපන ඝන අඳුර.

පාසල තිබුණෙත් ඉතාමත් සුන්දර වටපිටාවක් වන ඔක්කම්පිටිය උළුගලකන්ද පාමුල. නිර්මාණකරුවකුට තම නිර්මාණ උපවත් කරගැනීමට මෙන්ම අලුතෙන් හිතන්නට ගැමි පරිසරය හොඳ තෝතැන්නක්. මිනිසුන්ගේ අව්‍යාජ ගැමිකම ආගන්තුක සත්කාර හැමදාම මට අලුත් දෙයක් කියා දුන්නා. ඒවා දකිද්දී සේවයේ තියෙන දුෂ්කර බව මඟහැරුණා. මෙහිදී තමයි මම සොබා දහමත් සමග බද්ධ වෙන්න පටන් ගත්තේ.

මොනරාගල කියන්නේ ඉතිහාසගත ප්‍රදේශයක් සෙල්ලිපි පුරාවස්තු හැම තැනම මට මේවා ගැන හොයන්න බලන්න ලොකු ආසාවක් ඇති වුණා. මම පාසලේම හිටපු පරිසරයට කැමැති ගුරුවරු කිහිපදෙනෙක් අමාරුවෙන් හොයා ගත්තා. මුලින්ම හැදුවේ පරිසර කවයක්. අපි නිවාඩු දවසට පුරාවස්තු සෙල්ලිපි ගල්ගුහා බලන්න ගියා. සමහර සෙල්ලිපි අපි පිටපත් කරගෙන ඇවිල්ලා කියවන්න උත්සාහ කළා. රාත්‍රියට පාසල ඉස්සරහ තියෙන ගල්තලාවට ගිහිල්ලා අහසේ සුන්දරත්වය විඳිනවා. තරු ගැන ලිපි ලිව්වා.

ඔය කාලෙ තමයි මට මුලින්ම ලංකාවේ ඒක දේශික පක්ෂියෙක් වන වත රතු මල්කොහා නමැති පක්ෂියා දැක ගන්න හම්බවුණේ.ඒ කුඹුක්කන් ඔය අසල අතහැරදාපු හේනකදී.

මම ඒ කාලේ පාසල් වෙලාවෙන් පස්සේ හේනක් වගාකළා. වන සත්තු හේනට එන එක වළක්වන්න ගස් උඩ පැලක් හදාගෙන පැල් රකිනවා. ඒවා සුන්දර අත්දැකීම්. දවසක් අපි ගවේෂණ චාරිකාවකට යාල කැලේට යනවා. ගියාට අපිට එන්න පාර හොයාගන්න බැරි වුණා. පැය ගාණක් මහන්සි වෙලා අපි මැණික් ගඟට වැටෙන පාරක් දිගේ ඇවිල්ලා අන්තිමටම කතරගම බුත්තල පාර හොයා ගත්තා. එතැනින් පස්සේ තමයි ගෙදර එන්න පුළුවන් උනේ. මේවා සුන්දර අත්දැකීම්.

මේ ප්‍රදේශවල පාසල්වලට දරුවන්ට විතරක් නෙමෙයි ගුරුවරුන්ටත් කියවන්න පොතක් පත්තරයක් හොයාගන්න හරිම අමාරුය.ි ඒ කාලේ පොතක් රුපියල් දෙකක් වගේ තමයි වෙන්නේ. මම මුලින්ම පාසලේ ගුරු පාඨක සමාජයක් ඇති කළා. හැම ගුරුවරයකුගෙන්ම රුපියල් දහය ගාණේ එකතු කරලා පොත් අරගෙන පුස්තකාලය පිරෙව්වා. මේකට ගුරුවරුත් ගොඩක් කැමැති වුණා. ඒකෙන් ගුරුවරුන්ගේ කියවීමේ පුරුද්ද වැඩි වුණා.

මෙසේ කාලය ගතවෙමින් තිබිය දී දළවැල්ලයන්ට ස්ථාන මාරුවක් ලැබෙන්නේ පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලයටය. එම පාසලේ දී ඔහුට සාමාන්‍ය පෙළ දරුවන්ට ගණිතය සහ විද්‍යාව විෂයන් ඉගැන්වීම භාර විය. ඔහු එම පාසල තුළ දී ද ගුරු පාඨක සමාජයක් ආරම්භ කිරීමට පුරෝගාමියකු විය. මේ අතරතුර ඔහු දරුවන්ට ඖෂධ පැළෑටි පිළිබඳ කියා දීමටත් ඒවා එකතු කිරීමටත් විශේෂ උනන්දුවක් දැක්වීය. පරිසර ගවේෂණය සඳහා ආශාව එහෙත් ඔහුගේ සිතින් මඟ නොහැරුණු අතර එය නව මඟකට යොමු කරන්නේ දිනක් පාසලට තැපෑලෙන් ලැබුණු “වාරණ නමැති සඟරාවේ තිබූ කරුණක් නිසාවෙනි. ශ්‍රී ලංකාව වන සත්ව සහ ස්වභාවික ආරක්ෂක සංගමය මගින් පළ කර තිබූ මෙම සඟරාවෙහි අන්තර්ගතය කෙරෙහි දළවැල්ලේ මහතා ගේ අවධානය යොමු වන්නේය.

ඒ පාසලේ මම අවුරුදු තුන හතරක් වගේ තමයි හිටියේ. එතැනින් පස්සේ මම එන්නේ මගේ ගම්පියසට. බොලොස්සගම මහා විද්‍යාලයට.

එදා මට හම්බවුණ වාරණ සඟරාවේ තිබුණා සොබාදහම් සිසු හවුල ඇරඹීම ගැන කතා කරලා. මම බොලොස්සගම මහා විද්‍යාලයේ දරුවෝ ටිකකුත් එකතු කරගෙන ඒක පටන් ගත්තා. ඒ දරුවන්ව මම ප්‍රදේශයේ වැඩවලට විතරක් නෙමෙයි දිස්ත්‍රික්කය තුළ සිදුකෙරෙන නොයෙක් ව්‍යාපෘති සඳහා යෙදෙව්වා. මේකට මට අපේ පාසලේ හොඳ ගුරුවරු ගුරුවරියන් ටිකක් එකතු වෙලා හිටියා. මොහොට්ටි ,ප්‍රේමා ,හේමන්ති,රම්‍යලතා ,දීපාල් ,අජන්ත, සුමිත්, කමලා වගේ ගුරු මහත්ම මහත්මීන් මේ ව්‍යාපෘති සාර්ථක කර ගන්න මට වගේම ළමයින්ට සෑහෙන උදව් කළා.

විශේෂයෙන් ගම්පියසී ඇති සුන්දර ස්ථාන නිරීක්ෂණ කිරීමට දරුවන් රැගෙන යෑම මගින් දරුවන්ගේ පරිසරයට ස්වභා දහමට ඇති ආදරය වර්ධනය කිරීමට එතුමන් නිතර කැපවුණා. ප්‍රදේශයේ තියෙන දුරේකන්ද භූමි භාගය තරණය කරන්න දරුවන් රැගෙන යෑමට දළවැල්ලේ මහතා කටයුතු කළා. එහි අරමුණ වූයේ දරුවන්ට ශාක වර්ග, සත්ව වර්ග පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීමයි. එහිදී දරුවන්ට සෑම දිනකම පාහේ අලුත් ගසක් වැලක් මෙන්ම අලුත් කුරුල්ලෙක් සත්වයෙක් හඳුන්වාදීමට ද දළවැල්ලේ මහතා අමතක නොකරය.ි ඔහුගේ මෙම පරිසර වැඩසටහන් සමග ඒකාබද්ධවුණු සිසු දරුවන් අතර මනා සහයෝගීතාවය සුහදත්වය මෙන්ම අනුන්ට උපකාර කිරීමේ ගුණය ආදිය වර්ධනය විය. ඔවුන් සියලු විභාග ජය ගත්තේය.

ලෝක පරිසරය දිනය නිමිති කර ගෙන පාසල කේන්ද්‍ර කර ගනිමින් ඔහු විසින් සොබාදහමේ අසිරිය නමින් ප්‍රදර්ශනයක් 1982 වර්ෂයේ සිට පාසලේ ආරම්භ කරන ලදී. ඒ සඳහා ස්වභාවික පරිසර පද්ධති අතහැර දැමූ කුරුලු කූඩු ශාක වර්ග කුරුලු චිත්‍ර ආදි සොබාදහම හා බැඳුණු නොයෙක් දේ ඇතුළු කළා. පාසලේ ඔසු උයනක් නිර්මාණය කළා. ප්‍රදර්ශනයේ බලන්න පිටපාසල්වල ඉඳන් දරුවෝ ආවා. ගොඩක් කට්ටිය දරුවන්ට ප්‍රශංසා කළා. ඒකෙන් ඔවුන් මේ සම්බන්ධ වැඩකටයුතු කරන්න ගොඩක් උනන්දු උනා.

වරක් ශ්‍රී ලංකාව වන සත්ව හා ස්වභාවික ආරක්ෂක සංගමය පැවැත්වූ සමනල උගන් නිර්මාණ තරගයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ගත්තේ අපි.

1984 දී එළිදැක්වූ සොබාදහම සඟරාව නිර්මාණය කරන්නේ ඔහුය. පුරා වසර දහයක් පාඨකයන් අතට පත් වූ මෙම සඟරාව පාඨකයන් අතර ප්‍රසිද්ධියට පත් වූවකි.

වරෙක එවකට කැකිල්ලවලින් පිරුණු භූමියක් ලෙස සැලකූ ගලගොඩ ගඟ රක්ෂිතයේ හෙක්ටයාරයකට ආසන්න භූමි භාගය පුරා ළමා වන වගා ව්‍යාපෘතියක් ඇරැඹුවේ ඔයිස්කා නමැති ආයතනයේ අනුග්‍රහය ඇතිවයි.

පරිසරයට ආදරය කරන සොබා දහමට ලැදී දරු පරම්පරාවක් බිහි කිරීම සඳහා දළවැල්ලයන් ගත් වෙහෙස අපමණය. 1992 වසරේ බ්‍රසීලයේ පැවැති මිහිතල සමුළුව නියෝජනය කරන්නට ද දළවැල්ලයන්ට අවස්ථාව උදාවන්නේ ඔහු විසින් පරිසරයට සිදුකළ කැපවීම අගය කරන්නටය. එහෙත් ඔහුට එහි යෑමට අවස්ථාව උදා නොවූයේ පෞද්ගලික හේතු කාරණාවක් නිසාවෙනි.

ලංකාවේ පළමු පරිසර ගුරු සංගමය හැදූ දළවැල්ලේ ගුරුතුමා

අනූව දශකය වනවිට බොහෝ පාසල් තුළ සොබා දහම සිසු හවුල් නිර්මාණය වී තිබුණා. මේ සිසු හවුල් ඇති කරන්න ගොඩක් මහන්සි වෙන්න වුණා. ප්‍රදේශයේ තියෙන පාසල්වලට පාපැදියෙන් තමයි යන්නේ. ගොඩක් වෙලාවට දරුවෙක් තමයි පැදගෙන යන්නේ. මම ඉස්සරහ පොල්ලෙ වාඩිවෙලා යනවා. එහෙම ගිහිල්ලා තමයි මේවා ක්‍රියාත්මක කළේ.

මෙහිදී මේ ක්‍රියාවලිය තවත් සක්‍රීයව සිදුකරන්න මම ගොඩක් උත්සාහ කළා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ලංකාවේ පළමු පරිසර ගුරු සංගමය නිර්මාණය වෙන්නේ. ඒකට අපිට සෑහෙන්න මහන්සි වෙන්න උනා මට මතකයි. ඒ කාලේ මතුගම කලාපයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්.එස් දයාරත්න මහත්තයා අපි දෙන්න මෝටර් බයිසිකලේ නැඟලා හැතැප්ම පනහ හැට ගෙවලා පාසල්වලට යනවා. ඒකට ගුරුවරු හොයා ගන්න හරිම අමාරුයි. දයාරත්න මහත්තයා නං ඉස්කෝලෙට ගියාම කියන්නේ අපි ආවේ මනාලියක් බලන්න කියලා. ඒ තරං ගුරු සංගමයට ගුරුවරු හොයා ගන්න අමාරුයි. කොච්චර අමාරු වුණත් මොනතරම් දුර උනත් අපි මේ ප්‍රදේශවල නොගිය ඉස්කෝලයක් නෑ.

කොහොම හරි අපි මේ සංගමය පිහිටුවා පළමු වන දවසේ සංගමයේ තිබුණේ මතුගම ආනන්ද ශාස්ත්‍රාල’ විද්‍යාලයේ දී 1991 ජනවාරි 21 වැනිදා. මේක තමයි මේ රටේ පරිසරය හදන්න පරිසරය රකින්න හදපු පළමු පරිසර ගුරු සංගමය විදිහට ඉතිහාසගත වෙන්නේ. දළවැල්ලයන් එහි සභාපතීත්වය ඉසිළුෑ අතර අද වනවිට එම පරිසර ගුරු සංගමයට පිහිටුවා වසර තිස්තුනකි. ඉන් සිදුවුණු සේවාව අති විශාල බව ඔහු පවසයි .

දරුවන් හා සම්බන්ධ පරිසර ක්‍රියාකාරකම් සඳහා අදටත් ඔහු සහභාගී වන්නේ ඉතාමත්ම සතුටින.ි ගෙවුණු වසර තිහ හතළිහක සුන්දර අතීතය ඔහු සිහිපත් කරන්නේ ආදරයෙනි. මේ කටයුත්ත සඳහා ඔහුට සහය දැක්වූ සියල්ලන්ම ඔහු සිහිපත් කරන්නේ ආදරයෙනි.

අද වෘත්තීය අයිතිවාසිකම් සඳහාම පමණක් ගුරු සංගම් පිහිටු වන යුගයක දළවැල්ලයන් විසින් එදා බිහිකළ පරිසර ගුරු සංගම් වැනි සංගම් අවශ්‍යතාවය දැයේ දරුවන්ට අවශ්‍ය කාලය එළැඹී ඇත්තේය.

වරෙක දළවැල්ලයන්ගේ ක්‍රියාවන් ඇගයූ කිවිවර නිශාන්ත මල්ලවාරච්චි මෙසේ කවි පන්තියක් සටහන් කර තිබුණි.

සොඳුරු ගුණෙන් නිති දන මන පුබුදාන
අඳුරු සිසු දෙනෙත් පෑදූ ඇදුරාණ
සාහිත ලොවට සරු බිජුවට වපුරාණ
මල්ඵල දරනු දැක තුටුවන මිනිසාන

ඔහු ගැන වර්ණනා කරන්නට තවත් අටුවා ටීකා අවශ්‍ය නොවන්නේය. සොබා දහමට ආදරය කළ සොඳුරු මිනිසානෙනි, දිවයින අප ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු.

නයනදුල සෙන්දනායක

advertistmentadvertistment
advertistmentadvertistment