ලංකාවේ හදවත විදින උමං මග කා සඳහාද…?

5412

චීනයෙන් ආනයනය කරන චයිනා රේල්වේ හෙවි ඉන්ඩස්ටි‍්‍ර කෝපරේෂන් ආයතනය විසින් නිපදවන ලද උමං විදින යන්ත‍්‍රය මීටර් හතයි දශම හතක විශ්කම්භයක් ඇති යන්ත‍්‍රයකි. උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය සඳහා වන කළු ගඟ හා මොරගහ කන්ද ජලාශය අතර උමග සැකසීම හා මොරගහකන්ද යකල්ල අතර කිලෝමීටර් 28 දිග උමං මාර්ගයකුත් මෙමගින් කැණීමට නියමිතයි. උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය සඳහා සකස් කිරීම වෙනුවෙන් ලංකාවේ දිගම උමං මාර්ග පද්ධතිය ඉදිකළ යුතුය. චීන ණය මත ඉදිවන උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා රජය ඉක්මන් තීන්දුවක් ගෙන ඇති අතර බහු ජාතික සමාගම් මගින් ප‍්‍රවර්ධනය කරන වාණිජ බෝග වගාවන් වෙනුවෙන් ජලය ලබාදීම මුඛ්‍ය අරමුණ වේ.

මහවැලි සැලසුම සකස් කරන විට මීට වසර හතළිහකට පමණ පෙර උතුරු මැද වාරි ඇළ නොහොත් NCP සැලසුම සකස් කරන ලදි. රජය පවසන පරිදි උතුරු මැද හා වයඹ යන පළාත්වල ජනතාව දූගී භාවයට පත්ව ඇත්තේ ජල හිඟය නිසාය. එම නිසා එම දූගී භාවය තුරන් කිරීමට මෙම වාරි ඇළ සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. රුපියල් බිලියන 120 විදේශ බැංකු ණය ආධාර මත ඉදිවන මෙම ව්‍යාපෘතිය මෙරට නැවතත් පාරිසරික හා සමාජීය වශයෙන් දැවැන්ත අර්බුදයකට ගෙන යන අතර සිංහල දමිළ ගැටුමක් මේ හරහා නිර්මාණය වීම සඳහා ඇති ප‍්‍රවණතාවද ඉතාමත් වැඩිය.

රජයේ සැලසුම අනුව දැනටමත් දැවැන්ත පාරිසරික හානියක් සිදුකරමින් ඉදිවූ මෙරගහකන්ද හා කළු ගඟ ජලාශවලින් ජලය කිලෝමීටර් 66 දිග ඉහළ ඇලහැර ඇළ ඔස්සේ මහකනදරාවට ගෙන යනු ලබයි. දෙවනුව මාන්නකට්ටියේ සිට චෙන්මඩුකුලම් දක්වා කිලෝමීටර් 95 වාරි ඇළක් ඉදිකිරීමට නියමිත අතර එම වාරි ඇළ ඉදිවන්නේ උතුරු මැද හා උතුරු පළාත්වල දැවැන්ත වන සංහාරයක් සිදු කරමිනි. එයින් ද නොනැවතී එම පාරිසරික සංහාරය වඩා තීව‍්‍ර කරමින් චෙන්මඩකුලම් සිට ඉරණමඩු දක්වාත් ඉරණමඩු සිට යාපනයේ අර්ධද්වීපය දක්වාත් මෙයින් ජලය ගෙන යෑමට සැලසුම් කර ඇත.

උතුරු මැද වාරි ඇළට සමගාමීව රන්දෙණිගල ජලාශයේ සිට කිලෝමීටර් 52 දිවෙන වාරි ඇළක් ඔස්සේ එහි ජලය කළු ගඟ හා මොරගහකන්ද ජලාශවලට හැරවීමටත්, අංගමැඬිල්ල අසල වේල්ලක් බැඳ එහි ජලය පොම්ප මගින් මින්නේරිය ජලාශයට ලබාදීමටත්, මහවැලි ගඟ කාලිංගනුවරින් හරස්කොට අංගමැඬිල්ලට ලබාදීමටත් කටයුතු සකස් කරමින් පවතින අතර, මෙයින් පුරාණ වාරි පද්ධතිය අවුල් ජාලයක් බවට පත්වනවා පමණක් නොව විශාල පාරිසරික හානියක් මෙම ප‍්‍රදේශවල සිදුවනවා ඇත. උතුරු මැද වාරි ඇළ නිර්මාණය කිරීමේදී උතුර හා උතුරු මැද පළාත් තුළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දොළහකින් සහ වයඔ පළාතේ ප‍්‍රදේශ කිහිපයකින් ඉඩම් රජයට පවරා ගැනීම මේ වන විට සිදු කරමින් ඇත. මොරගහකන්ද ජලාශයෙන් ආරම්භ වන NCP ඇළ යාපනය අර්ධද්වීපයට යන තෙක් කිලෝමීටර් 200 දුර ප‍්‍රමාණයක් කෑලෑ ඉඩම් තුළින් හා ඇතැම් ස්ථානවල මිනිසුන් ඉවත් කර ජනාවාස ඔස්සේත් ඉදිකිරීම් සිදුකරනු ලබයි.

උතුරු මැද වාරි ඇළ මාර්ගයේ පළල, ඇළ රක්ෂිතය සමග මීටර් 120 කි. එහි දිග කිලෝමීටර් 200 කි. ඒ අනුව මීටර් 120 පළල කිලෝමීටර් 200 දිග වනාන්තර තීරුවක් මෙරට වන භූමියෙන් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමත් සමඟම අහිමි වේ. විශේෂයෙන් වයඹ, උතුර හා උතුරු මැද පළාත්වල වැව් රක්ෂිත ගණනාවක් හා වනාන්තර ප‍්‍රදේශ ගණනාවක් මෙම ව්‍යාපෘතිය නිසා විනාශ වන අතර පුරාණ වාරි කර්මාන්තයේ එල්ලංගා පද්ධති ගණනාවක් සහමුලින්ම විනාශ වේ.

පුරාණ වාරිමාර්ග ජාලය අවුල් ජාලාවක් බවට පත්කරන මෙම ව්‍යාපෘතිය නිසා කුඩා මස් වැල්ලාව, ‘‘මස්වැල්ලාව”, රන්පත් විල ”, සියඹලා වැව ”, තම්මැන්නා කුලම්, පලා තොට වැව, කුඩා පටිටිය දිවුල් වැව, කාපිරි ගම වැව, ඇහැටු වැව, කොන් වැව, පත්තක්කා වැව, දික්වැව, ගුරළු පොත වැව, වයඹ පළාතේ මී ඔය ආශ‍්‍රිතව හා තවත් කුඩා වැව් 700 පමණ එල්ලංගා පද්ධති හා ඒ අවට ප‍්‍රදේශ ගණනාවක වනාන්තර මෙම ව්‍යාපෘතිය නිසා විනාශ වේ.

පුරාණ වාරි කර්මාන්තයේ ජල කළමනාකරණයේ සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ මෙම වාරි පද්ධති තෙත් භූමි ලෙස සුවිශේෂි කාර්යයක් ඉටු කරනු ලබයි. එමෙන්ම වියළි කාලයේදී භූගත ජලය ගබඩාකර ගැනීම සඳහා ද පාරිසරික වශයෙන් එල්ලංගා පද්ධතිය සුවිශේෂි කාර්යයක් ඉටුකරනු ලබයි. එලෙස සුවිශේෂී කාර්යයක් ඉටුකරන එල්ලංගා පද්ධති නැවත පණගන්වනවා වෙනුවට මෙම වාරි රටාව වෙනස්කර විනාශයේ ප‍්‍රතිඵල මෙම ප‍්‍රදේශවල ජනතාවට පමණක් නොව මුළු රටටම බලපානු ලබයි. මෙය ඉතිහාසයේ දැවැන්තම පාරිසරික විනාශය බවට පත්වන බවට කිසිදු සැකයක් නොමැත.

වර්තමානයේ මෙරට ඉදිකළ මහා පරිමාණ ජලාශ ඇළ වේලි කිසිවක් බලාපෙරොත්තු වූ ප‍්‍රගතියෙන් අඩකටවත් ළඟා වීමට බැරිවී තිබේ. එසේ තිබියදී නැවත නැවතත් මෙවන් විනාශයන් කිරීමෙන් මෙරට ජනතාවට හෝ පරිසරයට සිදුවන සෙතක් නොමැත.

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘති වූයේත් NCP ඇළ උතුරට හැරෙන්නේත්, පොලොන්නරුවට ජලය ගෙනයන ප‍්‍රධාන වාරි පද්ධතිය වන ඇළහැරට ඉහළින් ය. එමෙන්ම පොළොන්නරු ප‍්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය වන ඇළහැරින් ජලය ගෙන යන සුදු කන්ද වැටියෙන් හා කොඳුරුවාව කඳු වැටියෙන් දෙපස ආවරණය වූ වාරි පද්ධතිය පරාක‍්‍රම සාගර ඇළ මාර්ගය, අංගමැඬිල්ල, අහස් ගඟ, මින්නේරිය, පරාක‍්‍රම සමුද්‍රය, කවුඩුල්ල, කන්තලේ, වෙන්ඩ‍්‍රාසන්කුලම් හා ත‍්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන තෙක් වූ වාරි පද්ධතිය දැඩි අර්බුදයකට ලක්වන අතර මොරගහ කන්ද, කළු ගඟ ව්‍යාපෘති හරහා උතුරු මැද වාරි ඇළට ජලය හැරවූ විට ඇළහැරින් ඉහත ජල මාර්ගවලට යන ජල ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස අවම වනු ඇත.

දැනටමත් පොළොන්නරුව ඇතුළු ප‍්‍රදේශවල ජනතාවගේ වගා බිම් වලට අවශ්‍ය තරම් ජලය ලබා නොදෙන අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් උතුරට ජලය හැරවූ විට මෙම ප‍්‍රදේශවලට ලැබෙන ජලය තවත් අඩුවේ. මෙයින් මෙම ප‍්‍රදේශවල පාරම්පරික ගොවීන් මෙන්ම 1960 පසුව බලහත්කාරයෙන් පදිංවි කළ ගොවිජනතාව ද අර්බුදයට පත්වේ. විශාල පාරිසරික හානියක් හා දේශපාලනික අර්බුදයක් ඇති නොකොට උතුරේ ජනතාව වෙත ජලය ලබාදීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා කළයුතු හොඳම ක‍්‍රියාමාර්ග වන්නේ මන්නාරමේ යෝධ වැව, ඉරණමඩු වැනි මහ වැව් හා ඒ ආශ‍්‍රිතව ඇති කුළු වැව්, දන වැව් හා ගම් වැව් නැවත ප‍්‍රතිසංස්කරණය කිරීම හා ඇළ වේලි ප‍්‍රතිසංස්කරණය කර එම ප‍්‍රදේශයේ ජල ගබඩාව සුරක්ෂිත කිරීමයි.

උතුරේ ජනතාව කෙදිනක හෝ මහවැලි ජලයෙන් යැපුනේ නැති ඔවුන්ටම අවේණික වූ ජල සංරක්ෂණ ක‍්‍රියාමර්ග ඔවුන් භාවිත කරන ලදි. ඒ අනුව යාපනයේ ජනයා පෙරදී භාවිත කරන ලද පොකුණු 1000න් වැඩි ප‍්‍රමාණයක් යුද්ධය සමග විනාශ වී ගොස් ඇත. මෙම පොකුණු ප‍්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීම වෙනුවෙන් සකස් කළ හැකිය. පෙරදී මෙන්ම වර්තමානයේදී ද වර්ෂා කාලයේදී වැලි කොට්ට දමා කලපු හරස් කර ගත් ජනයා ජලයෙහි ලවණතාව වැඩි වන තෙක් එම ජලය භාවිතයට ගනී.

රජය කළ යුත්තේ මෙම ජල සංරක්ෂණ ක‍්‍රියාමාර්ග ආරක්ෂා කරමින් සොබාදහම හා ජනතාව එම වටිනාකමත් සමඟම ආරක්ෂා කිරීමයි. අනෙක් අතින් පාරම්පරිකව ජලය ලබාගන්නා ක‍්‍රමවේද තිබිය දී ඒවා විනාශ කිරීම මගින් අද මහවැලි ගොවියා මුහුණ දෙන සමාජයීය හා පාරිසරික අර්බුදයට උතුරේ ජනතාව මෙමගින් ඇද දමනු ලබයි. බැංකු ණය මත ඇළ වේලි නිර්මාණය කළත් රජයට වර්ෂාව හෝ ජලය නිර්මාණය කිරීමට බැරිය. දහස් ගණන් වනාන්තර භූමි මධ්‍යම කඳුකරයේ හා රටේ අනෙක් ප‍්‍රදේශවල විනාශ වන විට වර්ෂාව ඇදගන්නා හා භූගත ජලය රකින වනාන්නතර විනාශ වී යයි. එසේ වූ විට උතුරට ජලය දෙන්නේ කෙසේද…?

අනෙක් අතින් උතුරු මැද වාරි ඇළ තනන්නේ උතුරේ ජනතාවට ඇති අප‍්‍රමාණ වූ දයාව නිසා නොවේ. මෙම ඇළ ගෙනයන ප‍්‍රදේශවල ඉඩම් සැලකිය යුතු ප‍්‍රමාණයක් ආර්ථික භෝග වගාව වෙනුවෙන් ලබාගැනීමට රජය මේ වන විට සැලසුම් කර ඇත. එම නිසා කන්තලේ උක් වගාව තවත් ප‍්‍රමාණයකින් වගා බිම් වැඩි කරන අතර උතුර හා උතුරු මැද ප‍්‍රදේශ ගණනාවක උක්, රටකජු, කජු, ග‍්‍රීන් ග‍්‍රෑම්, ෆාම්, අපනයනය කළ හැකි එළවළු හා පලතුරු උදාහරණයක් ලෙස කැවෙන්ඩිශ් කෙසෙල් වැනි බෝග වගාව සඳහා අනුරාපුරය, වව්නියාව, මන්නාරම ප‍්‍රදේශ වලින් කැලෑ ඉඩම් ලබා ගැනීමට හා ඒවා බහු ජාතික සමාගම් ඇතුළු සමාගම් වලට ලබාදීමට ජාතික භෞතික සැලසුම අනුව සැලසුම් කර ඇත. එම වගාවලට අවශ්‍ය ජලය සැපයීම මෙම උතුරු මැද වාරි ඇළේ ප‍්‍රධාන අරමුණයි.

එයට අමතරව උතුරු මැද වාරි ඇළට සමගාමීව උතුරු මැද, වයඹ හා උතුරු ප‍්‍රදේශවල වැව් 1000 ආර්ථික ඒකක වශයෙන් හඳුන්වා දීම සිදුකරන අතර එම වැව් 1000 ජලය ආර්ථික භෝග වගාව සඳහා යොදා ගනු ලබයි. කෙටියෙන්ම කිවහොත් වැව් හා ජලය පෞද්ගලීකරණයද මෙයට සමගාමීව සිදුවේ.

ඒ විට එම ප‍්‍රදේශවල ජනතාවට සිය ගොවිතැන් බත්වලට අවශ්‍ය ජලය ලබා ගැනීම ගැටලුවක් වනවා මෙන්ම ආර්ථික වශයෙන් හා සමාජයීය වශයෙන් මෙම ප‍්‍රදේශ විනාශවීමත්, අලි මිනිස් ගැටුම ඇතුළු තවත් පාරිසරික අර්බුද මෙම ප‍්‍රදේශවල නිර්මාණය වීමත් නොවැළැක්විය හැකිය.

රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

advertistmentadvertistment