ලංකාව ජන රජයක් වී වසර 50 යි….

63

රාජ්‍ය නායකයා “ජනාධිපති” ලෙස හදුන්වා වසර 50 යි

ලංකාව ශ්‍රී ලංකාව වී වසර 50 යි
වර්තමාන රාජ්‍ය ලාංඡනය බිහි වී වසර 50 යි
සෙනෙට් සභාව අහෝසි වී වසර 50 යි
ලංකා පුරවැසියන් ලාංකික වී වසර 50 යි
මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ වී වසර 50 යි

වසර දෙදහස් තුන්සිය පනස් නවයක් තිස්සේ මෙරට පාලනය කළ ස්වදේශීය රාජාණ්ඩු ක්‍රමය වර්ෂ 1815 මාර්තු 02 වැනිදා අවසන් කරමින් ලංකාව විදේශයකට නතු වූ යටත් විජිතයක් බවට පත්වූයේ උඩරට ගිවිසුම නම් ලියවිල්ලකට අනුවය. මෙම ගිවිසුම ප්‍රකාරව රට පාලනය වනවා නොදුටු මෙරට විසූ සිංහල නායකයන් “අපට වැරදුනා” යැයි පවසමින් ඉංග්‍රීසි අධිරාජ්‍යට එරෙහිව කඩු, පොලු, මුගුරු, දුනු, ඊතල ගෙන සටනට පිවිසියේ යටත් විජිතයක් වී වසර තුනක් සපිරෙනවාත් සමගය.1818 උඩරට කැරැල්ල රුදුරු ලෙස මර්දනය කළද බි්‍රතාන්‍ය පාලකයන් සිංහල නායකයන්ගේ නැගිටීම පිළිබඳව බියට පත් වූ අතර එංගලන්තයේ යටත් විජිත භාර ප්‍රධානීන් ද තැති ගත්තේ නොසිතූ ලෙසය. කැරැල්ලෙන් වසර දහයක් ගෙවී ගිය පසු 1829 දී මෙරටට පැමිණි කෝල් බෲක් කොමිසම විසින් සිදුකළ විමර්ශනයකින් පසුව ලංකාව පාලනය කරන ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීමට යෝජනවා විය.ඒ සමගම උඩරට හා පහතරට වෙන වෙනම නොව එකම පාලන ක්‍රමයකට ඇතුළත් කිරීමට ද යෝජනා විය. ඒ අනුව 1833 වසරේ සැප්තැම්බර් මස 28 වෙනි දින අතීතයේ තිබූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසුව ප්‍රාදේශීය වශයෙන් බෙදී වෙන්වී තිබූ සියලු පාලන විධි අහෝසි වී උඩරට හා පහතරටද එක්කර එකම පාලන ක්‍රමයක් බිහිවීම ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රමයේ ආරම්භක මුල් අවස්ථාව විය. ඒ සඳහා මූලික නීති රීති හා අණ පනත් 1833 මාර්තු 19 වෙනි දින ප්‍රකාශයට පත් කළ පනත අනුව 1833 ඔක්තෝබර් මස 01 වෙනිදා ව්‍යවස්ථාදායක සභාව නම් ආයතනය පිහිටුවන ලදී. එය වර්තමාන පාර්ලිමේන්තුවේ ආරම්භක අවස්ථාව විය. ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීන් ගණන 06 කි. නිලධාරීන් ප්‍රමාණය 09 කි.ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන මෙම සභාවට මන්ත්‍රීන් ඇතුළත් වූයේ මේ අවස්ථාවේදීය.

1833 ආරම්භ වූ ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රථම රැස්වීම පැවැත්වූයේ 1834 මැයි මාසයේදී ය. එය සිදු වී මෙම වසරට අවුරුදු 198 කි. මෙම රැස්වීම වර්තමාන පාර්ලිමේන්තු ක්‍රමයේ ආරම්භක අවස්ථාව වේ. 1947 නොවැම්බර් මස 25 වෙනි දින රැස්වූයේ ලංකාව් ප්‍රථම පාර්ලිමේන්තුවය.එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 ජූලි 12 වන දින විපක්ෂයේ අසුන් ගත්හ. ඔහු නව දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන 1952 මහ මැතිවරණයට තරග කළද දිනාගත හැකිවූයේ මන්ත්‍රී පදවි නවයක් පමණි. බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත වීම මෙම ගමනට වැදුන බලවත් පහරක් විය. 1960 ජුලි මහ මැතිවරණයෙන් ජයගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ රාජාසන කතාව ඉදිරිපත් කළ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් විලියම් ගොපල්ලව මහතාද එම කතාවේදී ලංකාව ජන රජයක් බවට පත්කරන බව සඳහන් කරන්නට යෙදුණි. නමුත් මැතිවරණයට එය සිදුකිරීමට නොහැකිවූයේ ඒ සඳහා අවශ්‍ය ජනවරම නොතිබුණි හෙයිනි. 1970 මැයි 27 වෙනි දින බලයට පැමිණි සිරිමා මැතිනිය නායකත්වය දුන් සමඟි පෙරමුණ රජය ආණ්ඩුක්‍රම වෙනසක් සඳහා අවශ්‍ය කටයුතු සැකසීමට ඇමැතිවරයෙක්ද නම් කළේය.

ජේ. ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වශයෙන් හැඳින්වීමට යෝජනා කළද එය කමිටුව පිළිගත්තේ නැත. ඔවුන්ගේ යෝජනාව වූයේ ශ්‍රී ලංකා ජනරජය යන්නයි. මේ අනුව 1971 ජුලි 10 වෙනි දින නව ආණ්ඩුක්‍රමය නිර්මාණය කර අවසන් වූ හෙයින් එය ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයෙන් අනුමත විය. මේ අනුව මැති සබයට ඉදිරිපත් කළ ජනරජ පනත 2/3 ක ඡන්දයෙන් අනුමත වූ හෙයින් එතෙක් තිබූ සෝල්බරි ආණ්ඩු ක්‍රමය අවසන් කරමින් ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මීට වසර 50 කට අද වන් දිනයක 1972 මැයි 22 වෙනි දින සිට ක්‍රියාත්මක වන්නට විය. ඒ අනුව එතෙක් “සිලෝන්” ලෙස විදේශයන් හැඳින්වූ අපේ රට “ශ්‍රී ලංකා” ලෙස හැඳින්වීම ආරම්භ විය. රටේ නායකයා ලෙස ජනාධිපති තනතුර පත්විය. දැනට අප භාවිත කරන රාජ්‍ය ලාංඡනය ව්‍යවහාරයට ගත්තේ එදින සිටය. ආණ්ඩුකාරවරයා විසින් නම් කර එවනු ලබන මන්ත්‍රී ක්‍රමය අහෝසි වූ අතර සෙනෙට් සභාවද අහෝසි වීම ස්ථීර විය.ලංකාව ජන රජයක් බවට පත්වූ පසු 1973 වසරේ සිට 1977 දක්වා සිව් වසරක් ලංකාවේ පෙර පැවති නිදහස් දින නිවාඩුව අහෝසි කර නිදහස සැමරීම අත් හළේය. ඒ වෙනුවට සිදුකළේ මැයි 22 ජන රජ දිනය ලෙස නිවාඩු දී උත්සව සිදුකිරීමය. ලංකාවේ රාජ්‍ය ආගම ලෙස බුද්ධාගම පිළිගෙන කටයුතු කිරීම මෙම ව්‍යවස්ථාවෙන් සිදුවූ සුවිශේෂී සිදුවීමකි.1978 පෙබරවාරි 04 වෙනි දින සිට සම්මත වූ විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය නිසා 1972 සිට 1978 පෙබරවාරි 03 වෙනි දින මෙරට ක්‍රියාත්මක වූ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වී වත්මන් ආණ්ඩු ක්‍රමය බිහිවිය. 1972 ජනරජ ආණ්ඩුක්‍රමය සම්මත කරන විට එයට ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ගෙන් වර්තමානයේ මැති සබය නියෝජනය කරනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පමණි. මැති සබයට නොපැමිණියත් ඡන්දය පාවිච්චි කරන ලද අයගෙන් මා දන්නා තරමට පිටත සිටින්නේ රොනී ද මැල් මහතා පමණක්ය යන්න මගේ අදහසයි.

හිටපු අමාත්‍ය
වජිර අබේවර්ධන,
සභාපති – එක්සත් ජාතික පක්ෂය.




 

advertistmentadvertistment
advertistmentadvertistment