ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාත්‍යන්තර ප්‍රමිතිගත ඉංජිනේරු කැළ

1004

ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන සහ ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක අතර ආරවුලක් හටගෙන තිබේ. රාජපක්ෂවරුන්ට අයත්ව තිබූ මානුෂීය දේපළ (Human Property) ලෙස සැලකෙන මේ දෙදෙනා මරාගන්නේ බස් සේවයක් පිළිබඳ කාරණයක් නිසාය. කොට්ටාවේ මාකුඹුරේ පිහිටි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට City Bus සේවාව නමින් ප්‍රවාහන සේවයක් ආරම්භ විය. මෙය AC කරන ලද කුඩා බස් වලින් සමන්විත විය. මෙහි ගමන් ගාස්තුවද යම් ප්‍රමාණයකට වැඩි වූ අතර බොහෝවිට එම බස්වල ගමන් කළේ ඩ්‍රයිවර්, කොන්දොස්තර සහ තවත් මගීන් දෙතුන් දෙනකු පමණි. ඒ නිසා ඉඳගෙන යෑමට පමණක් නොව නිදාගෙන යෑමටත් හිටගෙන යෑමටත් බසය තුළ කරනම් ගසමින් යෑමටත් අවශ්‍ය ඉඩකඩ මේ බස්වල තිබිණ. ලංගම සභාපති කිංස්ලි රණවක කියන පරිදි මාස තුනක කාලයක් ඇතුළත මේ බස් සේවය නිසා රුපියල් කෝටියක් පමණ පාඩු සිදුවිය. ඒ නිසා රණවකගේ මැදිහත් වීමෙන් ලංගම අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව සිටි බස් සේවය නවත්වන ලදී. මෙය ආරංචි වූ සැණින් ඒ ගැන තමන් දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් බලවත් කෝපයට පත් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කිංස්ලි රණවක ලංගම සභාපතිකමෙන්ද එහි අධ්‍යක්ෂ මණ්ඩලයද ඉල්ලා අස්විය යුතු බව තීරණය කළේය. මේ බව ආරංචි වූ සැණින් රණවක ස්වකීය සමාජ මාධ්‍ය අකවුන්ට් එකක් හරහා බන්දුලට දිගට හරහට පහර දුන්නේය. මේ ආරවුල ගැන අද වනවිට රටෙන් භාගයක්ම දැනගෙන සිටිති. බස් සේවයක් පාඩු නම් එය අත්හිටුවීමේ වරදක් නැත. එහෙත් ඒ බව ඇමැතිට දැනුම්දීමේ කුඩා යුතුකමක් ලංගම සභාපතිට තිබේ. සමහරවිට ප්‍රවාහන ඇමැති ධුරයේ බලතල වලින් කොටසක් රණවකටද ඇති බව කියමින් කවුරුහරි ඔහුට ලනුවක් දෙන්නට ඇති. කෙසේ වුවද මේ අන්දමේ ගහමරා ගැනීම් රටකට සුදුසු නැත.

අපේ ඊළඟ කතාවද ලංකා ගමනාගමන මණ්ඩලය සමග බැඳුනකි. මේ වනවිට මේ රටේ පාසල් වෑන් සේවය 75% න් පමණ කඩාකප්පල් වී තිබේ. කොවිඩ් 19 පැතිර යෑමත් සමගම පාසල් වෑන් රථ ගෙවල්වල ගාල් කරනු ලැබ විශාල අර්බුදයක් ඇතිවිය. ෆිනෑන්ස් ගෙවා ගැනීමට නොහැකි වූ ඇතැම් පාසල් වෑන් අදටත් සැඟවූ තැන්වලින් එලියට ගෙන නැත. තිබෙන වෑන් නඩත්තු කිරීමට ඒවායේ අයිතිකරුවන්ට සල්ලි නැත. වෑන් එකකට අලුත් ටයර් 4 ක් දමන්නට වුණොත් එහි වියදම රුපියල් දෙලක්ෂය ඉක්මවයි. සර්විස් එකක් කරන්නට ගියහොත් එහි වියදම රුපියල් 60,000 පනී. ඩීසල් මිල බෙහෙවින් ඉහළ බැවින් වෑන් ගාස්තු වැඩි කිරීමට සිදුවී තිබේ. මේ නිසා පාසල් වෑන් සේවාව ක්‍රමයෙන් අභාවයට යමින් පවතී. මේ අභාවප්‍රාප්ත වීමට සමගාමීව ආණ්ඩුව වැඩපිළිවෙළක් යෙදීය. ඒ වූකලී රජයේ කොටස් අයිතිය හිමි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් 50% ක් අඩුවට බස් රථ 80 ක් ලබාගෙන ඒවා පාසල් ප්‍රවාහන සේවය සඳහා යෙදවීමය. එහෙත් වැඩේ අසාර්ථක විය. එයට හේතුව එම බස් රථ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නැති බව පවසමින් ලංගම ඉංජිනේරුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමය.

විදුලි බල මණ්ඩලයේ සිටින දාමරික ඉංජිනේරු කල්ලිය හා සමාන දාමරික ඉංජිනේරුවන් පිරිසක් ලංගමයේ සිටින බව අපට මෙයින් වැටහේ. ලංගම බස් කිසිවක් ප්‍රමිතියට නැත. මෙය ලංගම පටන්ගත් දවසේ සිට එසේමය. අදටත් ඇතැම් ලංගම බස් දුවන්නේ ඒවායේ ඇති සමහර කොටස් කොහු ලණු වලින් බැඳගෙනය. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු ගැන්සිය මෙන්ම ලංගම ඉංජිනේරු ගැන්සියද මැඬීමටද කිසිම ආණ්ඩුවකට බැරි විය. මෙවැනි රජයේ සේවාවන් ප්‍රයිවටයිස් කළේ නම් යහපත් බව සාමාන්‍ය ජනයා හිතන්නේ මෙන්න මේ වගේ වෙලාවලදීය. අලුතෙන් මිලට ගන්නා ලද බස් යොදවන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට මිස හඳට යෑමට නොවේ. චන්ද්‍ර සංචාරක වැඩකදී නම් ජාත්‍යන්තර ප්‍රමිතිය බැලිය යුතුමය. එසේ නොවන අවස්ථාවකදී රෝද හතර කැරකේ නම් බස් එක මගදී නොනවතී නම් එන්ජිමට ගිනි ඇවිලීමේ හැකියාවක් නොමැත්තේ නම් ඒ බස් පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමට සුදුසු බව අපගේ වැටහීමය. ලංගම ඉංජිනේරුවන්ගේ ජාත්‍යන්තර ප්‍රමිතිය ඉතාම සැක සහිත කාරණයකි. මේ පිටුපස ‘ජරාව’ ප්‍රශ්නයක් තිබේ දැයි අපට නොවැටහේ. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අප රජයෙන් ඉල්ලමු. එසේම ජාත්‍යන්තර ප්‍රමිතියට නොව අඩුම ගණනේ ලාංකික ප්‍රමිතියටවත් ගැළපෙන ඉංජිනේරුවන් කී දෙනෙක් ලංගමයේ සිටිත්දැයි සොයා බලමු.

පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශය විසින් මේ බස් මිලටගෙන ඇත්තේ එකක් රුපියල් ලක්ෂ 40 බැගිනි. සාමාන්‍යයෙන් මෙවැනි බසයක සැබෑ මිල 2017 ඩොලර් රේට් එකට අනුව රුපියල් ලක්ෂ 90 කි. ජාත්‍යන්තර ප්‍රමිතිගත ලංගම ඉංජිනේරු කැළ විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම බස් තොගය පාසල්වලට සහ විශ්ව විද්‍යාලවලට විකිණීමට තීරණය කර ඇති බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ. ඉංජිනේරු කල්ලියකට යටත් වී ආණ්ඩුව මෙසේ නගුට ……….. ගසා ගැනීම කෙරෙහි අප තුළ ඇත්තේ විමතියකි. ආර්. ප්‍රේමදාස වැනි කෙනකු ප්‍රවාහන ඇමැතිව සිටියේ නම් පෙරකී ඉංජිනේරුවන්ට සිදුවන්නේ තම තමන්ගේම බස් එලවාගෙන ගොස් පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමටය. එහෙත් මෙකල හැමටම වැඩිය ඉහළින් තිබෙන්නේ මානව හිමිකමයි. එබැවින් මානව හිමිකම්වලට රට ආණ්ඩු කරන්නට දී නිකම් බලාගෙන සිටිනවාද යන්න ආණ්ඩුව තීරණය කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment