ලංකා යහපතට පුතත් දුවත් එවූ ධර්මාශෝක මහ රජු

159

දේවානම් පියතිස්ස රජු මිහිඳු හිමියන් කී හැටියට අනුරාධපුර සීමාව පිහිටුවීම

ලංකාවේ බෞද්ධයෝ ලක්දිවට බුදු සමය ලැබුණු දිනය වශයෙන් පොසොන් පොහෝ දිනය උසස් කොට සලකත් බුදු සමය ගෙනා උතුමා වශයෙන් මිහිඳු මාහිමියන් ගෞරවයෙන් සිහි කරත් එහෙත් බුදුසමයත් මිහිඳු මහ රහතන් වහන්සේත් එවූ උතුමා වශයෙන් ධර්මාශෝක මහ රජතුමා ගෞරවයෙන් සිහි කරන්නෝ ස්වල්ප දෙනෙක් වෙති. ස්වකීය පුතාත්, දුවත් යන දෙදෙනාම විදේශයක යහපත සඳහා එවූ අධිරාජයා වශයෙන් දහම්සෝ රජතුමා ගැන සලකා බලන විට ලංකාවේ බෞද්ධයන් එතුමාගේ නාමය සිහි කළ යුත්තේ බුදුන් වහන්සේට පමණක් දෙවෙනිව යැයි කිව යුතුය.

සිංහලයන් බෞද්ධයන් වූයේ එතුමා නිසාය. ලංකාව බෞද්ධ රටක් වූයේ එතුමා නිසාය. රුවන්වැලි, අභයගිරි, ජේතවන වැනි මහා චෛත්‍ය ද ලෝවාමහපාය වැනි මහා ප්‍රාසාද ද දෙවන පෑතිස්, දුටුගැමුණු, සිරිසඟබෝ, පරාක්‍රමබාහු වැනි බෞද්ධ රජවරුන් ද අනුලා, සෝමා, විහාරමහා වැනි දේවි වරුන් ද දිඹුලාගල මහා කශ්‍යප, වනරතන, ධර්මකීර්ති, ශ්‍රී රාහුල, වැලිවිට සරණංකර වැනි මහා සංඝරාජවරුන් ද අවුකන, සමාධි වැනි ප්‍රතිමා ද ත්‍රිපිටකය වැනි ධර්මයන් ද අපට ලැබුණේ එතුමා නිසාය.

ධර්මාශෝක රජතුමා නොසිටින්න බුද්ධාගම ලෝක ආගමක් බවට පත් නොවන්නට ඉඩ තිබුණි. බුද්ධාගම ඉන්දියාවේ ඉපිද ඉන්දියාවේම ජීවත් වන්නට තිබුණි. හින්දු ආගම හා ජෛන ආගමත් ඉන්දියාව තුළටම සීමාවී තිබෙන්නාක් මෙනි. අශෝක කාලය තෙක් බුද්ධාගම මධ්‍ය දේශය හා ඒ අවට ප්‍රදේශවල පමණක් පැතිර ගිය ප්‍රාදේශීය දර්ශන වාදයකි. බුද්ධ වචනය ආගම ධර්මයක් බවට පෙරළුවේත් බුදුන් වහන්සේ ශාස්තෘවරයකු කළේත් අශෝක විසිනි.

ලෝක ප්‍රසිද්ධ ශ්‍රේෂ්ඨ ලිපි අතර අශෝක සෙල් ලිපි ප්‍රධාන තැනක් ගනියි. අශෝක රජුගේ නියම චරිතය පිළිබිඹු වන්නේ ඒ සෙල් ලිපිවලිනි.

යුද බෙරය දහම් බෙරයට හැරවූ අශෝක, තමා සතු විශාල යුද හමුදාව ද දැහැමි හමුදාවක් බවට පත් කළේය. යුද්ධ කිරීමේ අනුසස් වෙනුවට ආදීනව කියා දුන්නේය. යුද හමුදා යවා රටවල් අල්ලා ගැනීම සම්පූර්ණයෙන් නවත්වා, ධර්ම දූත හමුදාවල් යවා පිටරැටියන්ගේ සිත් අල්ලා ගැනීමේ ක්‍රමය ආරම්භ කළේය. අශෝකගේ ධර්ම දූතයෝ ඉන්දියන් සභ්‍යත්වය ප්‍රචාරය කළ සභ්‍යත්ව තානාපතීහු වූහ. යුද්ධ නොකිරීමත්, හැම දෙනා අතර සාමයත් පළමුවරට විදේශ ප්‍රතිපත්තිය කරගත් ලෝක ඉතිහාසයෙහි සඳහන් එකම රජු දහම් සෝ රජුය. ධර්මාශෝක රජු ය. ධර්මාශෝක රජු බුද්ධාගමට මහත් නම්බුවක් විය. ඔහු වැනි ශ්‍රේෂ්ඨතම වෙන රජෙක් ආගමික සභ්‍යත්වයකින් පැනනැඟී නැත. බුද්ධාගම නිසා අශෝක රජු ප්‍රසිද්ධ විය. අශෝක රජු නිසා බුද්ධාගම ප්‍රසිද්ධ විය. බෞද්ධ සභ්‍යත්වයෙන් ඔප් නැඟුණු ශ්‍රේෂ්ඨතම රජතුමා අශෝකය.

අශෝක සෙල් ලිපි එක් අතකින් රාජ නීති සංග්‍රහයකි. එක් අතකින් ධර්ම ග්‍රන්ථයකි. එක් අතකින් අපූර්ව චරිතාපදානයකි. කලක් මේ ලිපි කියැවිය හැක්කෙක් මිහිපිට නො සිටියේය. ජේම්ස් පින්සෙප් නමැති ඉංග්‍රිසි ජාතිකයා විසි අවුරුද්දක් ව්‍යායාමයෙන් බ්‍රාහ්මී හෝඩියක් තනා සෙල් ලිපි කියවන්නට පටන් ගත්තේය. ඔහුගේ උත්සාහය රටක් සොයා ගත් වීරයකුගේ උත්සාහයට දෙවෙනි නැත.

ලංකා යහපතට පුතත් දුවත් එවූ ධර්මාශෝක මහ රජු

අපවත්වී වදාළ
පණ්ඩිත ගණේගම සරණංකර
නාහිමියන් විසින් 1957 දී ලියන ලද්දකි.

advertistmentadvertistment
advertistmentadvertistment