ලක්‍ෂ හැටහතකට පොලී මුදල්
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි සැපයීම් ලබාදීමේදී සුරක්‍ෂිත තැන්පතු ලෙස විදුලි පාරිභෝගිකයන්ගෙන් අයකර ඇති මුදල් සඳහා සියයට 11.67 ක වාර්ෂික පොලියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (28) ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කළේය.
2023.1.1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එකී වාර්ෂික පොලිය ගෙවිය යුතු බවට ද එස්. තුරෙයිරාජා, සෝභිත රාජකරුණා හා මේනකා විජේසුන්දර යන විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළහ.
විදුලිබල පනත අනුව එකී සුරක්‍ෂිත තැන්පතු සඳහා වාර්ෂික පොලියක් ගෙවිය යුතු වුවත් එම පොලී මුදල් ගෙවීම පැහැර හැරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් එකී නෛතික පොලිය ගෙවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගිකයන්ගේ සංගමය, එහි සභාපති මහේෂ බණ්ඩාර ඉලංසිංහ හා එම සංගමයේ ලේකම් ප්‍රසාද් භාතිය අමරකෝන් යන මහත්වරුන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම පෙරේදා (28) විවෘත අධිකරණය හමුවේදී කැඳවිණි. එහිදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුරේකා අහමඩ් මහත්මිය කරුණු දක්වමින් තුන්වන වගඋත්තරකාර ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2024.1.30 වැනිදා ගොනුකර ඇති මෝසම් පත්‍රය අනුව කටයුතු කිරීමට අවසර දෙන ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියාය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සවින්ති පොන්නම්පෙරුම මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියහ. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එම නියෝගය නිසා රටපුරා සිටින විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ 67කට අධික ප්‍රමාණයකට විශාල සහනයක් ලැබෙන බව අප කළ විමසීමකදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ මහතා “ දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක