ලංවිම වෘත්තීය සමිතිවලට පැනවූ වාරණය ලබන 01දා තෙක් දීර්ඝ කෙරේ

42

මහජනතාවට පීඩාවක් වන පරිදි කිසිදු වැඩවර්ජනයක නිරතවීම වළක්වමින් තම අධිකරණය විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව 96 කට නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන මස පළමු වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (18දා) නියෝග කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, නීතිඥ උපුල් කුමාරපෙරුම, නීතිඥ නයිජල් හැච් යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශ්වයේ නීතිඥවරුන් දීර්ඝ ලෙස දැක්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා එම නියෝගය කළේය.

වෘත්තීය සමිති විසින් 2023.12.20 වැනිදා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති ලිපිය අනුව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ හොත් මහජනතාවට පිරිමැසිය නොහැකි අගතියක් සිදුවන බවත්, එම පැමිණිල්ල මගින් අධිකරණයට කියා තිබිණි. එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබලමණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය, මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමය, ලංකා විදුලි සේවක සංගමය ඇතුළු සංගම් හා එහි නිලධාරීන් ඇතුළු පාර්ශ්ව 96 ක් නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment