ලංවිම සේවකයන්ට අනුමැතියට පිටින් දීමනා

236

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලැයිස්තුවට ඇතුළත් කර නොතිබූ ඉංජිනේරු දීමනා, දිරිදීමනා, තාවකාලික දීමනා, සුදුසුකම් පදනම් කරගත් දීමනා ඇතුළු නොයෙකුත් වර්ගයේ දීමනා සඳහා 2022 වර්ෂයේ රුපියල් මිලියන 417.65 ක මුදලක් වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම ඕ.එච්. සහ එස් දිරිදීමනාව, කාර්ය මණ්ඩල, සම්ප්‍රේෂණ සහ ජනන සැලසුම්, පද්ධති පාලන, දෙමළ භාෂා වෙනත් දීමනා මණ්ඩලයේ අදාළ සේවකයින් සඳහා ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම 2022 වර්ෂයේ ජුනි මාසය සඳහා පමණක් වෘත්තීය දීමනාවට හිමිකම් කියන නිලධාරින් 487 දෙනකුට රඳවා ගැනීමේ දීමනාව ලෙස රුපියල් මිලියන 11.99ක මුදලක් ගෙවා තිබුණි.

එමෙන්ම නිලධාරින් 136 දෙනෙකු සඳහා දීමනා වශයෙන් 2022 වර්ෂයේ ජුනි මාසය සඳහා පමණක් එම නිලධාරින්ගේ වැටුපෙන් සියයට 65ක් ඉක්මවා රුපියල් මිලියන 3.65ක මුදලක් ගෙවා තිබුණි. එමෙන්ම අමාත්‍ය මණ්ඩලයේ තීරණයට පටහැනිව 2008 අප්‍රෙල් මස 01 වැනි දිනෙන් පසුව බඳවාගනු ලබන සේවකයින් සඳහා කාර්යසාධන පදනම් කර ගත් දිරි දීමනා ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවට අනුමත දීමනා 25ක් ගෙවනු ලබන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ 2022 ජුලි මස 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කාර්ය මණ්ඩල දීමනා වැටුපෙන් සියයට 65කට සීමා කිරීමට මණ්ඩලය විසින් තීන්දුකොට එයට අදාළ චක්‍රලේඛයක් නිකුත්කොට ඇති බවය.

ලලිත් චාමින්ද


advertistmentadvertistment