ලක්ෂ තුනක හොර බීඩි අල්ලයි

265

ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා බීඩි තොගයක් දක්ෂිණ අධිවේගී මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු බන්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
සැකකරු සමඟ බීඩි 36000 මෙන්ම ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද පොලිසිය භාරයට ගෙන ඇත.
හෝමාගම පිටිපන ප්‍රදේශයේ ප්‍රසිද්ධ බීඩි නිෂ්පාදන සමාගමක නාමය සහ ලාංඡනය යොදාගෙන ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද බීඩි තොගයක් අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රදේශයට ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අකුරැස්ස ප්‍රදේශයේ සිට පැමිණෙමින් තිබූ මෝටර් රථය ගැලනිගම අධිවේගී පිවිසුමෙන් පිටතට පැමිණීමේදී අධිවේගී පිවිසුම අසල රැක සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු පදවාගෙන පැමිණි මෝටර් රථය නවතා පරික්ෂා කිරීමේදී මෝටර් රථයේ ඩිකියේ සඟවා තිබූ මෙම බීඩි තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පානදුර ප්‍රදේශයට මේවා ප්‍රවාහනය කරන බවට දැනගන්නට ලැබුණු බව පොලීසිය කියයි.
ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද මෙම බීඩි බැලූ බැල්මට කිසිදු වෙනසක් නොපෙනෙන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව බුද්ධිමය දේපල යටතේ නඩු පැවරීමට කටයුතු යොදා පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක
ආර් එස් ගුණසේකර මහතාගේ උපදෙස් මත දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශශික මධුසංඛ මහතා ඇතුළු නිලධාරීන් වැටලීම සිදු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment