ලක්ෂ 17 ක් වන මෙරට ආබාධිත ජනයාට පිළිසරණක් නෑ

307

ශ‍්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් මිලියන 1.7 ක් ආබාධ සහිත තැනැත්තන් වන අතර එය මුළු ජනගහනයෙන් සියයට 8.7 කි. මවුකුසින් බිහිවන ආබාධ සහිත දරුවන්ට ප‍්‍රාථමික සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ සිට පෙරපාසල් අධ්‍යාපනය දක්වා ද ඉන් අනතුරුව ස්වාධීනව ජීවත් වීම සඳහා ද අනේකවිධ වූ ආකල්පමය පාරිසරික සංස්කෘතික සාමාජීය සහ දේශපාලන ගැටලූ මෙන්ම අභියෝග රැසකට මුහුණ පෑමට සිදුව තිබේ.

ලක්ෂ 17 ක් වන මෙරට ආබාධිත ජනයාට පිළිසරණක් නෑ
ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ ප‍්‍රධාන ලේකම්,
ආබාධිත තැනැත්තන් පිළිබඳ වන ජාතික සභාවේ සාමාජික,
තැන්නෙකුඹුර විද්‍යාලයේ ආචාර්ය ප‍්‍රසන්න වික‍්‍රමසිංහ

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ පනත මගින් අධ්‍යාපනයට සහ රැුකියාවලට සම අයිතියත් පොදු ස්ථානවලට ප‍්‍රවේශ වීමත් යන මූලික අයිතීන් පමණක් ආවරණය කොට තිබේ. නමුත් පොදු ස්ථානවලට ප‍්‍රවේශ වීමේ පහසුකම් ඇති කිරීමට කිසිදු රජයකට හැකි වී නැත. ඒ හැර අනෙකුත් අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා ද කිසිදු නෛතික ප‍්‍රතිපාදනයක් ප‍්‍රමාණවත් ලෙස ලබා දීමට කිසිදු රජයකට නොහැකි වී තිබේ. ජනතාව යම් හෝ පමණකින් භුක්ති විඳින අයිතිවාසිකම් ආබාධ සහිත ප‍්‍රජාවට ඇහිරී ඇති බව මෙරටේ ජීවත් වන කිසිවකුත් නොදන්නවා විය හැකිය.

ආබාධ සහිත පුද්ගලයන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලෙස නම් කිරීමත් ඔවුන්ට හිමි ජාත්‍යන්තර දින සැමරුම්වලදී පමණක් රටේ මෙවන් පිරිසක් ඇති බවට ප‍්‍රසිද්ධ උත්සව මගින් හඬගා කීමත් විනා ඔවුන්ට ජීවත්වීමේ අයිතිය ලබාදීමට මෙතෙක් කිසිවකුටත් හැකිවී නැති බව කිව හැකිය. මේ පිළිබඳව සැබෑ තතු දන්නේ ඔවුන්මය. ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ ප‍්‍රධාන ලේකම්, සභාපති සහකම්පන සංවිධානය නිර්මාතෘ සහ සභාපති, ආබාධිත තැනැත්තන් පිළිබඳ වන ජාතික සභාවේ ප‍්‍රබල සාමාජික, තැන්නෙකුඹුර විද්‍යාලයේ ආචාර්ය ප‍්‍රසන්න වික‍්‍රමසිංහ මහතා ඊට අදාළ කරුණු දක්වමින් කළ සංවාදය මෙසේ ගෙන එන්නෙමු.

මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ සිටින ආබාධ සහිත පුද්ගලයන් ගණන සහ ඔවුන්ගේ වර්ගීකරණය දැක්විය හැක්කේ කෙසේද?

ශ‍්‍රී ලංකාවේ දහහතරවන ජන හා නිවාස සංගණනය සිදු කළ 2011 වසරේදී ශාරීරික හා මානසික අපහසුතා සහිත පුද්ගලයන් ගණනය කිරීමක් කෙරුණා. එහිදී ‘අපහසුතාවක් නොමැත’ ‘ අපහසුතාවන් ඇත,’ ‘කිසිවක් නොහැක’ ලෙස කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණයක් සිදු කළා. නමුත් ඒ වන විට වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ තොරතුරු නිවැරදිව වාර්තා වීමක් සිදු වූයේ නෑ.

ඒ අනුව වයස අවුරුදු පහට වැඩි ශාරීරික හා මානසික අපහසුතා ඇති පුද්ගලයන් සංඛ්‍යාත්මකව 1617924ක් සිටින බවට වාර්තා වුණා. එයින් වැඩිම පිරිසක් වන පුද්ගලයන් 996,939ක් පෙනීමේ අපහසුතා ඇති පුද්ගලයින් බවට සනාථ වුණා. ඇවිදීමේ අපහසුතා ඇති පුද්ගලයින් සංඛ්‍යාත්මකව 734213ක්. ඇසීමේ අපහසුතා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 389077 ක්. ඒ අනුව පුද්ගලයින් දාහකට අසූ හත් දෙනෙක් ශාරීරික මානසික අපහසුතාවයට ලක් වූ පුද්ගලයින් බවට ගණනය කළ හැකියි යි.

ඒ අතරින් ශ‍්‍රම බලකායට අයත් පුද්ගලයින් ලෙස ගණනය කිරීමක් කළ හැකිද?

ඔව්. ඉහත සඳහන් පිරිස අතරින් මතක තබා ගැනීම තමාගේ කටයුතු තමාම කර ගැනීම ලෙස නැවත වර්ග කිරීමක් කළ හැකියි. ඒ අනුව මතක තබා ගැනීමේ ශක්තිය ඇති 343689 ක් පිරිසක්ද තමාගේ කටයුතු තමා ම කර ගැනීමට හැකියාව ඇති 197575 ක පිරිසක් ද සිටින බව සනාථ වුණා. මේ අය අතරින් වැඩි පිරිසක් ශ‍්‍රම බලකායට දායකත්වය ලබාදී තිබෙනවා. වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව 1558852 ක්. එයින් 453091ක් සියයට 21.1ක් කිසියම් හෝ ආර්ථික කටයුත්තක නියුතුව සිටිනවා. කෙටියෙන්ම කියතොත් මුදල් උපයනවා. නමුත් රැකියාවක් කළ හැකි වුවත් රැුකියාවක් නොලැබී රැකියා වියුක්තිකයන් ලෙස 10953ක් රැකියා අපේක්ෂාවෙන් සිටින බව කිව යුතුයි.

ශාරීරික හා මානසික අපහසුතා ඇති පුද්ගලයින් කෙටියෙන්ම කියතොත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් දිස්ත‍්‍රික්ක මට්ටමින් සලකා බලන විට ලංකාව පුරාම ජීවත් වන බවට තොරතුරු අනාවරණය වෙනවා ඉන් වැඩිම අනුපාතයක් සිටින්නේ කුමන දිස්ත‍්‍රික්කයේ ද?

අනුපාත ලෙස පුද්ගලයින් දහසකට සලකා බැලීමේදී අනුපාතය එකසිය එකක් ලෙස විශේෂ අවශ්‍යතා සහිත වැඩිම පිරිසක් මහනුවර දිස්ත‍්‍රික්කයේ ජීවත්වන බවට තොරතුරු අනාවරණය වෙනවා. නුවරඑළිය සහ රත්නපුර දිස්ත‍්‍රික්කවල ද එම අනුපාතය සීයක් ලෙස දැකිය හැකි යි. අඩුම අනුපාතයක් ජීවත් වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ.

මෙම පුද්ගලයින්ගේ අධ්‍යාපන තත්ත්වය සලකා බැලීමේදී පොදුවේ සමස්තය අධ්‍යාපනය ලබා
තිබෙනවා ද?

පාසල් යන වයස් කාණ්ඩයේ හෙවත් වයස අවුරුදු 5 ත් 19 ත් අතර ශාරීරික හා මානසික අපහසුතා සහිත පුද්ගලයින් 88,740ක් දෙනා අතරින් 30308 ක පිරිසක් කිසිදු අධ්‍යාපන කටයුත්තක නොයෙදීම සුවිශේෂී කාරණයක්. විශේෂයෙන්ම ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු වයසේ සිටින අවුරුදු පහත් නවයත් අතර ශාරීරික හා මානසික අපහසුතා සහිත 31,545ක් වන දරුවන්ගෙන් 6404 දෙනෙකු පමණ එනම් සියයට 20.3 ක පමණ ප‍්‍රතිශතයක් අධ්‍යාපනය නොලබන පිරිස අතරට එකතු වෙනවා නම් මේ පිරිස අධ්‍යාපනය සඳහා යොමු කළ හැකි යි. මේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ මූලික අයිතිවාසිකමක් තිබෙනවා. රජයේ විසින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර තිබෙන බව කියන්න පුළුවන්.

දරුවන් 2,142 ක් පෙර පාසල් වයසේ ඉගෙනුම ලබන දරුවන්. වයස අවුරුදු 10 හෝ ඊට වැඩි වයසේ පසුවන 2,076 දෙනෙකුත් උපාධි හෝ එයට ඉහළ අධ්‍යාපනය ලබන අතරමං වෘත්තීය හෝ තාක්ෂණික පුහුණුව ලබන්නන් 2,445 දෙනෙක් සිටින බව සංඛ්‍යා ලේඛනවලින් සනාථ වී තිබුණා. මේ පිරිස අධ්‍යාපනය ලබන්නේ පහසුකම් සහිත පසුබිමක සිට නොවන බව අවධාරණයෙන් ම කිව යුතුයි.

අධ්‍යාපනය හැරුණු විට ආබාධිත තැනැත්තන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූ මොනවද?

ප‍්‍රධාන ගැටලූ ලෙස සලකා බැලූවහොත් ජීවත් වීමේ මූලික අයිතිවාසිකම් සියල්ල අහිමි වී තිබෙන බව කියන්න පුළුවන්.

ආබාධ සහිත කිසිදු පුද්ගලයෙක් අනුකම්පාවක් බලාපොරොත්තු වන්නේ නැහැ. මේ සියලූ දෙනාටම ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. ආබාධ සහිත සෑම පුද්ගලයෙක්ම ආහාර පාන ඉඳුම් හිටුම් මෙන්ම තමන්ගේ කටයුතු සඳහා නිදහසේ ගමන් බිමන් යෑමට අවශ්‍ය පහසුකම් ලෝකයේ සෑම රටකම ලබාදී තිබෙනවා. නමුත් ශ‍්‍රී ලංකාවේ රජය මේ පහසුකම් සපයාදීම මග හැර තිබෙනවා. සරලවම කිව්වොත් ප‍්‍රවිෂ්ට මාර්ග සඳහා කිසිදු පහසුකමක් ලංකාවේ කිසිදු දිස්ත‍්‍රික්කයක නිසි ලෙස ඉදිකර නැහැ.

අලූතින් ඉදිවන සියලූ ගොඩනැගිලිවල ආබාධ සහිත තැනත්තන්ට ප‍්‍රවේශ පහසුකම් තිබිය යුතු බවට 2009 අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ වන විට ඉදිකර අවසන්ව පවතින ප‍්‍රසිද්ධ හා සේවා පහසුකම් සපයන ගොඩනැගිලිවල 2014 ඔක්තෝබර් 16 දිනට ප‍්‍රථම අදාළ පහසුකම් ස්ථාපිත කරන ලෙසත් එහි දක්වා තිබෙනවා. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා නොවන අවස්ථාවල ඒ සඳහා මැදිහත් වන ලෙස දැනුම් දීමට ඇති මානව හිමිකම් කාර්යාල වෙත යෑමට පවා නිසි ප‍්‍රවිෂ්ට මාර්ග නොමැති බව කිව යුතුයි. මේවා බලධාරීන් කිසිවෙකුත් තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ.

රජයේ ගොඩනැගිලි සියයට අනූඅටකම මේ පහසුකම් නැහැ. සමාජ සේවා දෙපාර්තමේන්තුව, නිවාස සංවර්ධන අධිකාරිය, පොලීසිය, මධ්‍යම වෙළෙඳ පොළ, රෝහල්, සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් සභාව, ආණ්ඩුකාර කාර්යාලය, කම්කරු දෙපාර්තමේන්තුව, පුස්තකාලය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියන මේ ආයතන කිසිවක ආබාධිත තැනැත්තන් සඳහා ප‍්‍රවේශ පහසුකම් නැහැ. සමහර තැන්වල තිබෙනවා නමට පමණක්. උමං මාර්ගය හදලා තියෙන්නේ එම ස්ථානයෙන් පාර මාරු වෙන එක වළක්වන්නයි. ඒත් උමං මාර්ගයට රෝද පුටුවකින් යන්න බැහැ. දුම්රිය ස්ථානයට රෝද පුටුවකින් ගිහින් ප‍්‍රවේශ පත‍්‍රයක් ගන්න පහසුකමක් නැහැ. ආබාධ සහිත තැනැත්තන්ට ප‍්‍රවේශ පහසුකම් තිබෙන ලෙස ගොඩනැගිලි ඉදි කරන්න කියලා ප‍්‍රවේශ නියෝගයක් පවතින බව රජයේ ඉංජිනේරුවරු, තාක්ෂණික නිලධාරීන් අති බහුතරයක් දන්නේත් නැහැ. ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 17 ක් පමණ ආබාධ සහිත අයයි. මේක ජනගහනයෙන් 8.7 ක්. ආබාධ සහිත තැනැත්තන් නිතර සමාජ සේවා අංශයට යනවා. නිසි ප‍්‍රවේශ පහසුකම් නැත්නම් අපි ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට කියනවා. එතනට යන්නත් නිසි පහසුකමක් නැහැ.

පොදු ප‍්‍රවිෂ්ට මාර්ග සේම පොදු ප‍්‍රවාහනයේ ද ඇති තරමට බාධා තිබෙනවා. සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී ඇති වන ගැටලූ අවශ්‍ය නම් වෙන් වෙන් වශයෙන් දක්වන්න පුළුවන්. නීතිය ඉදිරියේ සමාන ලෙස පිළිගනු ලැබිය යුතු වුව ද අධිකරණ ක‍්‍රියාවලිය තුළදී ඇතිවන බාධා එමටයි. ආගමික අධ්‍යාත්මික සංස්කෘතික කටයුතු ක‍්‍රීඩා සහ විනෝදාංශ විනෝදාස්වාදය පිණිස ඇති අවස්ථා සියල්ලක්ම පාහේ ආබාධ සහිත තැනැත්තන් හට අහුරා තිබෙන බව කියන්න පුළුවන්. තවදුරටත් පෙන්වා දුන්නොත් දහස් ප‍්‍රකාශ කිරීමට ඇති නිදහස සහ තොරතුරු සඳහා ඇති අයිතිය මුළුමනින්ම අහුරලා තියෙනවා. එපමණක් නොවෙයි මැතිවරණ ක‍්‍රියාවලියට සහභාගි වීමේදී පවතින්නේ බාධා පමණයි ජනගහනයෙන් සියයට 8.7 ආබාධ සහිත පුද්ගලයින් ජීවත් වුවත් පාර්ලිමේන්තුව තුළ කිසිදු නියෝජනයක් මේ වන තුරුත් දක්නට ලැබුණේ නෑ. ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අන් අය තීරණ ගන්නා අතර එහිදී ආබාධ සහිත පුද්ගලයින්ගේ අවශ්‍යතා පිළිබඳව සාර්ථක ලෙස අර්ථ නිරූපණයක් සිදුවන්නේ නැහැ.

එවන් පරිසරයක් නිර්මාණය වී තිබුණත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරමින් නීති සම්පාදනය වී තිබෙනවා නේද?

නිදහස් ශ‍්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයෝ දෙවන ගණයේ පුරවැසියන් ලෙස තමයි පිළිගන්න පටන් අරන් තිබෙන්නේ. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 වන පරිච්ෙඡ්දය 4 වැනි වගන්තියේ සඳහන් පරිදි ආබාධ සහිත පුද්ගලයෝ අබලි පුරවැසියෝ ලෙස නම් කර තිබෙනවා. එලෙස සඳහන් කර ඇති මේ අබලි භාවය කියන විකෘති හඳුන්වා දීමට එරෙහිව අපි නැගී සිටියා. අපේ ලොකු විශ්වාසයක් තිබුණා ජාත්‍යන්තර පරිචයක් තිබෙන ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයෙක් රටේ පත් වූ විගස මේ විකෘති හඳුන්වාදීම ඉවත් කොට අපට විවෘත පොළොවක් තුළ පය ගහලා ජීවත් වෙන්න පසුබිමක් හදලා දෙයි කියලා. නමුත් ඒක හීනයක් පමණයි.

ඒ විතරක් නෙවෙයි 1988, 2788 චක‍්‍රලේඛයට අනුව ආබාධිත පුද්ගලයන්ගෙන් සියයට තුනක ප‍්‍රතිශතයකට රැකියා අවස්ථා ලබා දෙන ලෙස නෛතික පසුබිමක් සකස් වෙලා තියෙනවා. මේවා ක‍්‍රියාත්මක වන්නේ නැහැ.

නමුත් ඔබ සමග ලක්ෂ සංඛ්‍යාත ආබාධ සහිත පුද්ගලයන් මැතිවරණ සමයේ දේශපාලනයේ අතකොළුවක් බවට පත් ව සිටි බවට තොරතුරු තිබෙනවා.

අපිට වැරදුනේ එතන. ජාත්‍යන්තරයේ ඇසුරක් තිබුණ ගෝඨාභය රාජපක්ෂ වැනි පුද්ගලයෙක් රට බාර ගන්න සූදානම් වන විට අපි අපේ අභිමානය ඔහු වෙනුවෙන් පරිත්‍යාග කළා. කිසිදිනෙක දේශපාලනේට අඩිය නොතියපු අපි අපේ කීර්තිනාමය පරදුවට තියලා දේශපාලනීකරණයට අත පෙවීමට ඉදිරිපත් වුණේ ඔහු මේ රටේ නායකයා බවට පත් කරන්න. අපගේ සාමූහික එකමුතුවක් වන සහකම්පන සංවිධානය එක්ව සෞභාග්‍ය දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ විසිහත් වැනි පිටුව නිර්මාණය කරන්නට පූර්ණ දායකත්වය ලබා දුන්නා. නමුත් මේ වන තුරුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපට සාකච්ඡාවක්වත් දීලා නැහැ.

1996 අංක 28 දරණ ආබාධිත පුද්ගලයින් සඳහා ඇති ජාතික සභාව ජනාධිපතිවරයාගේ පළවෙනි පදවිප‍්‍රාප්තියෙන් පසුව පත්කළා. මුල් වකවානුවේ බාර ගෙන සිටියේ පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය. ඇය ඉතා නිර්දය ලෙස මෙම සභාව වහලා දැම්මා.

ඉකුත් ඔක්තෝබර් 16 වෙනි දින බැසිල් රාජපක්ෂ මහත්තයා අපට කතා කරලා අයවැයට යෝජනා භාර ගත්ත. මේ රටේ ආබාධිත දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය අධිතාක්ෂණික ආම්පන්න දරාගත නොහැකි තරමට මිල ඉහළ ගොස් තිබෙනවා ඒ මිල අයවැයෙන් අඩුකර දෙන ලෙස අපි ඉල්ලීම් කළා. නමුත් ඒ ගැන හෝ වෙනත් පහසුකමක් ලබාදීම ගැන හෝ අයවැය කිසිදු සඳහනක් නැහැ.

සාකච්ඡා කළේ
සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment