ලක්‍ෂ 220ක් ප්‍රාණ ඇපයට තබා දේශපාලන කප්පම් ඉල්ලීම! – දේශපාලනය නීතිය සහ පොලිසිය

185

දේශපාලනය නිසා පිරිහී ගිය බොහෝ රාජ්‍ය ආයතන මෙන්ම නිලධාරීන් පිළිබඳව ද නැඟෙන චෝදනා සුළුපටු නැත. මේ අතර දේශපාලනය නිසා විනාශ වූ ආයතන අතර බොහෝ විට සඳහන් කරනු ලබන ආයතනයක් ලෙස පොලිසියට චෝදනා පත්‍රයක් ඉදිරිපත්ව තිබේ. නීතිය හා සාමය සුරැකීමේ වගකීම භාර වූ පොලිසිය යනු රටක පුරවැසියාගේ පළමු ආරක්‍ෂකයා බව අපගේද අදහසය. එවන් පොලිසියක් දේශපාලනඥයන්ගේ අතකොලුවක් බවට පත්ව තිබේ නම් ඒ ගැන කතා කළ යුතු නැත. පොලිසිය ආණ්ඩුවක මර්දන යන්ත්‍රය ලෙස භාවිත වන්නේ නම් රටේ ස්වභාවික යුක්තිය මෙන්ම පුරවැසියන්ගේ හිමිකම් ද අනතුරක බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. අපගේ මෙම පූර්විකාව ලියන ලද්දේ දැන් සෑහෙන කලක සිට පොලිසිය පාලකයන්ගේ උපකරණයක්, අවියක් ලෙස භාවිත වන බවට කෙරෙන චෝදනා, මෙන්ම ඒ සම්බන්ධයෙන් අසෙන සංවාද – වාද විවාද ආදියත් සැලකිල්ලට ගනිමින්ය. පොලිසියට භාරවී තිබෙන කාර්ය සුළුපටු නොවන්නා සේම එයට අනිසි ලෙස ඇඟිලි ගැසීමක් කවරකු ගෙන් හෝ සිදු වන්නේ නම් එයින් කෙරෙන කාර්ය භාරය යුක්ති ධර්මයට පට හැනිවීම ගැන පොලිසියට චෝදනා කිරීම ද සාධාරණ නැත.

ඇරිස්ටෝටල් සිය දේශපාලන විග්‍රහයේදී අවධාරණය කර ඇත්තේ ඉතා හොඳ මිනිසුන්ට වඩා යහපත් දෙය ඉතාම හොඳ නීතිය බවය. සියලුම සත්ත්වයන් අතරින් උසස්ම සත්ත්වයා මිනිසා වුවද නීතියෙන් හා යුක්තියෙන් ඔහු වෙන් කළ විට සියලු සතුන් අතර නරකම සත්ත්වයා මිනිසා බවද ඔහු පෙන්වා දෙයි. එනිසා නීතිය යනු සමාජ අවශ්‍යතාවකි. එය පීඩාවක් නොවන පරිදි පවත්වා ගෙන යෑමට පාලකයා බැඳී සිටියි. එහෙත් පාලකයා අතින් ඒ සද්කාරය ඉටු නොවීම පොලිසිය මෙන්ම පුරවැසියා ද මුහුණ දී සිටින අර්බුදයක් බව පෙනේ. විශේෂයෙන් පුද්ගල නිදහස සම්බන්ධයෙන් පාලකයන් දක්වනු ලබන ප්‍රතිචාර බොහෝ විට සමාජයක ගැටුම් දක්වා විහිද යන බවද රහසක් නොවේ. භාෂණයේ හා කථනයේ නිදහස මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ලක්‍ෂණ අතර වේ. නිදහසට සීමා පැනවීම නොමැනවයි පිළිගන්නා නමුදු ඒ නිදහස අන් අයගේ නිදහසට බාධාවක් නොවිය යුතු බවද අප සඳහන් කළ යුතුය. හැරල්ඩ් ලැස්කි මේ පිළිබඳව කළ අවධාරණය ඉතා ප්‍රකටය. පුද්ගලයකුගේ අතෙහි තිබෙන සැරයටිය අනෙකාගේ නාසයෙන් කෙළවර විය යුතුය. යනු ඔහු පෙන්වා දෙයි. සිවිල් ආර්ථික හා දේශපාලන නිදහස සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට තිබෙන අයිතිය පාලකයා රුචි නොකරන්නක් වුවද එයට කිසිසේත් බාධා නොකළ යුතු බවද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලධර්මයක් බවට පත්ව තිබේ.

ලක්‍ෂ 220ක් ප්‍රාණ ඇපයට තබා දේශපාලන කප්පම් ඉල්ලීම! - දේශපාලනය නීතිය සහ පොලිසිය

පසුගියදා මෙරටේ ඇතිවූ කාන්තාවන් දෙදෙනකුගේ පාගමනට පොලිසිය හරස් වූ ආකාරය විවාදයට තුඩු දී තිබෙන සිද්ධියකි. පානදුර සිට කොළඹ දක්වා ඇරඹු පාගමනකට බාධා කරමින් පොලිසිය හැසිරුණු ආකාරය සිවිල් සමාජයේ මෙන්ම නීති ක්‍ෂේත්‍රයෙහිද දැඩි දෝෂ දර්ශනයට ලක් විය. ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද එය හෙළා දුටු අතර ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඒ ගැන කනස්සල්ල ද පළකර තිබුණි. මෙම සිද්ධියට අදාළ පොලිස් ප්‍රතිචාරයක් පිළිබඳ දක්වනු රූපරාමුවක් සමාජයේ ඉමහත් සංවාදයට ද ලක් විය. එයින් පිළිබිඹු වූයේ පොලිස් කාන්තාවකගේ ගෙලින් අල්ලා උසස් පොලිස් නිලධාරියකු විසින් කරනු ලබන තර්ජනයකි. මෙය පොලිසියේ ම්ලේච්ඡත්වය අල්ජ්ජී ලෙස හුවා දක්වන්නක් බව කාන්තා සංගම් පුවත්පත් සාකච්ඡා පවත්වමින් කියා සිටි ආකාරය ද අපට සිහිපත් වේ.

මෙම විරෝධතාව ඇරඹූ කතුන් දෙදෙනා වෙනත් වාහනවල නැඟී පොලිසියෙන් මිදෙමින් කොළඹ ගාලු මුවදොරට පැමිණි බව ද වාර්තා විය. ඒ කුමක් වුවත් මෙබඳු අහිංසක විරෝධයකට පොලිසිය හරස් වීම පුදුමයකි. එය පොලිසියේ වුවමනාවට නොව වෙනත් දේශපාලන බලපෑමක් නිසා වූවක් බව සමහරු අනුමාන කරති. කුමක් වුවත් එය සිදු නොවිය යුතුව තිබිණි. මේ හැර අන්තර් විශ්වවිiාල බල මණ්ඩලය හෙවත් අන්තරේ සමග පොලිසියට නිබඳව ගැටීමට ද සිදුව තිබේ. මේ විරෝධතාවලට හේතු සාධාරණ හෝ අසාධාරණ ද යන්න ගැන සමාජයට විවේචන තිබේ. එහෙත් පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර මගින් සිදු කරන ක්‍රියාකාරකම් බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව ඇත.

මාක්ස්වාදීන්ට අනුව රාජ්‍යය යනු දේපළ හිමි පන්තියේ උපකරණයකි. එනිසා ම මර්දනය යනු එහි ස්වභාවයයි. සමහරු එය අනුමත කරති. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එබඳු මර්දන උපකරණ නැති බවද අද පිළිගනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු එබඳු මර්දන ක්‍රියා අනුමත නොකරන බවද කියති. එහෙත් පාලකයන්ගෙන් සමාජ යුක්තිය ඉටු නොවේ නම් එයට සාමකාමීව විරෝධතා දැක්වීම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට අයත් කොන්දේසියකි. බොහෝ විට පාලකයෝ එයට උඩින් පැන තම මර්දනය දියත් කිරීමට පොලිසිය යොදා ගනිති. මේ වනවිටත් දැඩි විවේචනයට ලක්ව තිබෙන සිද්ධියක් වන වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් රඳවා තබාගැනීම සමාජ ආන්දෝලනයකට ද හේතු වී තිබේ. මෙය නිදහස හා පාලකයන්ගේ ආකල්ප පිළිබඳ ගැටලුවක් ද යන්න අධිකරණයෙන් නිගමනය කළ යුත්තකි.

දේශපාලන බලය අවියක් ලෙස යොදා ගන්නා අවස්ථාවකදී එයට අභියෝග කළ හැකි වන්නේද උත්තරීතර අධිකරණය ඉදිරිපිට පමණ.ි වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවා තැබීම ගැන ද එයින් විනිශ්චයක් ලබාගත යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ඉතා පැහැදිලිව දක්වා තිබුණත් ඇතැම් අවස්ථාවල පොලිසිය යොදා ගනිමින් මර්දනය දියත් කරන බවට චෝදනා තිබේ. ඇතැම් විටෙක බලයට පත්වන අය ජනතාවගේ වුමනාවලට වඩා තම පක්‍ෂය, පවුල, අනුගාමික ආදීන්ට සේවය කරන බව ද රහසක් නොවේ. ජනතාව මර්දනය කිරීමට මෙන්ම නීතිය හා සමාය ආරක්‍ෂා කිරීම සඳහා සුබසාධන ලබාදෙන බවද මාක්ස්වාදීන්ගේ තවත් චෝදනාවකි. පොලිසිය මර්දනය හා හිරගෙවල් මෙන්ම නීතිය ද ධනපති පාලකයන්ට වාසියට යොදා ගතහැකි උපකරණ හා ආයතන ලෙස ද මාක්ස්වාදීහු දක්වති. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් මතය එය අනුමත නො කරයි.

කෙසේ වුවද නූතන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තහවුරු කෙරෙන වැදගත් ලියවිල්ලක් ලෙස එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පිරිළිගනු ලැබේ. සියලුම ජාතීන්ට හා මිනිසුන්ට පොදු වටිනාකමක් ලබාදීමට එයින් යොජනා කර ඇත. මිනිසා නිදහසේ උපත ලබන බවත් ඔහුට සම අයිතියක් මිහිමත හිමි විය යුතු බවත් එයින් පෙන්වා දෙයි. රාජ්‍යපාලනය යනු නීතිය සමග බැඳී තිබෙන ක්‍රියාදාමයක් වන අතර එය පාලකයන්ගේ අභිමතයට සකස් කර ගත හැකි බවද දේශපාලන විචාරකයෝ පවසති. එහෙත් නීතිය සමාජ යහපත යුක්තිය හා සාධාරණය මත පදනම් විය යුතු බවද පිළිගනී. සමාජ සම්මතයන් නීතිය බවට පත්වූ අවස්ථා ද වේ. එහෙත් සමාජ චාරිත්‍ර කඩකිරීමට හැකි වුවත් නීතිය නොතකා ක්‍රියා කිරීමට නොහැකි බවද නීතියේ එන සිද්ධාන්තයකි. නීතිය හා සාමය රැකීම පොලිසියට භාර වන්නේද මේ අනුවය. එහෙත් පොලිසියට අපක්‍ෂපාතීව සිය වගකීම් ඉටු කිරීමට ඉඩ නොදුන් අවස්ථා මෙරටේ දේශපාලනය තුළ අපට දැකගත හැකිය.

මෙරටේ දේශපාලන සංස්කෘතියෙහි පරිහානියෙහි ආරම්භය 1978 හඳුන්වා දුන් විවෘත ආර්ථිකය හා මනාප ඡන්ද ක්‍රමය අනුව සිදුවූ බව අද බොහෝ දෙනෙක් පිළිගනිති. ඒ කාලයේ පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැන ද විවේචන තිබේ. එදා ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන තමන් සංවේදී වූ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුවක් නොඉවසූ බවත් එයට අදාළ විනිසුරුවරුන්ගේ නිවෙස ඉදිරිපිට සිය පක්‍ෂ ආධාරකරුවන් විරෝධතා දක්වද්දී නිහඬව ඉවසූ බවද රහසක් නොවේ. එසේම ඒ යුගයේදී විවියන් ගුණවර්ධන පොලිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළ ආකාරය නීතිවිරෝධී බව අධිකරණය තීන්දු කළවිට ජයවර්ධන පාලනය එම පොලිස් නිලධාරීන්ගේ පාර්ශ්වය ගෙන ක්‍රියාකර තිබුණි. එමෙන්ම උඩුගම්පොළ නමැති පොලිස් නිලධාරියකුට ගෙවීමට නියමවූ වන්දි මුදල්ද රජයෙන් ගෙවා ඔහුට උසස්වීමක්ද දුන් බව සඳහන් වේ. මෙයින් ප්‍රකාශ වන්නේ පොලිසිය නීති විරෝධීව යෙදවීම පමණක් නොව, නීතියට සමච්චල් කිරීමේ අලජ්ජී දේශපාලනයකි. මෙබඳුම දේශපාලන දඩයමක් හිටපු අගවිනසුරු ශිරානි බණ්ඩාරනායක සම්බන්ධයෙන් ද සිදුවූ බවට චෝදනාවක් ඇත. එය මහින්ද පාලන යුගයට අයත් වූවකි.

මකියාවෙලිගේ දේශපාලන උපදෙස් වන්නේ සදාචාරය, ආචාරධර්ම නොතකා වුවද බලය රැක ගැනීමට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බවය. පාලකයාට තමන් ලැබූ බලය රැකගැනීමට ඕනෑම දෙයක් කළ හැකි බව මැකියාවෙලි ‘ද ප්‍රින්ස්’ කෘතියෙහි සඳහන් කර තිබේ. එහෙත් අද අප ජීවත්වන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට මැකියාවෙලි දර්ශනය අදාළ නොවේ. මේ වූ කලී නූතන ප්‍රජාතන්ත්‍රවාදී යුගයකි. අද ඇතැම් රටවල තම නියෝජිතයන්ට දුන් බලය ද ආපසු කැඳවීමේ ක්‍රියාදාමයක් දැකගත හැකිය. ඇත්ත වශයෙන්ම දේශපාලනයේ දී වගකීම හා වගවීම පිළිබඳ මූලධර්මයට උඩින් පැන යෑම අද සමාජය මෙන්ම ජන ජීවිත මුහුණ දී සිටිනු බරපතළ ඛේදවාචකය වී තිබේ. දේශපාලනය යනු සදාචාරත්මක බැඳීම්වලින් යුතු මානවහිතවාදී ක්‍රියාදාමයක් බව කූට දේශපාලනඥයෝ අමතක කරති. ඔවුන්ට වුවමනා වන්නේද බලය හා බලයෙන් ජාතික සම්පත් ගසාකෑම පමණි. මෙම නින්දිත ක්‍රියාන්විතය උදෙසා කැප වුණු දේශපාලනඥයන් විසින් රටට කරන ලද හානිය ද සුළු පටු නැත.

වර්තමාන දේශපාලන කතාව ඒ දූෂිත ක්‍රියාන්විතයක අලජ්ජී ක්‍රියාකාරකම්වලින් පිරුණකි. මෑතක දී පෙන්වා දෙන ලද දේශපාලන ලිපියක සඳහන් වූයේ හැර මිටියෙන් යනතුරුත් බලය අත නොහරින අපේ දේශපාලනයේ යථාර්ථයයි. උපුටා දැක්වීම් අනවශ්‍ය වුවත් කෝප් කමිටු විගණන වාර්තා ආදිය අනවාරණය කර ඇත්තේද ඒ ගර්හිත දේශපාලන ක්‍රියාදාමයෙන් ස්වල්පයකි. ජාත්‍යන්තර ණය මුදල් පවා ගිල දැමූ දේශපාලන බහිරවයන් ගැන වාර්තා තිබේ. කලකට පෙර බිලිඳුන් විකිණීමට දේශපාලනය ද ගෑවී තිබිණි. අද ලිංගික වහල්සේවයක් ගැන සංවේදී කතා අසෙය.ි එයටත් දේශපාලනය හවුල්දැයි සැකයකි. මේ වනවිට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ද කුප්‍රකට චෞරයන් ගැන නොයෙක් කතා අපට ඇසෙයි. ඒවා සමගද දේශපාලන බැඳීම් ඇතැයි චෝදනා නැඟෙයි. හැම හොරෙක්ම මුවා වන්නේ නීතිය ඉදිරියේ වැරදිකරවැන් වන තෙක් නිවැරදිකරුවෙකි යන ආවරණයටය.

මේ අනුව හොරුන්ට වුවද නිදහසේ දේශපාලනයට මෙන්ම රාජ්‍ය පාලනයටද බාධාවක් නැත. මෙරටේ අවංක වැදගත් දේශපාලකයෝ එදා සිටියහ. අදත් ස්වල්ප දෙනෙක් හෝ සිටිති. එහෙත් හොරකම් මැරකම් ගසාකෑම්, අප්‍රමාණව සිදුවේ. එය ප්‍රාදේශීය දේශපාලනයේ සිට ම හුරුවන්නකි. දේශපාලනය වා්‍යාපාරයක් හෙවත් බිස්නස් එකක් වී තිබෙන රටක දේශපාලන සාරධර්ම ගැන කවර කතාද?

ගාලු මුවදොර විරෝධතාව අබියස බිඳ වැටුණු රාජපක්‍ෂ කඳවුර දැන් යළිත් කරළියේය. ඔවුන්ගේ දේශපාලන පක්‍ෂය වන පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුව බලගැන්වීම සඳහා බැසිල් රාජපක්‍ෂ දැන් ලංකාවට පැමිණ සිටින බව එම පක්‍ෂයේ අය කියති. ඔහු පිළිගැනීමට පොහොට්ටුවේ විශාල පිරිසක් ද එක්ව සිටියහ. බැසිල්ට ප්‍රභූ ආරක්‍ෂාව ලබාදීම වරදකැයි ස. ජ. බ. මහ ලේකම් පවසා තිබිණි. එහෙත් මෙරටේ බලය යනු ඕනෑම දෙයකට දී තිබෙන බලපත්‍රයකි. අපි එය ප්‍රශ්න නොකරමු. අප විමසිලිමත් වන්නේ ඔහුගේ දේශපාලන මැදිහත්වීම්වල ප්‍රතිවිපාක ගැන පමණි.

ජනාධිපති රනිල්ගේ අයවැය පොහොට්ටුවේ පැවැත්මද තහවුරු කරන්නකි. එහෙත් ඒ වෙනුවෙන් පොහොට්ටුව අපේක්‍ෂා කරන්නේ ඇමැතිකම් හා වරදාන බව හිටපු ඇමැති රෝහිතගේ කතාවෙන්ද පැහැදිලිය. සජබෙ දොර ළඟට ඇවිත් ඇමැතිකමකට හොර ගල් අහුලන අය ද සිටිති. එහෙත් ජනතාවගේ දැවෙන ප්‍රශ්න රැසක.ි මේ වනවිට සමහර ප්‍රශ්න යටපත්වී තිබේ. එනිසා ජනාධිපතිවරයාට සහාය දීමට දේශපාලන කප්පම් අපේක්‍ෂා කිරීම නිවට කමකි. ඒ සහාය රට වෙනුවෙන් හෙට දවස වෙනුවෙන් ලබා දෙන්නක් විය යුතුය. කුමක් වුවත් රට වැටී සිටින මෙබඳු අසීරු පසුබිමක ජනාධිපතිවරයාගෙන් පටු මජර දේශපාලන දොළදුක් සපුරා ගැනීමට සිතීම පවා මුග්ධ අදහසකි.

පොහොට්ටුව මෙවේලේ කළ යුත්තේ ද බඩ ගෝස්තර දේශපාලනයක් නොව, මෙරටේ ලක්‍ෂ දෙසිය විස්සක ජනතාවගේ යහපත උදෙසා ජනාධිපතිට සහාය දීමය. එය තම නායකයන් විසින් කරන ලද දේශපාලන වරදට වන්දි ගෙවීමක්ද වේ. එහෙත් අභාග්‍යයකට මෙන් පොහොට්ටුවේ සමහරු තවමත් දේශපාලන කප්පම් ලැබෙන තෙක් බලා සිටිති. තම නායකයා වන බැසිල් ලවා ඒ කප්පම් ලබාගැනීම ඔවුන්ගේ අපේක්‍ෂාව වී තිබේ.

ජනාධිපති රනිල් අද යම් ප්‍රමාණයක හෝ අලුත් දේශපාලන ඇසකින් මේ ආර්ථිකය දෙස බලන බවද පෙනේ. එහෙත් ඔහුට ඒ ගමන සාර්ථක කර ගැනීමට වුවමනා දේශපාලන ප්‍රාග්ධනය ඇත්තේ පොහොට්ටුවේය. එහි යතුර තිබේනනේ බැසිල් අතේ විය හැකියි. එහෙත් පොහොට්ටුවේ නියමුවක- ලෙස මහින්දට ද මෙහිදී තම පක්‍ෂයට පසු බැසීමට හේතු වූ කරුණු පිළිබඳව ද අවබෝධයක් තිබිය යුතුය. එය වටහා නොගත හොත් මහතීර් මොහමඩ්ට අත්වූ වර්ගයේ දේශපාලන ප්‍රතිචාරයක් පොහොට්ටුවට නො ලැබෙනු ඇතැයි සිතිය හැකිද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment