ලක්‍ෂ 34ක රට සිගරැට් හොරෙන් ගෙනා කොළඹ ගුවන් මගියා අත්අඩංගුවට

37

රුපියල් තිස් හතර ලක්ෂ විසි දහසක් වටිනා විදේශයක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගියකු 15 වැනිදා අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු වන ඔහු ඩුබායි හි රැකියාවක ද නිරත වී සිටි අයෙකි. ඔහු 15 දා අලුයම 05.30ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු 03ක් තුළ සම්පූර්ණයෙන් මෙම විදේශීය නිෂ්පාදිත ‘ප්ලැටිනම්’ වර්ගයේ දුම්වැටි 22,800ක් අඩංගුව දුම්වැටි කාටූන් 114 ක් සඟවා තිබී ඇත. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයක් සිදු කර, මොහුට දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර , ඔහු ගෙන ආ දුම්වැටි තොගය රාජසන්තක කර තිබේ.

කටුනායක ටී.කේ.ජී.කපිල


advertistmentadvertistment