දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය
තරුෂි, සඳුන්, මෙරෝන්, අවිෂ්ක රන් දිනති
දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා මෙරෝන්
දකුණු ඉන්දියාවේ චෙන්නෙයි නුවර පිහිටි ශ්‍රීමත් ජවහර්ලාල් නේරු ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක කෙරෙන 04 වැනි දකුණු ආසියානු කනිෂ්ඨ ශූරතා අවුරුදු 20 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවන හා අවසන් දින තරග අද (13) ක්‍රියාත්මක කෙරේ.
මෙවර තරගාවලියේ පළමු දිනය වූ බදාදා (11) ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගත් පදක්කම් එකතුව 09 කි. එයට රන් පදක්කම් 03, රිදී පදක්කම් 03 සහ ලෝකඩ පදක්කම් 03 ක් ඇතුළත් විය.
පිරිමි මීටර් 100 සහ මීටර් 800 මෙන්ම කාන්තා මීටර් 800 රන් පදක්කම ශ්‍රී ලංකාව සතු විය. තත්.10.41 ක තරග නිමි කාලයක් සටහන් කරමින් පිරිමි මීටර් 100 කෙටි දුර තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් නොනැවතුණු කොළඹ ආනන්ද විදුහලේ මෙරෝන් විජේසිංහ දකුණු ආසියානු කනිෂ්ඨ ශූරතා වාර්තාව මෙන්ම ශ්‍රී ලංකා කනිෂ්ඨ තරග වාර්තාව ද තම නමින් ලියවා ගත්තේය. ශෙහාන් අඹේපිටිය නමින් පැවති තත්. 10.43 ක ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාව ඒත් සමගින් බිඳ වැටුණි. එකී රිදී පදක්කම මෙවර දිනෙත් ඉඳුවර වීරරත්න (තත්.10.49) සතු විය.
2013 දී ඉන්දියාවේ යේසුදාස් රාංචී විසින් පිහිටුවා තිබුණු තත්. 10.61 ක වාර්තාව අභිබවා යන්නට මෙරෝන් විජේසිංහ සහ දිනෙත් ඉඳුවර වීරරත්න සමත් වීම ඉහළ අගයක් ගත්තේය.
මිනිත්තු 02.10.17 ක තරග නිමි කාලයක් සටහන් කරමින් කාන්තා මීටර් 800 රන් පදක්කම එම්. ජී. තරුෂී අභිෂේකා දිනා ගන්නා අතර වාරයේ දී එකී ලෝකඩ පදක්කම යූ. එම්. සංසලා හිමාෂිනී (මි. 02.12.13) සතු විය.
පිරිමි මීටර් 800 රන් පදක්කම දිනා ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විදුහලේ ඩී. සවිදු අවිශ්ක සමත් වූයේ එකී තරග වාර්තාව ද තම නම ඉදිරියේ සටහන් කර ගනිමිනි. එහි තරග නිමි කාලය මිනිත්තු 01.49.83 කි. ඉන්දියාවේ පී. වර්මා විසින් 2007 වසරේ කොළඹ දී පිහිටුවන ලද මි. 01.52.99 ක තරඟ වාර්තාව ඒ අනුව බිඳ වැටුණි.
මීටර් 100 කාන්තා ලෝකඩ පදක්කම එස්. විජේතුංග (තත්.12.04) දිනා ගත් අතර කාන්තා උස පැනීමේ රිදී පදක්කම සමව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඩී. කේ. තිමේෂී (මීටර් 01.65) සහ වී. පී. නේත්‍රා සමාධි (මීටර් 01.65) සමත් වූහ.
පිරිමි යගුලිය දැමීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඒ. ඩබ්ලිව්. ජයවි රන්හිද ක්‍රීඩකයා සමත් වූයේ මීටර් 15.62 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.
මේ අතර වාරයේදී පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීමේ රන් පදක්කම දිනා ගැනීමට ඩබ්ලිව්. පී. සදුන් කෝසල (තත්. 14.06) ඊයේ (14) දින සවස සමත් වූයේය. එකී ඉසව්වේ ලෝකඩ පදක්කම ඊ. විශ්ව තාරුක (තත්.14.27) ට හිමි විය.
කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීමේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට මියුනී ගුණතිලකට හැකියාව ලැබුණු අතර පිරිමි දුර පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම තහවුරු කර ගැනීමට තෙවිදු සංදිල් සමත් විය.
ඡායාරූප – සිලෝන් ඇත්ලටික්ස්
අනුරුද්ධ හේරත් බණ්ඩාර
සංස්කරණය – සුසිල් ජයකොඩි