04 වන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 09 ක්, රිදී පදක්කම් 09 ක් සහ ලෝකඩ පදක්කම් 17 ක් වශයෙන් සමස්ත තරගාවලියේ පදක්කම් 35 ක් දිනා ගෙන පෙරේදා (14දා) කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.
එම තරගාවලියේදී නව දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තා 05 ක් තැබීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වී තිබුණි. ඒ අතර මීටර් 100, මීටර් 100*4 සහාය දිවීම, මීටර් 200, මීටර් 800 සහ උස පැනීම ඉසව් විය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ටෙරෝන් විජේසිංහ ක්‍රීඩකයා මීටර් 100 සහ මීටර් 100*4 ඉසව් සඳහා නව දකුණු ආසියානු කලාපයේ වාර්තා තබමින්, මෙන්ම කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.
එමෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉදුසර ක්‍රීඩකයා ද මීටර් 200 සහ මීටර් 100*4 ඉසව් සඳහා දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තා තබමින් රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් විය.
මෙම පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.-271 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් මෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉගෙනුම ලබන පාසල්වල ගුරුභවතුන්, සිසුන්, විදුහල්පතිවරුන් සහ එම සිසුන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී. කේ. ජී. කපිල