ලක් මාතාව දූෂණය කළ මිහිපිට පාලකයෝ

366

මෙහි මුල් කොටස මැයි 24 වැනි දින පළවිය

 ජනතා විමුක්ති පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමෙන් ඉදිරිපත් කරන ලද සියලු අපේක්ෂකයන් වැඩිම මනාපයෙන් ජයග්‍රහණය කර තිබූ අතර ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ට ලැබුණු ආසනවලින් එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පරිත්‍යාග කරන්නට ඔවුන් තීරණය කරන ලදී. ඔවුන්ගේ පාර්ලිමේන්තු ආසන ගණන 40ක් නොවී 39ක් වූයේ එබැවිනි. කෙසේ නමුත් 2005 වන විට ජනාධිපතිවරණය ජයගැනීමේ වැඩි සම්භාවිතාවක් දක්නට ලැබුණේ රනිල් වික්‍රමසිංහ තුළ ය. එයට ප්‍රධාන හේතුවක් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ශක්තිමත් ජනාධිපති අපේක්ෂකයකු නොමැති වීම නිසාවෙනි. සිය ධුර කාලය දීර්ඝ කරගැනීමට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක දරන ලද උත්සාහය අසාර්ථක විය. ඇය මහින්ද රාජපක්ෂට කැමැත්තක් නොදැක්වූ අතර ඔහු ඉදිරිපත් කළ ද ඔහු පරාජය වනු ඇතැයි අපේක්ෂා කරන ලදී.

 2005 ජනාධිපතිවරණයේදී ද මෙම දෙපාර්ශ්වයම තත්ත්වය විග්‍රහ කරගත්තේ සමාන ආකාරයට වේ. එනම්, රනිල් වික්‍රමසිංහ යනු ඒ වන විට ලෝක වෙළෙඳ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා ජපානය මුල්වෙමින් ලංකාවට යෝජනා කර තිබුණු “යළි පුබුදමු ශ්‍රී ලංකා” නමින් හැඳින්වුණ නව ලිබරල් ආර්ථික වැඩසටහනේ නියමුවා විය. බටහිර සහයෝගය ලද ශක්තිමත් ලිබරල් පාලකයකු වූ ඔහුට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ දුර්වල, රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් එතරම් අත්දැකීම් නැති, ජාතිවාදය හා ගැමිකම ප්‍රවර්ධනය කළ, එතරම් නිශ්චිත දේශපාලන දර්ශනයක් නොතිබුණු දුර්වල පාලකයකු විය. ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂගේ දුර්වල ජනාධිපතිවරණ ව්‍යාපාරය තම කරට ගන්නා ලදී. උතුරු පළාතේ ඡන්දය ප්‍රකාශ කිරීම 2්‍ර දක්වා අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද 180,000කින් පමණ ජයග්‍රහණය කරන ලදී. රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂයක පමණ ප්‍රමාණය මැතිවරණ වර්ජනය නොවිණි නම් පහසුවෙන් උතුරෙන් ලබාගත හැකිව තිබිණි. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වී පවුලේ පිරිස ළංකර ගැනීමත් සමගම පවුල් පාලනයකට මංපෙත් විවර විය. ඒ වන විට, ගැමුණු නම් සිංහල ජාතිවාදී සංඥාර්ථ සහිත නම පටබැඳගෙන සිටි දෙමළ ජාතිකයකු වූ කුමාර් ගුනරත්නම් ජ.වි.පෙ. අභ්‍යන්තරයේ අති ප්‍රබල පුද්ගලයකු විය. ඒ වන විට සිංහල ජාතිවාදය පාවිච්චි කරමින් ඉදිරියට පැමිණ තිබුණු ජ.වි.පෙ. තුළ වාම අන්තවාදී ප්‍රවණතාව නියෝජනය කළ කුමාර් ගුනරත්නම්ගේ බලපෑම නිසා සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා, විමල් වීරවංශ වැනි අයට පවා ජ.වි.පෙ. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට සම්බන්ධ විය යුතුය යන මතය හකුළා ගැනීමට සිදු විය. අවසානයේදී ජ.වි.පෙ. පවුල් පාලනය හා රාජපක්ෂ පාලනයේ තිබූ දූෂිත බව නිසාවෙන්ම තමන් විසින් බලයට පත් කරන ලද මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුවට සහයෝගය නොදීමට තීරණය කරණ ලදි. මහින්ද ඇමැතිකම් භාරගෙන ආණ්ඩුවට සහාය දෙන්නැයි ජ.වි.පෙ.ට පුන පුනා ආයාචනා කළ ද ජ.වි.පෙ. එය නොතකා හරින ලදි. ජ.වි.පෙ. වෙනුවට එතැනට ආදේශ වුණේ පාර්ලිමේන්තු ආසන හතක් හිමිව සිටි අන්ත ජාතිවාදී ජාතික හෙළ උරුමයයි. නිශ්චිත මතයක් නොමැතිව, ලිබරල්වාදයත්, ගැමි පසුගාමිත්වයත් අතර දෝලනය වෙමින් සිටි මහින්ද රාජපක්ෂට ජාතිවාදය රස වැටෙන්නට පටන් ගත්තේ ඒ සමග වේ. ලාභ හා බාල ජාතිවාදයේ ජනප්‍රියත්වයත්, යුදවාදයත්, ඒ ඔස්සේ ලබාගත් යුද ජයග්‍රහණයත් සමග මහින්ද රාජපක්ෂ සියලු ජාතිවාදී පසුගාමී අගතීන් රාජ්‍යය තුළට ගෙන ඒමට කටයුතු කරන ලදි. කෙසේ නමුත් එම දූෂිත පාලනයට එරෙහිව ජනතාව 2015 දී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරමින් රනිල් මෛත්‍රී ආණ්ඩුව පත් කර ගන්නා ලදි. එම පාලනය තුළ සිදුවූ අකටයුතුකම් නිසාවෙන් එම පාලනය තුළ ද විවිධ ප්‍රශ්න ඇති විය. විශේෂයෙන්ම 2018 ඔක්තෝබර් මස 26 දා සවස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවතට විසි වී යන පරිදි මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පියවර ගනු ලැබීය. කෙසේ නමුත් එය ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය විසින් තීන්දු කිරීමත් සමගින් නැවත රනිල් වික්‍රමසිංහ මහතා හයවන වතාවට මෙරට අගමැති ධූරයේ දිවුරුම් දෙන ලදී. කෙසේ නමුත් මෙවැනි කඹ ඇදීම් වලින් ඉදිරියට ගිය ආණ්ඩුව වසර පහකින් නිම කිරීමට රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයට හැකියාව ලැබුණි. එහිදී විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය හේතූ සාධක විය. පාස්කු ප්‍රහාරයට මුවා වී රාජපක්ෂවරුන්ගේ සුපුරුදු ජාතීවාදී දේශපාලනයට පිවිසෙන මහින්ද රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ නම් වූ සිය සොහොයුරා ඉදිරිපත් කරමින්, පාස්කු ප්‍රහාරයෙන් හෙම්බත් වී සිටි ජනතාව අස්වැසිල්ලක් සොයමින් සිටි මොහොතක හැටනව ලක්ෂයකට ආසන්න ජනතා කැමැත්තකින් ජනාධිපතිවරණය ජයග්‍රහනය කරන ලදි. කෙසේ නමුත් අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගත් අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත සංශෝධනය කරමින් ඒකාධිපති පාලකයකුට අවශ්‍ය විධායක බලය නැවත ජනාධිපති වටා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඒකරාශී කරන ලදී. දේශපාලනය සම්බන්ධයෙන් හරි අවබෝධයක් නොමැති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලාංකාව එතෙක් මෙතෙක් ආර්ථික වශයෙන් ඇතිවූ විශාලම අර්බුදයට රට පත් කරන ලදී. දේශපාලකයන්ගේ තොණ්ඩුවට මෙතෙක් අසුවූ ජනතාව වර්තමානය වන විට පාරට බසිමින් සමස්ත දේශපාලකයන් අනවශ්‍ය බව පවසමින් අරගල කරන අතර එම තත්ත්වය ඉදිරියට වර්දනය වනු ඇත. මෙම ගැටලුවට තවමත් නිශ්චිත පිළිතුරක් ලබා දීමට අපොහොසත් ආණ්ඩුව වෙනදා මෙන් එකිනෙකාට බෝලය පාස් කරමින් සුපුරුදු දේශපාලන සෙල්ලමෙහි නිරතව ඇත. පාලකයන් දැන්වත් ජනතා හඬට සවන් නොදී සිය හිතුවක්කාර දේශපාලන ගමන තුළ ගියහොත් ඉදිරියේ දී ජනතාව කුමන ක්‍රියාමාර්ගයකට එලඹෙනු ඇති දැයි තීරණය කිරීම වර්තමාන පාලකයන්ටම භාර වේ.

ඩබ්. එම්. ප්‍රසන්න වන්නිනායකල
 
 
සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment