ලක් මාතාව දූෂණය කළ මිහිපිට පාලකයෝ

241

පෙරදිග මුතු ඇටය නමින් පෙරදා ලෝකය ඉදිරියේ පැසසුම් ලැබූ ශ්‍රී ලංකාව වර්තමානය වන විට මුතු නොමැති ඇට වලට පමණක් සීමා වී ඇති බව නොරහසකි. කලින් කලට දූෂිත පාලකයන් විසින් තට්ටුමාරු ක්‍රමය ඔස්සේ සිය පාලන අධිකාරිය ගොඩනඟා ගනිමින් ලක්මාතාව නොයෙක් වද බන්ධනයන්ට පමුණුවමින් දූෂණය කර ඇත. එම වරදින් කිසිදු පාලකයකුට වර්තමානයේ දූෂණ වංචා නඩුවලින් නිදොස් කොට නිදහස් වන්නා සේ නිදහස් වීමට නොහැක. සෑම විටම අශ්වයා ගිය පසු ස්තාලට වැසීමට පියවර ගන්නා ලාංකීය පාලකයන් අනාගත පරපුරට අනාගතයක් ඉතුරු නොකර ඇති බව වර්තමාන ආණ්ඩු විරෝධී ජන අරගලය තුළින් මොනවට ඔප්පු වේ. 60 දශකයේ පටන් “ශ්‍රී ලාංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්” යනුවෙන් සිය මුවින් මැතිරූ පාලකයන් වර්තමානයේ අද දක්වාම ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් යන ලේබලයේම තබා ගැනීමට සමත්ව තිබීම ලක්ෂ්‍ය සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ අනාගත සිහින බොඳ කරලීමට හේතු සාධක වී ඇත. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව යනු සංවර්ධනය කිරීමට නොහැකි රටක්ද? යන ප්‍රශ්නාර්ථය ලෝකයේ ඉදිරියේ තබමින් අද පාලකයන් විහිලුවක් බවට පත්ව තිබේ.

වර්තමානය තුළ ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලන, සමාජීය යන ක්ෂේත්‍රයන් හි සරදමට ලක්ව ඇත්තේ දූෂිත පාලකයන් සිය පාලන බලට ස්ථාපිත කිරීමට සෑම විටකම “ජාතීවාදය” නම් වූ තොණ්ඩුව ජනතාවගේ බෙල්ලට දැමීම නිසාවෙනි. කෙසේ නමුත් මෙම තත්ත්වයට ජනතාවද වග කිවයුතු බව ජනතාව විසින්ම ඔවුන්ටම නැවත නැවතත් පසක් කර දී අවසන්. වර්තමානය තුළ ජනතා මුවින් ප්‍රකාශිත වදන් තුළින් පැහැදිලි වනුයේ හැත්තෑ හතර වසරක් පුරාවට පාලකයන් විසින් මේ රට ගිල ගැනීමේ ශෝකාලාපයයි. සැබැවින්ම ශ්‍රී ලංකාව මේ තත්ත්වයට පත් වූයේ කෙසේද? යනුවෙන් රට පාලනය කළ දේශපාලකයන්ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් ලබාදෙන පිළිතුරු විහිළු සහගත වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කලින් කලට ආණ්ඩු මාරූ වීමට සාපේක්ෂව රටේ ප්‍රතිපත්ති ද වෙනස් කිරීම තුළ රටක් සංවර්ධනය වීම අපි දකිනා දවල් සිහිනයක් බඳු වේ. කලින් කලට මෙරට පාලන බලය තහවුරු කළ පාලකයන් මේ කරුණ නොදැන මෙම ප්‍රතිපත්ති වෙනස් කළ බව නොරහසකි. ඔවුන් ඔවුන්ගේ වාසියට එම ප්‍රතිපත්ති වෙනස් කරමින් ආර්ථික සම්පත් රාශියකින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාව කුට්ටි කරමින් විදේශික රටවල්වලට කුණු කොල්ලයට අලෙවි කර ඇත. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදයට ප්‍රධාන සාධකයක් වී ඇත්තේද මෙම කරුණ වේ.

වර්ග අඩි 65610ක් තරම් වූ පොඩි භූමි ප්‍රමාණයකට උරුමකම් කියන්නා වූ ශ්‍රී ලංකාව කෝටි දෙකකට අධික මානව සම්පතකින්ද සමන්විත වේ. කෙසේ නමුත් එතරම් මානව සම්පතක් සිටියද ශ්‍රී ලංකාවේ පාලකයන් රට තුළ එම මානව සම්පතින් කිසිදු ඵල ප්‍රයෝජනයක් ගෙන නොමැති බව පෙනේ. මිනිසුන් ස්වයං නිර්මාණ කරමින් රටට සේවයක් කිරීමට උත්සාහ ගත් සෑම අවස්ථාවකම පාලකයන්ගේ අදෘෂ්‍යමාන හස්ථයන් විසින් එය වළක්වන ලදි. කෙසේ නමුත් ශ්‍රී ලංකාව වර්තමාන අර්බුදයට ඇද දැමූ පාලකයන් කවුද? යනුවෙන් විමසූ විට ලැබෙන පිළිතුර සමස්ත පාර්ලිමේන්තුවම බව ජනතාවගේ අදහස් තුළින් දක්නට ලැබේ. වර්තමානය වන විට ජනතාවට පසක් වී තිබෙනුයේ යුරෝපීයන් ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබුවේ නම් මෙයිට වඩා තත්ත්වය යහපත් බවකි. ඒ අනුව විශේෂයෙන්ම තිස්වසරක කුරිරු යුද්ධයකින් සාපලත් ශ්‍රී ලංකාව දේශපාලකයන් නම් වූ ත්‍රස්ථවාදයකින්ද වර්තමානයේ බැට කමින් සිටිනු ඇත. වර්තමානය තුළ ශ්‍රී ලාංකීයන් 225ක් වූ සමස්ත පාලකයන්ම ප්‍රතික්ෂේප කර ඇත. මෙයට ප්‍රධාන හේතූ සාධකය වනුයේ දූෂිත රාජපක්ෂ පාලනය ලංකාව තුළ නැවත ස්ථාපිත වීම වේ. යුද්ධය නිමා කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා එවකට ජනාධිපති වශයෙන් ලබාදුන් දායකත්වය අප මොහොතකට හෝ අමතක කළ යුතු නැත. නමුත් යුද්ධය මුවාවෙන් වර්තමානය තෙක් රටට සිදු කළ විනාශය සුළු පටු නොවේ.

ලංකා ඉතිහාසයේ පැවැත්වුණු ජනාධිපතිවරණ අතරින් දේශපාලනික වශයෙන් වැදගත්ම ජනාධිපතිවරණයක් බවට පත් වූයේ 2005 නොවැම්බර් 17දා පැවැත්වුණු පස්වෙනි ජනාධිපතිවරණය වේ. එයට ප්‍රධාන වශයෙන් තරග කරනු ලැබූ බලවේග දෙක වූයේ එවකට අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වේ. ඒ වන විට 2004 අප්‍රේල් මස මහ මැතිවරණය පවත්වා අවුරුදු එකහමාරක් පමණ ගත වී තිබිණි. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් සන්ධානගතව එක්සත් ජනතා නිදහස් සන්ධානය නිර්මාණය කරනු ලැබුවේ එම පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමිනි. එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 105ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 82ක් ද දිනාගෙන තිබිණි.

ඉතිරි කොටස ලබන සතියේ

ඩබ්. එම්. ප්‍රසන්න වන්නිනායකල
පුරාවිද්‍යා (විශේෂ)ල සිවුවන වසරල
පුරාවිද්‍යා අධ්‍යයනාංශයල පේරාදෙණිය විශ්වවිද්‍යාලය

සංස්කරණය –  වසන්ත ලියනගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment