ඇමැති කංචන පාර්ලිමේන්තුවේදී කියයි
ගෘහස්ථ සහ ආගමික කාණ්ඩ සඳහා පසුගිය වසරේ (2023) ඔක්තෝබර් මස සියයට 18කින් වැඩි කරනු ලැබූ විදුලි බිල එම ප්‍රමාණයෙන්ම අඩු කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) ප්‍රකාශ කළේය.
ඒ සඳහා වන යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කළ බවද ඉතා ඉක්මනින් ඊට අනුමැතිය හිමිවනු ඇතැයි ද ඇමැතිවරයා කීය.
ඊට අමතරව පසුගිය වසරේ ඔක්තෝබර් මස කර්මාන්ත හා හෝටල් ක්‍ෂේත්‍රය සඳහා වැඩි කරන ලද සියයට 12ක ප්‍රතිශතය මෙන්ම, රජයේ ආයතන සඳහා වැඩි කරනු ලැබූ සියයට 24ක ප්‍රමාණය ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවද හෙතෙම පැවසීය.
ඉහත අඩු කිරීම් අවම වශයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන අඩුකිරීමක් බවත්, හැකි නම් ඊටත් වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහත කාණ්ඩ සඳහා විදුලි බිල අඩු කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය.
පසුගිය කාලයේ ජනතාව කරන ලද කැපවීම් සහ රජය විසින් ගනුලැබූ තීරණ ප්‍රකාරව ඉහත ප්‍රමාණයන් අඩු කිරීමට හැකිවන බවද, විපක්‍ෂය විසින් රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ගෙන එනු ලැබූ කල් තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන