ලයින් කාමර පිහිටි ඉඩම් නැවත රජයට පවරා ගන්නවා- ලයින් කාමරවල ජීවත්වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබාදෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරඑළියේ ව්‍යාපාරික හමුවකට එක් වෙමින් කියයි

28

මෙරට ඉතිහාසයේ පළමු වතාවට ලයින් කාමරවල ජීවත්වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය හිමි කර දෙන බවත් ඒ වෙනුවෙන් වැවිලි සමාගම්වලට බදුදී තිබෙන ලයින් කාමර පිහිටි ඉඩම්වල බදු ගිවිසුම් අහෝසි කර එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ජනතාවට ඉඩම් අයිතිය ලබාදී, නිවාස ඉදිකර ගැනීමටද රජයේ සහාය ලබාදෙන බව පැවසූ ජනාධිපතිවරයා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රීඩාපිටි වැනි පොදු ස්ථාන ඇති කළ හැකි ඉඩම් ද රජයට පවරා ගැනීමට කටයුතු කරන බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට 10දා නුවරඑළියේදී එක් වෙමිනි. නුවරඑළිය ව්‍යාපාරික ප්‍රජාව මුහුණදී සිටින ගැටළු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාව දැනුවත් කෙරුණු අතර ප්‍රදේශයේ සංවර්ධනයට අදාළ යෝජනා රැසක්ද ඔවුහු ඉදිරිපත් කළහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ මස්කෙළිය ආසන සංවිධායක කේ.කේ. පියදාස, හිටපු පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්.ජී. රණසිංහ, හැටන්-දික්ඔය හිටපු නගරාධිපති එස්.බාලචන්ද්‍රන්, හැටන් වෙළඳ සංගමයේ ලේකම් එස්. සෝමසුන්දරම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් විද්වත් වෘත්තිකයන් අතර හමුවක්ද 10දා නුවරඑළියේදී පැවැත්විණි.

ලයින් කාමර පිහිටි ඉඩම් නැවත රජයට පවරා ගන්නවා- ලයින් කාමරවල ජීවත්වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබාදෙනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරඑළියේ ව්‍යාපාරික හමුවකට එක් වෙමින් කියයි

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කඳුකරයේ ද්‍රවිඩ ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් වූ සම්මන්ත්‍රණයක් ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී කැඳවන බවයි. රජය විසින් ඉදිරියේදී ඇති කිරීමට නියමිත සමාජ සාධාරණත්ව කොමිසම මඟින්ද කඳුරයේ දෙමළ ජනතාවගේ සමාජ ප්‍රශ්න පුළුල් ලෙස විමසා බැලීමට අවස්ථාව ලැබෙනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් ඇතුළු වෘත්තිකයන්ගේ ගැටළුද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒ සඳහා විසඳුම් ඇතුළත් යෝජනාවලියක්ද පිළිගැන්විණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා සිටම වතුකරයේ ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළ බවත් එම ජනතාවගේ අයිතින් දිනාදීමට ජනාධිපතිවරයා ඉදිරියේදීද කැපවී සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

නුවරඑළිය දිස්ත්‍රික් හින්දු පූජක කමිටුවේ සභාපති වේලු‍ සුවීශ්වර ෂර්මා පූජකතුමා සහ විද්වත් වෘත්තිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment