ලයිමන් නගරය අහිමිවීම නිසා රුසියාවෙන් න්‍යෂ්ටික ප්‍රහාරයක් ?

901

පසුගිය දිනක රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් එරට රාජ්‍ය රූපවාහිනිය හරහා ජනතාව අමතමින් ප්‍රකාශ කළේ බටහිර රටවල් විසින් රුසියාව න්‍යෂ්ටික තර්ජනයකට ලක්කර ඇති බවයි. මේ නිසා රටේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි පියවර ගැනීමට සිදුවන බවත්, හමුදා ශක්තිය තවදුරටත් වර්ධනය කරගත යුතු බවත් පෙන්වා දෙන පුටින් පවසන්නේ බටහිර රටවල් සීමාව ඉක්මවා කටයුතු කළහොත් තමන්ට විශාල අවි භාවිතා කිරීමට සිදුවන බවයි. මේ නොකියා කියන්නේ න්‍යෂ්ටික යුද්ධයක් ඇවිලිය හැකි බවයි. එසේම තම රටේ හමුදා ශක්තිය ඉහළ දමමින් අතිරේක හමුදා කැඳවීමට පුටින් තීරණය කර ඇති අතර එම තීරණය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ ස්වෙච්ඡා භටයන් ලක්ෂ 03 ක් ස්ථිර හමුදා සේවයට කැඳවීමට අමතරවයි. කෙසේ නමුත් රුසියානු නායකයාගේ මෙම තීරණය හේතුවෙන් එරට සමාජය තුළ දැඩි කැළඹීමක් ඇතිව තිබේ. රුසියාව මුහුණ දී සිටින වත්මන් අර්බුදයට පුටින් සෘජුවම වගකිව යුතුය යන ස්ථාවරයේ සිටින රුසියානුවන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් විරෝධය දක්වන රුසියානුවන්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී.

 එහෙත් යුක්‍රේනයේ තවත් ප්‍රදේශ 4ක් රුසියාවට අයත් ප්‍රදේශ ලෙස පසුගිය සිකුරාදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබිණි. යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශවන ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක්හි ද දකුණු ප්‍රදේශ වන සපොරීෂියා සහ කෙර්සන්හි මෙලෙස රුසියාවට ඈඳා ගනු ලැබිණි. දින 5ක් තිස්සේ පැවති ජනමත විචාරණයකින් පසුව ලැබුණු තීරණය අනුව මෙලෙස රුසියාවට මේ ප්‍රදේශ එක්කර ගනු ලැබිණි. මෙය රුසියානු ආක්‍රමණයෙන් පසුව සිදුවූ වැදගත්ම සිදුවීමයි. මේ මොහොතේ රුසියානු හමුදා ජයග්‍රාහී තත්ත්වයක නොසිටියද මෙය විශේෂ සිදුවීමකි.

 නැගෙනහිර යුක්‍රේනයේ සැලකිය යුතු පසුබෑමක් සටහන් කරමින් රුසියාව මූලෝපායික වශයෙන් වැදගත් ලයිමන් නගරයෙන් සිය හමුදා ඉවත් කර ගෙන තිබුණේ මීට දින කිහිපයකට පෙරය. එවැනි පරාජයන් හමුවේ රුසියානු හිතවාදී චෙච්නියානු නායක රම්සාන් කදිරොව් පවසා තිබුණේ මොස්කව් පාලනය න්‍යෂ්ටික අවි භාවිතා කිරීම ගැන සලකා බැලිය යුතු බවයි ඔහු කියන්නේ. අඩු ප්‍රහාරක ශක්තියක් සහිත න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීම වඩා සුදුසු බවයි. පසුගිය සිකුරාදා මොස්කව්හිදී රුසියානු නායක පුටින් කියා සිටියේ යුක්රේනයේ නැගෙනහිර ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවල මෙන්ම දකුණේ කෙර්සන් සහ සපොරිෂියා හි පුරවැසියන් “ඔවුන්ගේ ජනතාව, ඔවුන්ගේ මව්බිම” සමඟ සිටීමට ඡන්දය දුන් බවයි. එසේම එම කතාව හරහා රුසියානු හමුදා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට යොමුවිය හැකි බවට සැඟවුණු තර්ජනයක් කරන බවත් පෙනී ගොස් තිබිණි. පුටින් කියා සිටියේ තම රට සතුව “විවිධ විනාශකාරී ආයුධ” ඇති බවත්, “අපට ඇති සියලුම ක්‍රම භාවිතා කරන” බවත්,

 “මම බොරු කරන්නේ නැහැ” කියාය. මෙය ලෝකයම භීතියට පත්කරන ප්‍රකාශයකි. දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කිරීමෙන් එක්සත් ජනපදය “පූර්වාදර්ශයක්” නිර්මාණය කළ බව පුටින් ප්‍රකාශ කර තිබිණි. රුසියාව යුක්‍රේන සටන්වල දී තාපජ අවියක් හෝ රික්ත බෝම්බයක් භාවිතා කළ බවට මානව හිමිකම් කණ්ඩායම් සහ එක්සත් ජනපදයේ යුක්රේන තානාපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබිණි. මාර්තු 7 දා යුක්‍රේනයේ සුමි කලාපයේ ඔක්ටිර්කාහි තෙල් පිරිපහදුවක් විනාශ කළ පිපිරීම තාපජ ආයුධයක් නිසා සිදුවූවක් බවට චෝදනා එල්ල වී ඇතිමුත් මෙය තවමත් ස්වාධීනව තහවුරු කර නොමැත. ඊසානදිග යුක්‍රේනයේ පාසලකට රුසියාව ප්‍රහාරයක් එල්ල කළ බවට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් චෝදනා කරන අතර, තහනම් කරන ලද අවියක් වන පොකුරු බෝම්බ ද භාවිතා කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ. ‘තාපජ බෝම්බ’ ලෙස ද හැඳින්වෙන රික්ත බෝම්බ අදියර දෙකකින් ක්‍රියා කරයි. පළමු අදියර වන්නේ පිපිරුමක් මඟින් ඉන්ධන වළාකුලක් මෙන් විසිරුවා හැරීමයි. එයට ගොඩනැඟිලිවලට හෝ අවට පිහිටි වස්තූන්ට ඇතුළුවිය හැකි ය. දෙවන අදියරේ දී විශාල ගිනි බෝලයක් ඇති කරමින් මෙම වළාකුල දැල්වෙන අතර, පිපිරුම අවට පරිසරයෙන් ඔක්සිජන් ඇදගනිමින් කම්පන තරංගයක් ඇති කරයි. රෝයල් යුනයිටඩ් සර්විසස් ආයතනයේ පර්යේෂක ජස්ටින් බ්‍රන්ක් පවසා තිබුණේ : “සාමාන්‍ය බෝම්බයක බරින් 30%ක් ඉන්ධනත්, 70%ක් ඔක්සිකාරකත් වන විට, තාපජ බෝම්බයක අන්තර්ගතය මුළුමනින්ම ඉන්ධන පමණයි. එය භාවිතා කරන්නේ වාතයේ ඇති ඔක්සිජන්. එබැවින් ඒවා ඒවායේ ප්‍රමාණයට සාපේක්ෂව වඩාත් බලවත්.” මේවා එසේනම් න්‍යෂ්ටික ප්‍රහාරයක් කෙසේ වෙයිද? එවැන්නක් කිසි දිනක නොවේවායි ප්‍රාර්ථනා කරමු. නමුත් පුටින් ගැන අපට අනාවැකි කියවා නොහැක. ඔහු කෝපවුවහොත් කවරක් හෝ සිදුවිය හැක. එයින් ලෝක සාමයට මෙන්ම අපේ බත්පතට ද වැලි වැටෙනු ඇත.

 රුසියානු ජනපතිගේ සිකුරාදා කතාවට ජනාධිපති ජෝ බයිඩන් පිළිතුරු දෙමින් ප්‍රකාශ කර තිබුණේ තමන් මේ නිසා බිය නොවන බවය.

 “ඇමෙරිකාව සහ එහි සහචරයන් බිය ගැන්වීමට යන්නේ නැත,” යනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා සෘජුවම රුසියානු ජනාධිපතිවරයා ඇමතුවේ කැමරාවට ඇඟිල්ල දිගු කරමිනි. “නේටෝ භූමියේ සෑම අඟලක්ම ආරක්ෂා කිරීමට අපගේ නේටෝ පාක්ෂික රටවල් සමඟ ඇමෙරිකාව සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටී,” “පුටින් මහත්මයා, මම කියන දේ වැරදියට තේරුම් ගන්න එපා” යනුවෙන්ද පවසා තිබිණි. මේ නිසාම දෙරට අතරද වඩා උණුසුම වාතාවරණයක් ඇතිව තිබෙන බව පැහැදිලිය. බටහිර මිලිටරි සන්ධානය වන නේටෝහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් යුක්‍රේනය “මධ්‍යස්ථව” සිටිය යුතු බවට රුසියාව දිගු කලක් තිස්සේ ඉල්ලා තිබිණි. නමුත් යුක්‍රේනය නේටෝව වෙත තල්ලු වෙනු දුටු ජනපති පුටින් බෙහිවින් කෝප විය. යුක්‍රේන රජය පාලනය වන්නේ නව නාසි කණ්ඩායම් විසින් බව පුටින් චෝදනාකර තිබුණේ ආක්‍රමණයට පෙර සිටමය. නාසිකරණය පිළිබඳ චෝදනාව ජනාධිපති සෙලෙන්ස්කිට එල්ල කෙරෙන පුද්ගලික චෝදනාවකි. ඔහු යුදෙව් පවුලක උපත ලද්දෙකු වන අතර ඔහුගේ මුතුන්මිත්තන් දෙවන ලෝක සංග්‍රාමයේ දී නාසීන් සමග සටන් වැදී තිබේ.

 රුසියාව මෙන්ම යුක්‍රේනය ද යුරෝපයේ නැගෙනහිර මායිමේ පිහිටා ඇත. එය භූමි ප්‍රමාණයෙන් යුරෝපයේ දෙවන විශාලතම රට වන අතර ලෝකයේ විශාලතම රට වන රුසියාව එය ආක්‍රමණය කර ඇත. යුක්‍රේනයේ ජනගහනය මිලියන 44 ක් සහ රුසියාවේ එය මිලියන 144 කි. පැරණි සෝවියට් ජනරජයක් ලෙස, යුක්රේනය රුසියාව සමඟ ගැඹුරු සමාජ හා සංස්කෘතික සබඳතා ඇති අතර රුසියානු භාෂාව එහි බහුලව කතා කරයි. 2014 මුල දී යුක්‍රේන වැසියන් ඔවුන්ගේ රුසියානු හිතවාදී ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමෙන් ටික කලකට පසු, රුසියාව යුක්‍රේනයේ දකුණු ක්‍රිමියානු අර්ධද්වීපය ඈඳාගත්තේ ය. රුසියාව නැගෙනහිර යුක්‍රේනයේ විශාල ප්‍රදේශයක් අල්ලාගත් රුසියානු – ගැති බෙදුම්වාදීන්ට ද සහාය දුන්නේ ය. 2014න් පසු රුසියානු රජය සමග ගැටුම තීව්‍ර වූ දා සිට, රුසියානු භාෂාව යුක්රේනයේ දේශපාලන ආරවුලක් බවට පත් විය. 2017 දී යුක්රේන උසාවිය පාසල්වල දී රුසියානු භාෂාව ඉගැන්වීම තහනම් කළ අතර, එතැන් සිට රට තුළ රුසියානු බස භාවිතය සීමා කරන වෙනත් පනත් ඇතිකර තිබේ. ජනවාරි මාසයේ සිට, යුක්රේනයේ සියලුම ජාතික පුවත්පත් සහ සඟරා යුක්රේනියානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ යුතු විය.

 රුසියාව සිදුකළ මේ ආක්‍රමණය හේතුවෙන් ලෝකයම බලවත් අපහසුතාවයට පත්විය. රුසියානු ෂෙල් ප්‍රහාර දිගුවන විට ලංකාවේ තෙල් පෝලිම් වඩා දිගු වන්නට විය. පරගල, අරගල ඇතිවන්නන්ටත් එය හේතුවක් විය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා, ඊට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවකට සැබෑ ජීවිතයේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ප්‍රකාශ වුණේ පසුගිය පෙබරවාරියේය. මන්ද රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළේ පෙබරවාරි 15 වැනිදා වීම නිසාය යුක්‍රේනය ‘යුරෝපයේ පාන් කූඩය’ ලෙස සියවස් ගණනාවක් පුරා ප්‍රකටව සිටින්නේ, උතුරු අප්‍රිකාවේ සහ මැදපෙරදිග සිට අග්නිදිග ආසියාව දක්වා රටවලට ධාන්‍ය සපයන ප්‍රධාන සැපයුම්කරුවකු ලෙසයි.

 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව 2022 වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 82,327කි. ඒ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම අගය 13,478කි. ප්‍රතිශතයක් ලෙස 16.4%කි. එහෙත් මේ යුද්ධය නිසා සියල්ල ආපසු හැරිණි. රුසියාව ශ්‍රී ලංකාවේ 15 වැනි අපනයන වෙළෙඳපොළ වන අතර 24 වැනි විශාලතම ආනයන වෙළෙඳපොළ වේ. ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් රුසියාවට තේ අපනයනය කරන අතර, රුසියාවෙන් ප්‍රධාන වශයෙන් ආනයන කරනු ලබන්නේ තිරිඟු වේ. ඇත්තෙන්ම යුක්‍රේන යුද්ධයෙන් එවරස්ට් කන්ද ආශ්‍රිත ආර්ථිකයට පහරක් එල්ලවූ බව පසුගිය අප්‍රේල් මාසයේ නිකුත්වූ බීබීසී පුවතක සඳහන් විය. රුසියාව යුක්‍රේනයට පහරදීමෙන් පසු ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105 දක්වා ඉහළ ගොස් තිබිණි. ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රන් මිල ද වසර එකහමාරකට පසු ඉහළම මිල වාර්තා කළේ ය. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ආයෝජකයන් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රත්‍රන් සහ පැලේඩියම් වෙත යොමුවීම මීට හේතුවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment