රටේම ෆාමසි 5160ක් තිබුණත් ඖෂධවේදීන් ඉන්නේ 6000 යි
ඖෂධවේදීන් ඖෂධ හල් විවෘත කර තබන සම්පූර්ණ කාලයේම ඖෂධ හලේ රැඳී සිටියහොත් පමණක් 2025ට අදාළ ඖෂධ හල් බලපත්‍රය ලබාදීමට කටයුතු ආරම්භ කර ඇති නිසා රටපුරා ඖෂධ හල් රැසක් වැසී යෑමේ අවදානමට පත්ව ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දන ගන්කන්ද මහතා ‘දිවයින’ට ඊයේ (07දා) පැවසීය.
රට පුරා පෞද්ගලික ඖෂධ හල් 5100ක් සහ රජයේ ඖෂධ හල් 60ක් පමණ පවතින බවට වාර්තා වී ඇති බවත් එම ස්ථානවල සේවය කිරීමට රටේම සිටින්නේ ඖෂධවේදීන් 6000ක පමණ පිරිසක් බවද ඔහු කීය.
ඖෂධ නියාමන අධිකාරිය මගින් 2015 දින 100 රජය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ නීතිය ප්‍රායෝගික ගැටලු මතු විය හැකි නිසා එවක ක්‍රියාත්මක නොකළ බවත්, වත්මන් රජය පත්වී මාසයක් පමණ ගතවන විට මෙය ක්‍රියාත්මක කිරීමට යෑම නිසා ඖෂධ හල් ගණනාවක් වැසීයා හැකි බවත් ඔහු කීය.
මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් පේමගේ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ඖෂධ නියාමන පනතට අනුව ඖෂධ හලක් පවත්වාගෙන යනවා නම් ඖෂධවේදියකු සිටිය යුතුය කියන නීතියට තම අධිකාරිය කටයුතු කරගෙන යන බවයි.
චමින්ද සිල්වා